gossip lanka

"දෝණිට තාම අවුරුදු 2යි - දැනටම ඇල්ෆබට් එකම තනියම කියවනවා" - චතුරිකා දෝණිගේ හපන්කම් ගැන කියූ කතාව​

රිදී තිරයෙන් වගේම රූපවාහිනීය තුළිනුත් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය දිනාගත් ඇය ප්‍රවීණ මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් චතුරිකා පීරිස්. මේ ආකාරයට දිග හැරෙන්නේ සතිඅන්ත පුවත්පතක් ඇය සමඟ කළ කතාබහයි.චතුරිකාගේ මේ දවස්වල ජීවිතේ ගැන ඇය කියා තිබුනේ මෙහෙමයි. “මේ දවස් වල ජීවිතේ ගෙවෙන්නේ ගෙදරමයි. අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න එළියට යන්නේ නැහැ.” ඒ වගේම මේ දවස්වල කෙරෙන නිර්මාණ කටයුතු ගැනත් ඇය කිව්වා. “අලුතෙන්ම පටන් ගත්ත නිෂ්පාදන කිහිපයක් කල් ගියා.

මැයි මාසයේ ලෝකඩවුන් එකත් සමඟ මැයි, ජුනි මාස වල තිබුණු නිර්මාණ නොවැම්බර් මාසයට කල් ගියා. ගයාන් මේ දවස් වල නිර්මාණයක වැඩ කරනවා. ඔහුත් මමත් දෙදෙනාම මේ මොහොතේ වැඩ වලට යන එක අවධානම්. මුදල් හම්බ කළා වගේ නෙවෙයි. මොකද අපේ දුව ඉන්නවා. අම්මලා තාත්තලා වයසයි. එයාලත් එක්ක අපි ඉන්නේ.”කොවිඩ් වසංගතයත් සමඟ රංගන ක්ෂේත්‍රය තුල තිබෙන ගැටලුකාරී තත්වයන් ගැනත් ඇය කතා කළා. “ ටෙලිනාට්‍ය හෝ සිනමා වේවා නිර්මාණයක් කියන්නේ එකිනෙකට තනියෙන් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

රංගන ශිල්පීන් නොමැතිව ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂකවරයා ඇතුළු සහය කණ්ඩායම අවම විස්සක්වත් ඉන්නවා. එයට රංගන ශිල්පීනුත් එකතු වුනාම සැලකිය යුතු පිරිසක් ඉන්නවා. වේශ නිරූපණ ශිල්පියාට සිදුවෙනවා රංගනශිල්පියා ලඟට ගිහින් මේකප් කරන්න. මීටරයක් දුරින් ඉඳගෙන කොහොමද මේකප් කරන්නේ. කොවිඩ් එක්ක අපේ ක්ෂේත්‍රය ඇතුලේ විසඳගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. කාර්යාලයක රැකියාවක් කරනවා වගේ නෙවෙයි. අපිට මාස්ක් එකක් දාගෙන රඟපාන්න බැහැ. වසංගත තත්වයත් එක්ක වෘත්තීය ජීවිතය පවත්වාගෙන යන්න හරිම අපහසුයි.”

රංගන ක්ෂේත්‍රය තුල වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන පැනයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්. “ ලංකාව තුල එහෙම තත්වයක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුනේ සීමිත් පිරිසකට විතරයි. ඕනෑම රංගන ශිල්පිනියකට ශිල්පියෙකුට පීක් ටයිම් එකක් තියෙනවා. ඒ කාලය තුලදී ඔවුන් හොඳට හම්බ කරගෙන ණය නොවී ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන මුදල් තැන්පත් දාලා ජීවිතේ හැඩගස්වාගෙන යාමේ හැකියාක් කිහිප දෙනෙකුට තිබුණා. ඒ ඔවුන් මොලේ පාවිච්චි කරලා අනවශ්‍ය විදියට සල්ලි නාස්ති කරන්නේ නැතුව ඒ දේවල් කරගත්ත නිසා. සමහර අය කොච්චර දක්ෂ වුණත් ඒ අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකටත් වාසනාව තියෙන්න ඕන.

අපිට කලින් පරම්පරාවට මේක වෘත්තියක් විදියට කරගෙන යන්න පුළුවන් වුණා. නමුත් ඔවුන් පසුකාලීනව වෙනත් ව්‍යාපාර වලට යොමු වුණා. මාලනී අක්කාට , සබීතා අක්කාට අවුරුදු 30ක විතර පීක් ටයිම් එකක් තිබුණා. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙනකොට අවුරුදු 19ක් වෙනවා. ඒකෙන් වසර 15ක් පමණ මම ඉතා හොඳට වැඩ කළා. අලුත් සහෝදර සහෝදරියන්ට එහෙම පීක් ටයිම් එකක් තියේවි කියලා හිතන්න බැහැ. සමාජ මාධ්‍ය දියුණුයි. මිනිස්සුන්ට ෆිල්ම් හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලන්න යන්න රූපවාහිනිය බලන්න වෙලාවක් නැහැ. වසංගතය නිසා තත්වය තවත් බරපතල වුණා.”

රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ පිරිසක් දවසින් දවස අලුත් ක්ෂේත්‍රයට පිවිසුණත් ප්‍රේක්ෂකයන් හඳුනන්නේ බොහොම සීමිත පිරිසක් පමණයි. ඒ පිළිබඳවත් ඇය කතා කළා. “ඒකට ප්‍රධානම හේතුව ඉස්සර අපි නිර්මාණයකට තෝරාගත්තේ අධ්‍යක්ෂකවරයා විසින්. නාළිකා විසින් නෙවෙයි. කතාවට තිර රචනයට ගැළපෙන කෙනාව තෝරලා අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය සිදුකරලා අවසානයේ තමයි නිෂ්පාදකවරයා විසින් නාළිකාවට නිර්මාණය විකුණන්නේ. මාව ඒ කාලේ හැම නාලිකාවකම වගේ විකාශය වුණු ටෙලිනාට්‍ය වල ප්‍රේක්ෂකයාට දකින්න ලැබුණා. එම නිසා බොහෝ දෙනෙක් අපිව හඳුනනවා. නමුත් දැන් එහෙම නෙවෙයි. එක නාළිකාවක නිර්මාණ වල රඟපාන පිරිස රඟපාන්නේ ඒ නාළිකාවේ පමණයි. එම නාළිකාවේ නරඹන ප්‍රේක්ෂකයන් පමණයි ඔවුන් අදුනන්නේ.

ඔවුන්ගේ සුරතල් දියණියත් එක්ක ගෙවන සුන්දර ජීවිතය ගැනත් ඇය කියා තිබුණේ මෙවැනි කතාවක්. “මේ ලොක්ඩවුන් කාලේ අපි සතුටින් ඉන්නේ දෝණි නිසා. දැන් එයා බහතෝරන කාලය. අපි දෙන්නා එයාගේ දෙපැත්තට වෙලා ඒ දේවල් කියලා දෙනවා. ආයෙමත් මේ දේවල් යථා තත්වයට පත්වෙලා අපි කාර්යබහුල වුණාම දුවට අපි දෙන්නා නැති අඩුව දැනේවි කියන ගැටලුව තමයි තියෙන්නේ. එයා නිතරම සින්දු කියනවා නටනවා. නමුත් මං දකිනවා එයා හැම තිස්සෙම මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙනගන්න උත්සහ කරනවා.

එයාට දැන් අවුරුදු 2යි. දැනට මාස 4කට පමණ පෙර දුව මුළු ඉංග්‍රීසි හෝඩියම කියන්න ගත්තා. ඒ අපි උගන්නලා නෙවෙයි. එයා පාට හොයනවා. සෙල්ලම් බඩු කොපමණ තිබුණත් එයා අතට ගන්නේ ඉංග්‍රීසි හෝඩිය තිබෙන අංක තිබෙන පසල් එකක්. එහෙම නැත්නම් පොතක්. සින්දු කියන නටන දේවල් එයාගේ අතිරේක වැඩ. මට හිතෙනවා එයා අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යාවි කියලා.” කියලයි අවසාන වශයෙන් ඇය කියා තිබුණේ.
gossip lanka