gossip lanka

දරුවො වෙනුවෙන් අළුතෙන් නටන ගයනි

අද අපිත් එක්ක කතා බහට එකතුවන්නෙ වෙනස්වුණු වෙනස් නොවුණු අමුතුම චරිතයක්. ලංකාවෙ වගේම ලෝකෙම ඉතිහාසය ගැන කතාකරද්දි එක ප්‍රභේදයක් තමයි කලාව කියන්නෙ. මේ කලාව ඇතුළෙ සංගීතය නර්තනය රංගනය වගේම විවිධවූ කේෂ්ත්‍ර තිබෙනවා. කෙසේ වෙතත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්කල මේ ලෝකයේ සෑම වෘත්තියක්ම කලාවක්. මේ කලාව ගැන කතාකරද්දි තමයි ඔබ මම කවුරුත් දන්න නොදන්න චරිතයක් මෙලෙස ගොඩ දවසකින් අද අපිත් එක්ක කතා බහට එකතු වන්නෙ. ඇය ගයනි කරුණාරත්න. ලංකාවෙ නර්ථනය වෙනුවෙන් අළුත් යමක් කරන්න හදන නර්ථන ශිල්පිනියක්. ගොඩක් අය අළුත් දේවල් කරන්න හදන යුගයක ගයනි නැටුම් නටලා මොකක්ද මේ කරන්න යන වෙනස කියලා අපි ඇයගෙන්ම අහලා දැනගන්න හදන්නෙ.

ගයනි මොකක්ද මේ කරන්න හදන වෙස් පෙරළිය.

මම කැමතියි මේ පෙරළිය ගැන කියන්න කලින් මේ පෙරළිය මට කරන්න, දැනෙන්න, හිතන්න පටන්ගත්තෙ කොහොමද සහ ආරම්භවුණේ කොතනින්ද කියන දේ මතක් කරන්න. මම අවුරුදු පහේදි තමයි නර්ථනයට යොමුවෙන්නෙ. ඒ කියන්නෙ පාසල් යන්නත් කලින්. කුලසිරි බුදවත්ත ගුරුතුමා තමයි මට මුලින්ම මංඩිය තියන්න ඉගැන්වුයෙ. ඒ  පටන් ගැන්ම තමයි මම අද නර්ථන කලාවේ මේ ඉන්න තැනට එන්න හේතු වුනේ.මම පාසල්ගියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට. පාසල් යන කාලයෙත් නර්ථන සම්ප්‍රදායන් ඉගෙන ගත්තා, සමස්ථ ලංකා තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගත්තා, විශේෂ ගුරුවරු අඳුරාගත්තා නොයෙක් අත්දැකීම් ලැබුවා. ඇත්තටම නර්ථනය මගෙ ආත්මය වුනේ මම පාසල් යන කාලෙදිම තමයි.

එතනින් පස්සේ 2006 අවුරුද්දෙ මම සෞන්ධර්‍ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනා. එහිදීනම් මට නර්ථනය කියන සංකල්පයේ ඉහළම තැන් වලට මංඩිය තියන්න පුළුවන් වුණා. නොයෙක් ගුරුවරු, ඒ වගේම නොයෙක් නර්ථන සම්ප්‍රදායන්, පෙරදිග බටහිර, උඩරට, පහතරට, සබරගමු වගේම භරත නාට්‍යම් වගේ සම්ප්‍රධායන් ඉගෙන ගන්න වාසනාව උදාවුනා. මේහැම තැනකදිම  මොන විදියේ ගුරුහරුකම් ලැබුනත් මගේ පිටුපසින් ඉඳගෙන මට යෝධ ශක්තියක් වුනේ මගේ මුල් ගුරුතුමා වන කුලසිරි බුදවත්ත ගුරුතුමා. එතුමා මට පියෙක්. එතුමාට පුළුවන් වුනා අපේ දක්ෂතා හඳුනාගෙන නර්තනය සහ අපි අතර ඇති ආත්මීය බැඳීම් අපිට අවබෝද කරගන්න උදව් කරන්න. ඒ පන්නරය තමයි අදටත් හෙටටත් මගේ ජීවිතේ කිඳාබැසගෙන පත්තියන් වෙලා තියෙන්නෙ.

ඔබ මේ සඳහන් කරන අළුත් දේ මම නිර්මාණය කරන්නෙ 2009 අවුරුද්දෙ මගේම ගයනි ඩාන්සින් ඇකඩමි එක පටන් අරගෙන. ඇත්තටම මගේම කියන නර්ථන ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නෙ මගේ ඇකඩමි එක සහ මගේ සිසු පරපුර. දේපල මිල මුදල් වලට වඩා ආත්මීය සංතෘප්තියේ ඉහළම තැනට මම අද පත්වෙලා  ඉන්නවා. ඇත්තටම මම කියන්න ආඩම්බරයි මගේ ලඟින්ම ඉන්න මගේ යාළුවෝ සහ ගුරුවරු වගේම මාව වචනෙකින් පවා අගය කරණ හිවතුන් මට කියලා තියෙනවා මම නර්ථනයේ යෙදෙනකොට මටත් නොදැනීම මම ආවේශයකට පත්වෙලා නටනවා කියලා. ඒක ඇත්ත මොකද මනෝවිද්‍යාව හදාරණ කෙනෙක් විදියට මම දන්නවා අපි ගතින් කරණ හරඹ සිතේ ශක්තිය යොදවන පාලනයකින් කරද්දී ඒ හරඹ අපිට උවමනා පරිදි වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. මම ඒ දේ ප්‍රායෝගිකය විඳින කෙනෙක්. ගුරුවරුන්ගෙන් ලැබුණු පන්නරය මද්‍යයේ මට මගේම ශෛලීන් නිර්මාණය කරගෙන නර්ථන විලාශයන් යාවත්කාලීන කරගනිමින් අළුත් අළුත් දේ නිර්මාණය කරනන හැකිවෙලා තියෙනවා. තමාගේ විශ්වය, තමාගේ ගොඩනැගුම තියෙන්නෙ තමන් තුළමයි. තමන්ගේ අභිප්‍රායන් ජයගන්න රටට ලෝකෙට අර්ථයක් ඇති වැඩක් කරන්න අපේ මනෝභාවයන් මනාව ඉවහල් වෙනවා.

අද අපි ඉන්නෙ ජීවිතය හැම අයුරකින්ම හිරවුණු කාලයක. අවුරුද්දක් තිස්සෙ අපිව හිරවෙලා. ඒ අතරෙ මේ ලෝකෙ බාරගන්න ඉන්න අනාගත මල්කැකුළු ගෙවල් අස්සෙ විවධවූ පීඩනයන්ට ලක්වෙලා. වැඩිහිටියෝ වගේ නෙමයි දරුවො කියන්නෙ මේ ලෝකයේ පියාසර කරණවා වගේ බොහොම නිදහසේ ඉන්න කොටසක්. එයාලට අපිට වගේ සමාජ තත්වයන් තේරෙන්නෙ නෑ. වෙන දේ බලාගෙන ඉන්නවා විතරයි. අන්න ඒ නිසාම මම හිතුවා ලෝක ළමා දිනය මුල්කරගෙනම මගේ මේ අළුත් අදහස එලියට දාන්න ඕනෙ මේ කාලයේ කියලා.

දරුවන් අද තාක්ෂණයට හුරුවෙලා. සියල්ල අන්තර්ජාලය හරහා සිද්ධවෙන්නෙ. අද මම නර්ථන පංති පවත්වන්නෙත් ඔන්ලයින් ක්‍රමයට. බොහොම කැපවීමකින් තමයි ඒ දේවල්  සිද්ධ කරන්න වෙලා තියෙන්නෙ. අන්න ඒ නිසා දරුවො වෙනුවෙන් ඔන්ලයින් ක්‍රමයට ප්‍රාතිහාරී කියලා ප්‍රසංගයක් ලැහැස්ති කරා. මම හිතනවා නැටුම් පංතිවලට සහභාගිවෙන දරුවො වගේම මේ වගේ දෙයක් දැකලා තමන්ගෙ ඊලඟ අඩිතාලම ගැන සංතෝශයකට පත්වෙන්න දරුවන්ට හැකිවෙයි කියලා. වැඩිහිටියෝ වුණු අපිට අද මේ ගෙවල් ඇතුළේ ඉඳගෙන   ඉන්න හිරවීම් දරාගන්න පුළුන් වුනත් එය දරාගන්නට නොහැකි දරුවන්ට මේ දේ ඉමහත් ආශ්වාදයක් වෙයි කියලා මම විශ්වාස කරණවා. ඉතින් ඔක්තෝබර් 2 තමයි මේ ප්‍රසංගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන්නෙ. විදග්ද නර්ථන සම්ප්‍රදායන් සමග  අළුත් මුහුණුවරක් මේ මගින්  දරුවන් සමග මුළු ලෝකයක් වැලඳ ගනී කියලා මම විශ්වාස කරණවා.

ඇත්තටම කුලසිරි බුදවත්ත රංගායතනයේ මම ලබා ගත් අද්විතීය දැනුම් සම්භාරය නිසාම ගයනි ඩාන්සින් ඇකඩමි එක සුවහසක් නර්ථන සිසු සිසුවියන්ගේ පාරාදීසයක් බවට පත්කරන්න අද වෙනකොට හැකිවෙලා තියෙනවා. විශේෂයෙන්ම මට ආඩම්බරයි මගේ නව නර්ථන නිපැයුම් ක්‍රමෝපාදයන් නිසාම මගේ හිතවතුන් මාව විශ්වයේ සැරි සරමින් අළුත් දෙයක් කරන්න මේ පොළොවට ආපු සාංසාරික නර්ථන සම්ප්‍රදායන්ගෙන් මුසුවුණු ආත්මයක් කියලා කියනවා. එහි ඇත්ත නැත්ත මම විග්‍රහ කරන්නවත් හොයන්නවත් ගිහින් නෑ. හැබැයි මම එක දෙයක් දන්නවා දැඩි අධිෂ්ඨානයකින් යුතුව පෙර පළපුරුදු බැඳීමකින් නර්ථනයට අත්පොත් තියපු මට සිසු සිසුවියන්ගේ සිත් සතන් හඳුනාගනිමින් මනාලංකරණයකින් හෙබි පරපුරක් බිහිකරන්න ශක්තිය තිබෙනවා කියලා. ඉතින් මම දෑත් දිගු කරළා හැමෝටම ආරාධනා කරණවා ප්‍රසංගය නරඹන්න ඒ වගේම පොලොව සමහර තැන්වල ඇද වුවත් හරියට බෙරපදේට මංඩිය තියලා ඇද වුණු තැන් සමබර කරන්න අපේ නර්ථන පරම්පරාවත් එක්ක එකතු වෙන්න කියලා..
gossip lanka