gossip lanka

ඇත්තටම අවුරුදු 18යි..ගොඩක් අය හිතන් ඉන්නේ මම වයසින් වැඩි කෙනෙක් කියලා - වගීෂා සල්ගාදු

උපතින්ම තමන්ට ලද ඒ කලා හැකියාවන් උරුමකර ගනිමින් ඇය මෙලොවට බිහිවි ඇත. අඩු වයසකදි කලා නිර්මාණයක විවිධ පැතිකඩ ඔස්සේ පිය මැන යෑමට තරම් ඈ සමත්ය. ඒ රංගනයෙන් පමණක් නොව කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, වේශ නිරූපණය යන අංශයන්ටද දායක වෙමිනි. මේ දිනවල ඇය හිරු රූපවාහිනි නාළිකාවෙන් රාත්‍රී 8.00ට විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ කාව්‍යා නම් චරිතයට රංගනයෙන් දායක වෙමින්ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත. එමෙන්ම අයි.ටී.එන්. නාළිකාවෙන් පසුගියදා විකාශය අවසන් වුණු ධ්දබඥප නැසනල් ටෙලි නාට්‍යයේ සුලෝ ටීච(ර්) ලෙස කා අතරත් ජනප්‍රිය කතා බහට ලක් වූ චරිතයක් බවටද පත්වූවාය. රූපවාහිනි නාළිකා කිහිපයකින්ම ඈ වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් රංගන හා ගායන ශිල්පිනියක් ලෙසින්ද කලාවේ නිරත වන්නීය. වගීෂා සල්ගාදු නම් ඒ යොවුන් කලා ශිල්පිනිය ඉකුත්දා මෙලෙසින් සරසවිය හා කතා බහට එක්වූවාය.

දැන් ඔබේ වයස කීයද?

 හරියටම අවුරුදු දහ අටයි (18)

ඇත්තටම අවුරුදු දහ අටයිද? ඊට වඩා වැඩි නැද්ද?

නෑ ඇත්තටම අවුරුදු 18යි අයියේ. ගොඩක් අය හිතන් ඉන්නේ මම ඊට වඩා වයසින් වැඩි කෙනෙක් කියලා.නමුත් මගේ ඇත්තම වයස තමයි ඒ කිව්වේ.

එහෙනම් උපන්දිනය කියමුද?

2002 මාර්තු මස 24 වෙනිදා.

ඔබ කෙටි කලක් තුළ කලාවේ සැලකිය යුතු දුරක් මේ වන විටත් ඇවිත් නේද?

ගොඩාක් දෙනා එහෙම කියනවා. ඇත්තටම මම සතු‍ටු වෙනවා ඒ ගැන. කොළඹ සුජාතා විද්‍යාලයේදි නරි බෑණා නාට්‍යයට සම්බන්ධවෙලා එහි නරියාගේ චරිතය රඟපෑමෙන් ආරම්භ වුණු මේ ගමන වේදිකා නාට්‍යවලින් රාජ්‍ය ළමා නාට්‍ය උලෙළෙදී ලැබුණු ඇගයීමත් එක්ක තමයි මෙහෙම දුරක් මට එන්න ලැබුණේ.

 

රංගනයට එහා ගිය ඔබේ හැකියා දක්ෂතාවයන් ගැන මතක් කළොත්?

සහය අධ්‍යක්ෂණය, කැමරාකරණය, නිෂ්පාදනය, සංස්කරණය, වේශ නිරූපණය, පිටපත් රචනය, තිර රචනය, ගායනය හා සංගීතය යන නිර්මාණයක සියලු අංශවලට දායක වෙමින් මම මේ දක්වාම කටයුතු කරනවා.

වගීෂා ගායිකාවක්, නිවේදිකාවක් ලෙසත් ක්ෂේත්‍රයේ ඉන්නවා නේද?

ඔව්. මේ වෙනකොට ගායනය පැත්තෙන් මගේම අලුත් සින්දු දෙකක් කරලා තියෙනවා. තව මගේ අලුත්ම සින්දු දෙකක් මේ අවුරුද්දේ සැප්තැම්බර් ඉවර වෙන්න ප්‍රථම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවේදිකාවක් ලෙසත් ජාතික රූපවාහිනිය සේවය තුළින් ඉදිරියේදි අලුත්ම වැඩසටහනකින් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ස්වාධීන රූපවාහිනි සේවයේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. රිසිර රූපවාහිනි නාළිකාවේ හොලිවුඩ් ඇන්ඩ් බොලිවුඩ් වැඩසටහනෙත් නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම මම සහය අධ්‍යක්ෂණයෙන් කටයුතු කළ මියුසික් විඩියෝවක් පසුගියදා රිලීස් වුණා. ආයාසයේ කියලා හර්ෂදේව ආරියසිංහගේ (ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ගායක හා සංගීත ආචාර්ය ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතාගේ පුතාගේ )

ඔබ වඩා කැමති මේවායින් කුමන අංශයටද?

රංගනයට වඩා මම කැමති අධ්‍යක්ෂණයට. ඒත් මම රංගනය ඇතුළු අනෙකුත් සෑම අංශයකින්ම ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ අංශවල හැදෑරිමක් කරලා තියෙනවද?

ඇත්තටම මම හිතන්නේ මට මේ හැකියාවන් උපතින්ම ආපු ඒවා කියලා. ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර ඉගෙන ගනිමින් තමයි මේවාට දායක වෙන්නේ. මම මහෙන්ද්‍ර අංකල්ගේ (ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා)රංගන පාසලට දවසක් ගියා. එයට ඇතුළත්වෙලා රංගනය ගැන ඉගෙන ගන්න. එතැනදි මහෙන්ද්‍ර අංකල් මට කීවා දුවේ ඔයාට මේකට ඇතුළත්වෙලා ඉගෙන ගන්න දෙයක් නෑ. මෙහෙට ඇවිල්ලා වැඩක් නෑ. ඔයා ක්ෂේත්‍රයේ ඉඳන් කටයුතු කරමින් ඉගෙන ගන්න යමක් තියෙනවා නම් ඒ තැන්වලින් ඒවා ලබා ගන්න කියලා.

වෘත්තිය ලෙස කලාවේ මින් කුමන හෝ එක් අංශයක් ඔබ ‍තෝරා ගන්නවද?

නැහැ. කලා කටයුතු වෘත්තියක් ලෙස කරන්න මගේ අදහසක් නෑ. කලාවේ මේ කටයුතුවල නිරත වෙමින් ඊට අදාළ දේවල් ඉගෙන ගනිමින් මම කරන සෑම කාර්යයක් තුළින්ම වගීෂා සල්ගාදු කියන නම මිනිසුන් අතරට යවන්නත් ඒ නම මිනිසුන්ගේ මතකයේ රඳවන්නත් තමයි මට මේ තුළින් වුවමනා වෙලා තියෙන්නේ.

එතකොට ඔබේ අනාගත වෘත්තිය?

දැනට මම නීතිවේදය, අපරාධ හා මනෝවිද්‍යාව පිළිබඳ හදාරමින් ඉන්නේ. මගේ අනාගත වෘත්තිය ඒ අනුව තීරණය වේවි.

මේ දවස්වල ඔබ රඟපාන දිවිතුරා ටෙලි නාට්‍යයේ කාව්‍යාගේ චරිතය ගැන කිව්වොත්?

කාව්‍යා කියන්නේ හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක්. රියැලිටි ගායන තරගයකට ගිහින් තමන් ජයග්‍රහණය කරන්න ඉදිරිපත්වන විට එයට අභියෝගයක් වෙමින් ජනප්‍රිය ගායකයෙකුගේ දියණියක් වන නීෂා ඒ තරගයට ඉදිරිපත් වෙනවා. එතැනදි කාව්‍යා ටිකක් නපුරු වෙලා ඉරිසියා සහගත තත්ත්වයක් එක්ක ඇයත් සමඟ ගැ‍ටුමකට යන මට්ටමක් තමයි මේ චරිතය තුළින් පෙන්නුම් කරන්නේ. දිවිතුරා ටෙලි නාට්‍යය දිගටම නැරඹුවොත් මේ තත්වය ප්‍රේක්ෂකයන්ට හොඳීන් බලාගන්නත් පුළුවන් වෙයි.
 
හේමන්ත බංඩාර
gossip lanka