gossip lanka

විවිධ ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් මට එම ගීතය ඉවත් කරන්නට සිදුවුණා - මාධවී ඇන්තනී

මාධවී ඇන්තනී කියන නම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ජැක්සන් ඇන්තනී නම් මහා රංගධරයාගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ.ඔවුන්ගේ පවුල ලංකාවේ සුවිශේෂී තැනක් උසුලන්නේ ඔවුන්ගේ පරම්පරානුගත කලා හැකියාව නිසාමයි.රංගනයට පමණක් නොව ගායනයට මෙන්ම නර්තනයට ද එකසේ දස්කම් පාන මාධවී ලංකාවේ තරුණ තරුණියන්ට මහත් වූ ආදර්ශයකි.මේ දිනවලදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “අඳුන්ගිර” නම් පෙරළිකාර ටෙලි නාට්‍යයේ ‘රත්නසීලී’ මම අභියෝගාත්මක චරිතයට පණ පොවන මාධවී ඇන්තනී පසුගියදා එක්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ කලා ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මුලින්ම කියන්න ඕනි මේ දිනවලදී විකාශය වන අඳුන් ගිර ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතයක් වුණු රත්නසීලී නම් චරිතය මට ලැබී තියෙනවා.ඒක ඇත්තටම අභියෝගාත්මක චරිතයක්.මොකද එම නාට්‍ය පුරා තියෙන්නේ භීෂන සමයේ සිදු වෙච්ච සිද්ධි දාමයක්.සමහර අවස්ථාවලදී මට තිබුණා වෙඩි උණ්ඩ ඇඟේ බැඳගෙන රඟපාන්න.රත්නසීලි චරිතය විතරක් නෙවෙයි එහි රංගනයෙන් දායක වන සියලුම චරිත අභියෝගාත්මකයි.ඉන්දික ධර්මසේනයන් තමයි මේ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ.ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් කොහොමත් ඉතා තදින් වැළඳ ගන්නවා.ගිරි දේවි ටෙලි නාට්‍යයත් ඔහුගේ නිර්මාණයක්.මමත් එය ඉතාමත්ම ආසාවෙන් නැරඹුවා.ඉතින් මේ වගේ විශිෂ්ට ගණයේ නිර්මාණයකට දායකවීමට ලැබීම මා ලද භාග්‍යයක් කියල තමයි මම හිතන්නේ.”

“මගෙ පොඩි මල්ලීවන සජිත ඇන්තනීත් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා .මගේ පවුලේ අයත් එක්ක වැඩ කටයුතු කරන්න මට හරිම පහසුයි.මොකද මට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ ඔව්න් සමග රංගන කටයුතු කරද්දී.මගේ අලුත්ම ගීතය නිර්මාණය ඉතාම ටික කලකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තා.නමුත් ඒ සඳහා ඇතිවන විවිධ ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් මට එම ගීතය ඉවත් කරන්නට සිදුවුණා.මම සල්ලි බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක් නෙවෙයි ඒක.ඒ නිසා මට ඒ ගැන දුකක් ඇතිවෙන්නෙ නෑ.”කියලා තමයි අවසාන වශයෙන් ඇය පැවසුවේ.

මාධවී ඇන්තනී කියල කියන්නේ කලා ක්ෂේත්‍රයට සුවිශේෂී සේවාවක් සිදු කරන අපූර්ව රංගන ශිල්පිනියක්,ගායන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ කලා ජීවිතයට සුබ පතනවා.
gossip lanka