පන්නල, කන්දනේගෙදර ප්‍රදේශයේ ඊයේ දහවල් සිදුවූ බිහිසුණු ටිපර් රථ අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයම දැඩි කම්පනයට පත්ව තිබේ.
අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් පාර අසල සිටි තරුණියක්ව යට කරගෙන පාලනයෙන් පිටව ගොස් නිවසකටද ගැටෙන අයුරු ජංගම දුරකථන කැමරාවක සටහන් වී ඇති අතර, එම දර්ශන සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙමින් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානය අසල සිටි තරුණියගේ මවගේ විලාපය ද එම වීඩියෝ දර්ශන තුළ ඇසෙන අතර, එය දැක ඇසූ බොහෝ දෙනාගේ හදවත් සංවේදී කරවීමට හේතු වී තිබේ. තම දෑස් ඉදිරියේම දරුවාට සිදුවූ මෙම අනතුර මව්හිතට දරාගත නොහැකි වේදනාවක් බව ප්‍රදේශවාසීන් පවසති.
මෙම අනතුර සම්බන්ධයෙන් 22 හැවිරිදි ටිපර් රථ රියදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සාමාන්‍ය රිය අනතුරකට වඩා බරපතළ සැකයක් මතුවීමට හේතු වී ඇත්තේ රථය පැමිණි අධික වේගය සහ අනතුර වැළැක්වීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බවට ඇති සැකයයි.
පොලිසිය මේ වනවිට මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදුවූ රිය අනතුරක්ද, නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් මත සිතාමතා සිදු කළ ක්‍රියාවක්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
ටිපර් රථය පාරෙන් ඉවතට පැන නිවසක් වෙත ගැටී තරුණියව යට කරන අයුරු දර්ශනවල පැහැදිලිව පෙනෙන අතර, මෙම සිදුවීම හේතුවෙන් පන්නල ප්‍රදේශය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පවතී.

