gossip lanka

අනේ කොහේ හිටියත් දරුවෙක් අසනීප වුණාම ළඟම තියෙන රජයේ රෝහලට ගෙනියන්න මට වුන දේ කාටවත් වෙන්න එපා - අයෝමි ශානිකා

අයෝමි ශානිකා කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනා හඳුන්වන්නේ සුදු නංගි කියන්න නමින්.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු ටෙලි නාට්‍යයක් ඇසුරෙන් ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වන විට ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස සිය වෘත්තීමය කටයුතු කරගෙන යනවා.පසුගිය දිනකදී ඇයට ඉතාමත්ම කණගාටුදායක අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.එම සංවේගී සිදුවීම පිළිබඳව ඇය සිය මුහුණුපොතෙහි සනිටුහන් කර තිබුණේ මෙසේයි. එදා 2021 සැප්තැම්බර් 11. මිට පෙර ජීවිතේ කවදාවත් මුහුණ නොදීපු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා නිසා මට හිතුන ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්න.මගේ පුතාට wheezing ආපුු නිසා මම එයාව අරගෙන මුලින්ම මහනුවර ආසිරි පෞද්ගලික රෝහලට අරගෙන ගියා. ඒත් ඔවුන් ඔහුව භාර ගත්තේ නෑ. ඉන්පස්සේ කෙලින්ම අරගෙන ආවේ පේරදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක (විශේෂිත) ළමා රෝහලට.එහිදී කරපු rapid antigen test එකෙන් බබා positive මම negative. ඉන් ඇතිවුණු මානසික වේදනාවයි පීඩනයයි දරාගෙන කාර් එකෙන් බඩු ටික වත් ගන්නේ නැතිව, පාන්දර 1.30- 2.00 ට විතර 11 වන වාට්ටුවට ඇතුලත් වුණා.වාට්ටුවට ඇතුළත් වුණ ගමන්ම අපි දෙන්නට ඇඳන් දෙකක් ලැබුණ. ඒ එක්කම රාත්‍රී සේවාව භාරව සිටි හෙද නිලධාරිණියන් කිහිප දෙනෙක් ඇවිත් packing පිටින් අලුත්ම කොට්ටෙකුයි, බෙඩ් ශීට් එකකුයි, towel එකකුයි දුන්න. බිස්කට් පැකට් කීපයකුත් දුන්නා.

“Kettle, කිරිපිටි, සීනි, tea bags ඔක්කොම තියෙනවා. කැමති වෙලාවක හදාගෙන බොන්න. මොනවහරි ඕන වුනොත් කතා කරන්න කියල ගියා. රජයේ රෝහලක ඇත්තටම මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන කාරණේ තමයි මට ඒ වෙලාවේ හිතුනෙ. පහුවදා උදේ තමයි දැක්කෙ කවුරු කවුරුද ඉන්නේ කියලා. මාස 02ක චූටි දුවත් එක්ක අම්මා කෙනෙක්, මාස 11ක පුතෙක් එක්ක අම්මා කෙනෙක්, අවුරුදු 03 මාස 08ක ලියුකේමියා හැදුන පුතෙක් එක්ක තාත්තා කෙනෙක් සහ මගේ පුතා එක්ක මම. හැමෝම හැමෝටම පුළුවන් උදව්වක් කරගෙන ඉන්නවා.

එදා උදේම චිත්‍ර පොතකුයි අලුත්ම පාට පැන්සල් පැස්ටල් මේ ඔක්කොම අරගෙන හෙද නිලධාරිණියක් ඇවිත් බබාගෙ අතට දුන්න. දවස ගානෙ මේ වාට්ටුවල ඉන්න හැම බබෙක්ටම තෑගි ලැබෙනව. ඒ අතරෙ කතා පොත්, සෙල්ලම් බඩු විතරක් නෙවෙයි බිස්කට් චොක්ලට් වගේ දේවල් ඇති තරම් තිබුණ බබාලට සතුටින් කාලය ගත කරන්න. හවස තුනට විතර අලුත් මැෂින් එකක් ward එකට consultant එවලා තිබ්බා. RHO ඇවිල්ලා ඒක පාවිච්චි කරන විදිය, වෙලාව කියල දුන්නා. කොහොම හරි දවස සන්සුන්ව ගෙවිලා ගිහින් රෑ 9 වගේ වෙනකොට බබාට මුළු ඇගේම පලු දැම්මා. ඒ වෙද්දි බබාගේ saturation අඩු නිසා අලුත් මැෂින් එකෙන් ආපහු oxygen දුන්නා.

ඇතිවුණු බය නිසාම මම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාට කතා කරා. ඒ වෙද්දි Dr. Aruna Herath ව දැකලා තිබුනෙ නෑ. ඒත් බබාගෙ history එක ගැන කියල, බබාගේ සෞඛ්‍ය තත්ත්වය manage කරන විදිය හා ඒ වෙනුවෙන් ඉදිරියේදී ගන්න ක්‍රියා මාර්ග ගැන හරිම සරලව පිළිවෙලට පැහැදිලි කරාම තමයි මට තේරුණේ මම හරිම තැනට තමයි දැන් ඇවිත් ඉන්නේ කියලා.කොහොම හරි පහුවදා දවල් ආපහු බබාගේ rash එක ආවා. ඒ වෙලාවේ විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව ඇතුළට ඇවිත් බබා බැලුවා. කරන්න ඕන දේවල් බොහොම හොදින් තේරුම් කළා.දවස් 2-3 ක් යනකොට බබාගේ හැම ලක්ෂණයක්ම අඩුවෙලා ගිහින් තිබුණා. මෙහෙම ගිහින් හරියටම සතියක් ගෙවන දවසෙ දරාගන්න බැරි තරම් දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. ඒ තමයි අර මම කලින් කියපු ලියුකේමියා හැදුනු චූටි දරුවා ජීවිතෙන් සමු ගත්ත එක. විනාඩි දහයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔහු සදහටම අපෙන් සමුගත්තේ එවෙලෙ වින්ද වේදනාව අපි හැමෝටම දුක්බර දර්ශනයක් විදියට ඉතිරි කරලා.

අන්තිම විනාඩි කීපයේ එයා තමන්ගෙ තාත්තගෙ මූණ එයාගේ පැත්තට හරව හරව දුක වේදනාව ප්‍රකාශ කරපු විදිය අදටත් මට මැවි මැවී පේනව. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොයි තරම් උත්සාහ ගත්තත් ඔහු ජීවිතය අතහැරල ගිහින් තිබුනා. ඒත් මම යටි හිතෙන් හිතුවේ තවත් වේදනාව විඳින්නේ නැතිව සිද්ද වුණ දේ හොඳයි කියල, මොකද දරුවා වගේම තාත්තත් නොසෑහෙන්න දුක් වින්දා. අනික කොයි තරම් මහන්සි ගත්තත් ජීවත් කරන්න බැරි තත්ත්වයකයි ඔහු හිටියේ.එවෙලේම අපිව වෙනත් වාට්ටුවකට මාරු කරා. කඳුළු පිරුණු ඇස් වලින් අර පුංචි පුතාටත් තාත්තට සමුදෙන ගමන් මගේ පුතා ගෙන් සිදු වෙච්ච දේ හංගන්න ලොකු පරිශ්‍රමයක් ගන්න උණා. ඇයි මල්ලි අපිත් එක්ක ඒ ward එකට එන්නෙ නැත්තෙ. ඇයි එයා එක පාරටම නිදාගත්තෙ. ඔය වගේ දාහක් ප්‍රශ්න පුංචි හිතේ තිබුන.

මේකෙ බරපතලකම මට දැනුනේ පහුවදා පුතා මගෙන් ඇහුවා අර මල්ලි dead වුනා නේද කියල. මං ඇහුවා ඇයි එහෙම අහන්නෙ කියල.” නෑ මට හිතුනා” කිව්ව පුතා මට කියනව “මට තියන ප්‍රශ්නේ ඊළඟට dead වෙන මම ද කියල”. ඒ ප්‍රශ්නෙන් අකුණු සැර වැදුනේ මගේ ඔලුවට. ඒ මල්ලිට germ එකක් ගිහින්. ඒ නිසා වෙනම treatment කරන්නේ. ඔයාට එහෙම වෙන්නෙ නෑ පුතා” කියලා මම කිව්වා.

අලුත් වාට්ටුවට අපිත් එක්කම ආපු තව මුස්ලිම් දුවෙක් හිටියා. එයාගෙත් තාත්තට cancer එකක්. ඊළඟ දවස වෙද්දි එයාටත් අමාරු වෙලා ගෙදර ඉන්න අනිත් ළමයි මේ දුවටයි අම්මටයි තාත්තව පෙන්නුවා. ඒ අම්ම phone එක අරන් මගේ ලගට ආවා. අපි ඔක්කොම බල බල ඉදිද්දිම ජීවිතේ අවසන් හුස්ම හෙළුවා. මේ වෙද්දි මගේ පුතාගේ වයසෙ පුතෙක් කලින් දවසෙ අලුත් වාට්ටුවට ඇතුල් වෙලා හිටියා. නැතිවුණු තාත්ත වෙනුවෙන් අම්මයි දුවයි දුක්වෙන මොහොතෙ අර දරුවටත් ලියුකේමියා කියන රිපෝට් එක ආවා. එහෙමම ඒ දරුවා මහරගම පිළිකා රෝහලට මාරු කරලා යැව්ව. මේ කෙටි කාලයක් තුළ සිදු වුණ සිදුවීම් කීපයක් විතරයි. මේ වගේ දේවල් ලංකාවේ හතර වටේම දවස ගානෙ කීයක් වෙනවද ඇති ද? එතකොට මේ වැඩ කරන දොස්තරලට නර්ලස්ලට, සනීපාරක්ෂක සේවා වල නිරත වෙන අයට ගෙවල් වල දරුවෝ නැද්ද? වයසක අම්මලා තාත්තලා නැද්ද? මෙයාලට කොරෝන හැදෙන එකක් නැද්ද?

මේ වගේ ලක්ෂ ගාණක් ලංකාව පුරාම ඉන්නවා. මොනවා උනත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මට හරි ආඩම්බරයක් දැනෙනව. මේ වෙලාවේ අතරමැදි කොවිඩ් මධ්‍යස්ථානවල දිවා රෑ නොබලා සේවයේ යෙදෙන මගේ සහෝදර ආයුර්වේද වෛද්‍යවරු හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මතක් නොකළොත් ඒක විශාල අඩුවක්.කොයි දේ කොහොම වෙතත් ජීවිතේ ඕනෑම අසීරු අවස්ථාවක් බොහොම ලස්සනට ගලපගන්න පුළුවන් මානසික ශක්තියක් මට උපතින්ම හිමි වෙලා තියෙනවා. ඒ වගේම වෙනදට වඩා මගේ පුතත් එක්ක ළගින්ම කාලෙ ගත කරන්න මට අවස්ථාව හම්බුනා. අපි දෙන්න ගොඩක් වෙලාවට කිරි එකක් හදාගෙන වාට්ටුවේ veranda එකට යනවා. ගිහිල්ලා ඉස්සරහින් තියන පේරාදෙණිය මල් වත්ත දිහා බලාගෙන ගස් ගැන, අහසේ වළාකුළු ගැන, රෑට හද එලිය වැටිලා තියන ලස්සන ගැන කතා කරනවා.

මේ අතර පුතාගේ ඉස්කෝලේ online classes වලටත් සම්බන්ධ වෙලා අහගෙන හිටියා. කොහොම වුණත් පුතාටත් මටත් මේක හොඳ අත්දැකීමක්. මං හිතන්නේ වැරදිලා හරි එදා ආසිරි එකෙන් ප්‍රතික්ෂේප වුණ එක හොඳ දෙයක්. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ නුවර විතරක් නෙමෙයි කොහේ හිටියත් දරුවෙක් අසනීප වුණොත් අනේ ළඟම තියෙන රජයේ රෝහලට අරගෙන යන්න. නුවර අවට කෙනෙක් නම් මේ පේරාදෙණිය විශේෂ ළමා රෝහල වෙත දරුවාව අරගෙන එන්න දෙපාරක් හිතන්න එපා.ඒ වගේම අන්තිමට කියන්න තියෙන්නේ මේ සුව විරුවොන්ට කවදාවත් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා කියලා.” කියලා තමයි ඇයගේ ෆේස්බුක් සමාජ ජාලයේ ඇය සටහන් කර තිබුණේ. අයෝමි ශානිකා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ වෛද්‍යවරියක්.ඇය මුහුණ දුන් එම අත්දැකීම මෙලොව කිසිදු කෙනෙකුට මුහුණ දෙන්නට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන අතර පුංචි පුතුට ඉක්මන් සුවය පතනවා.
gossip lanka