gossip lanka

"එයා කොරියොග්‍රැෆර් කෙනෙක්, මගේ නර්තන හැකියාව පිටිපස්සේ තියෙන ඇදුම් නිර්මාණ කරන්නේ මගේ බිරිඳ තමයි.." - කැලුම් ශ්‍රී

වරදක් නැහැ හොඳින් ඉන්නවා. ඇත්තටම මේක අපි ඇතුළු මුළු ලෝකයටම අමාරු කාලසීමාවක වුවත්, මේ දරු සුරතල් බලමින් ඉතාම පරිස්සමින් කාලය ගත කරනවා.

මේ දිනවල කැලුම් කාර්යබහුල වෙලාද? ඇත්තටම මේ දවස්වල මෙගා ස්ටාර්වල ඩාන්සින් කරන අතර දිවිතුරා ටෙලිනාට්‍යයේ ෂූටින්වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා ටිකක් කාර්යබහුලයි.
 
කොහොමද මෙගා ස්ටාර් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. යූටියුබ් එකෙන් එහෙමත් ගොඩක් අය සුබ පතනවා, ඉදිරියටම යන්නත් අලුත් දේවල් අත්හදා බලන්න ලැබෙන්න කියලා.
 
දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල්ට රසිකයන් පිස්සුවෙන් වගේ ආදරේ කරනවාලු නේද?
විශේෂයෙන්ම විශාල්ට ගැහැනු ළමයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කැරක්ටර් එකට හොඳ සාධාරණයක් කරනවා කියලත් කියනවා. මුලදි නම් ඊෂාගේ චරිතයට තවත් පෙම්වතෙක් එක් වෙනවට ගොඩක් රසිකයන් කැමති වෙලා නැහැ. නමුත් නාට්‍යය තුළ ඊෂා සහ විශාල් මුණගැසුණු එක හොඳයි කියලා තමයි දැන් ගොඩක් අය කියන්නේ.
 
කැලුම් හා විශාල් අතර තරමක සමානකමක් තිබෙනවා කීවොත් නිවැරදිද?
මෙහෙමයි. විශාල් කියන්නේ ඕනම දෙයක් බැරෑරුම් විධියට හිතන්නේ නැති බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. එහෙම බැලුවොත් කැලුම් සහ විශාල් අතර ඒ සමානකම තිබෙනවා.
 
නමුත් ඉතින් කැලුම් කියන්නේ මුලදි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වැඩි කැමැත්තත් දැක්වූ කෙනෙක් නෙවෙයිලු නේද?
ඇත්තටම ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙන්න මගෙ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඉතින් කාලයක් යද්දි ගෙදරින් ආපු ගැටලුත් එක්ක නිරායාසයෙන්ම වගේ ටෙලි නාට්‍යවලට යොමු වුණා.
 
පසුකාලීනව නළු උණ ඇති වෙන්නත් විශේෂ කාරණාවක් හේතු වුණාලු නේද?
ඇත්තටම ඔව්. රිතික් රෝෂන් වගේ අය ඩාන්ස් කරනවා දැක්කම එයාලා වගේ ඩාන්ස් කරන්න, නළුවෙක් වෙන්න, ජනප්‍රිය වෙන්න තිබුණා නම් හොඳයි වගේ ආශාවක් මටත් ඇතිවුණා. හිතේ එහෙම ආශාවක් තිබුණත් ඒ කාලේ මම ගොඩක් සමාජශීලී චරිතයක් නෙවෙයි. කොහොම හරි අහම්බෙන් වගේ මගේ ඒ හීනෙට යන්න පුළුවන් වුණා.
 
 ඔබ පළමුවෙන්ම පණ පෙවූ චරිතයක් සුවිශේෂී එකක්. ඒ ගැනත් කියමු?
ඔව්. මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට තමයි ප්‍රධාන චරිතයකට සම්බන්ධ වුණේ. එහි සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට තමයි පණ පෙව්වේ. මුලින්ම ලෝකයේ උතුම්ම චරිතයට පණ දෙන්නට ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.
 
කැලුම් නර්තනයට මෙතරම් දක්ෂ කෙනෙක් වුණේ කොහොමද?
මම කුඩා කාලයේදීම මාර්ෂල් ආට්ස් කළා. ඒකත් එක්ක මට බල්ටි ගහන්න. අමාරු ජම්ප් වගේ දේවල් හොඳින්ම කරන්න හැකිවුණා. ඒ නිසා මම පාසලේදී නර්තනය විෂයක් විධියට තෝරා ගත්තා. එතැනින් කැන්ඩියන් ස්ටයිල් එක පුරුදු පුහුණු වුණා. ඒ වගේම රිතික් රෝෂන්ගේ, මයිකල් ජැක්සන් වගේ අයගේ නර්තනයන් අධ්‍යයනය කරමින් ගෙදරදී තනියම පුහුණුවීම් කළා. එහෙම තමයි නර්තන හැකියාව ප්‍රගුණ කළේ.
 
රංගනය තුළින් ඉදිරියට යන ගමනේදී සාර්ථකත්වය, රංගන ශිල්පියකු වීමට නම් හැදෑරීම කියනදේත් අත්‍යවශ්‍යයි නේද? අනිවාර්යෙන්ම ඔව්. රංගනය කියන්නේ මැරෙන තුරුම හදාරන්න ඕන දෙයක්. අලුත් ෆිල්ම් බලමින්, ප්‍රවීණයන් රඟපාන ආකාරය අධ්‍යයනය කරමින් ඒ දේවල් මම විසින්ම අත්හදා බලනවා. ඉතින් එහෙම ඉගෙන ගනිමින් තමයි මම මේ ගමන යන්නේ. ඒත් සමඟ පොතපතින් සහ ඉන් පරිබාහිරව රංගනය කියන දේ පිළිබඳව අධ්‍යාපනය ලබා ගැනීමත් ඉතාම වටිනවා.
 
නවකයෙක් විධියට ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? ඇත්තටම ප්‍රවීණයන් දෙස බලලා අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඊට අමතරව අපි නොදන්න ගොඩක් දේවල් එයාලා අපිට කියලා දෙනවා. ඉතින් ඒ අයගෙන් අපට ලොකු සහයෝගයක් ලැබෙනවා.
 
ඉදිරියටත් රංගනය තුළ වෘත්තීය මට්ටමින් නියැළෙන්නද බලාපොරොත්තුව?
කොහොමත් මම සතුටින් කරන දේ තමයි රංගනය. ඒ ගමන සාර්ථකව යන අතරතුර, මගේම කියලා සයිඩ් බිස්නස් එකක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
 
කැලුම්ට පෙම්වතාගෙ චරිතයෙන් ඔබ්බට යන්නට අදහසක් නැද්ද?
ඇත්තටම තිබෙනවා. මම ගොඩක්ම කැමති බහුකාර්ය නළුවෙක් වෙන්න. මගෙ සැබෑ පෙනුම, ස්වරූපය වෙනස් කොට විකෘති, අන්ධ එහෙමත් නැතිනම් ඇබ්නෝමල් චරිතයක් කරන්න ගොඩක් කැමතියි.
 
චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
එක නිර්මාණයකට ආරාධනා ලැබුණා. කොරෝනා ගැටලුව නිසා එහි වැඩ තවම ආරම්භ වුණේ නැහැ. පවුලේ විස්තරත් කියමු? මම විවාහකයි.
 
මට දැන් පුතෙක් ඉන්නවා. ශ්‍රී ආර්යය දසිස්. බිරිය දුලි. ඇය ඩාන්සින් කොරියොග්‍රැෆර් කෙනෙක්.
 
මගේ සියලුම නර්තනයන් පිටුපස තිබෙන නිර්මාණශීලිත්වය ඇයගේ. බබාගේ වැඩත් කරගෙන මගෙ ගමනටත් ඇය ලොකු සහයෝගයක් දෙනවා.
 
අනාගත බලාපොරොත්තු මොනවද?
ඉදිරියටත් හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ අපේ මේ කලා ක්ෂේත්‍රය තව තවත් ඉහළට ඔසවා තබන්න මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ ගන්නවා. ස්තූතිවන්ත වෙන්නත් පිරිසක් ඇති? ඔව්. මාව මුලින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් හිරු නාළිකාවට, දිවිතුරා ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත් විරාජ් වැලිවත්ත අයියට, චාමර ජයවීර අයියට, හිරු කාර්ය මණ්ඩලයටමත්, අකිල අබේරත්න අයියටත් මම වැඩ කරපු සියලුම නිර්මාණවල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සියලුම දෙනාටත්, නම් වශයෙන් නොකීවත් මේ ගමනේදී මට උදවු උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.
 
දිනූෂා මනෝරි නිශ්ශංක
 හදගැස්ම
gossip lanka