gossip lanka

පරණ කාර් පිස්සුව තියන අයට අමතක නොවන රස කතාවක්

තමා ප්‍රථමයෙන් මෝටර් රථයක් දුටු අවස්ථාව පිළිබඳ රසවත් විස්තරයක් යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ගේ චරිතාපාදනයෙහි සඳහන් කර තිබේ. කුඩා අවධියේ වැඩිහිටි ඥාතියකු සමඟ නවගමුවට යෑම පිණිස හෙයියන්තුඩුවේ සිට කැලණි ගඟෙන් එගොඩවී ප්‍රධාන පාරට පැමිණෙමින් සිටියදී එම පුදුම සහගත අත්දැකීම ලැබුණු බව උන්වහන්සේ සඳහන් කර තිබේ.
යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් උපත ලබා තිබෙන්නේ 1907 වසරේදීය. උන්වහන්සේ මෙම මෝටර් රථ අත්දැකීම ලබා තිබෙන්නේ හය හැවිරිදි වියේදීය. එසේ නම් 1913දී පමණ මෙසේ මෝටර් රථයක් දැක ඇත.

තොටුපොළෙන් එගොඩ වී ප්‍රධාන පාරට එමින් සිටින අතර අහස ගොරවනවා වැනි හඬක් ඇසෙන්නට වූ බවත් පාරුවෙන් එගොඩ වී එයන් සිටි පිරිස වහා පාර දෙසට දුවගොස් බලා සිටි අන්දමත් උන්වහන්සේ විස්තර කරති. ශබ්දය ආසන්නයේ ඇසෙන්නට වූ අතර හදිසියේම වංගුවෙන් මතුවූ යකඩ ගොඩක් වැනි දෙය ඉදිරියට පැමිණෙන්නට පටන්ගත් විට ශබ්දය වැඩි වූ බැවින් මිනිසුන් පාරෙන් ඉවතට දිවූ බවත් පසුව එය තමන් සිටි ස්ථානය පසුකර ගිය අන්දමත් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් මැනැවින් විස්තර කර තිබේ. විසිවැනි සියවසේ මුල් දශකයේ මේ අත්දැකීම මෙරට ජනයා මෙන්ම ලොව බොහෝ රටවල ජනයා අත්විඳින්නට ඇත.

මිනිසුන් ප්‍රවාහනය කළ හැකි වාෂ්ප බලයෙන් ක්‍රියා කරන පළමු මෝටර් රථය 1769දී ජෝෂප් කැහ්නට් විසින් නිර්මාණය කරන ලදී. හේඩන් විස්චෙට් විසින් අභ්‍යන්තර දහන එන්ජිමකින් ක්‍රියා කරන මෝටර් රථයක් 1808දී නිපදවන ලදී. ඩීසල් බලයෙන් ක්‍රියා කරන දහන එන්ජිමකින් යුත් මෝටර් රථයක් 1870දී සිග්ෆ්‍රයිඩ් මාකස් විසින් හඳුන්වා දෙන ලදී. මෝටර් රථ ධාවනය සඳහා බලශක්ති ප්‍රභවයක් ලෙස පෙට්රල් යොදා ගන්නා ලද්දේ මාකස් විසිනි. එංගලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය මෝටර් රථය වැඩිදියුණු කිරීම සඳහා වෙන වෙනම පියවර ගත්තේය.

ලංකාව බි්‍රතාන්‍ය යටත් විජිතයක් වීම හේතුවෙන් විසිවැනි සියවස ආරම්භයේදීම මෝටර් රථ මෙරට ප්‍රවාහනය පිණිස යෙදවීම ආරම්භ වූයේය. එය මෙරට ජන ජීවිතයට බලපෑ ප්‍රධානතම තාක්‍ෂණික වෙනස විය. ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයකට මඟ පෑදිණි. ලංකාවට ප්‍රථම මෝටර් රථය ආනයනය කරන ලද්දේ 1902 පෙබරවාරි මාසයේදීය. ට්‍රෑම්වේස් සහ ලයිටින් සමාගමේ හිමිකරු  වූ එඩිගර් මනි විසින් එම රෝවර් ලොකෝ මොබයිල් රථය ගෙන්වා තිබිණි.

ප්‍රථම මෝටර් රථය දුවවන්නට සිදුවූයේ බර කරත්ත සහ අශ්ව කරත්ත ධාවනය වූ නොදියුණු මාර්ගවලය. ඒ නිසා රිය පැදවීම අනතුරුදායක වික්‍රමයක් වූයේය. වේගය පැයට සැතපුම් 10ත් 15ත් අතර වූයේය.

මෙරටට ගෙන්වූ පළමු පෙට්රල් මෝටර් රථයේ හිමිකරු වූයේ ඊ.එල්.එෆ්.ඩී. ද සොයිසාය. 1904දී ඔහු ප්‍රථම රථය ගෙන්වීය. 1904 වසර අවසාන වන විට ලංකාවේ තිබූ මෝටර් රථ සංඛ්‍යාව 21කි. ඩෙම්ලර් වර්ගයේ මෝටර් රථයක් හිමි ප්‍රථම තැනැත්තා වූයේ එෆ්.ජේ. දාරම්ය. බි්‍රතාන්‍යයේ ඩෙම්ලර් සමාගම එරට රජ පවුලට සහ ඉන්දියාවේ ප්‍රමුඛ මහරාජාටද ස්වකීය ඩෙම්ලර් රථ නිපදවා තිබිණි.

මෝටර් රථ රජයේ ලියාපදිංචිය 1903දී ආරම්භ වූ අතර යටත් විජිත ආණ්ඩුව ‘Q ’ ඉංගී්‍රසි අක්‍ෂරය යටතේ අංක නිකුත් කිරීම ආරම්භ කෙරිණි. 1944 දක්වාම පැවැතියේ එම ක්‍රමයයි. එසේ නිකුත් කරන ලද අංකවලින් දැනටත් ආරක්‍ෂිතව නඩත්තු කර තිබෙන්නේ Q  53 දරන රථය පමණි. 1944දී ‘A’ අක්‍ෂරයේ සිට ‘Z’ අක්‍ෂරය දක්වා අකුරුවලින් රථ වාහන අංක ගත කිරීම ඇරැඹිණි. එහිදී අනුගමනය කරන ලද්දේ එක් එක් දිස්ත්‍රික්ක සදහා A, B, C, D ආදී වශයෙනි.

එහිදී A අක්‍ෂරය කාණ්ඩ 9999 දක්වා ලබාදුනි. A  කොළඹ දිස්ත්‍රික්කය, B කළුතර C කොළඹ නගර සභාව, D මහනුවර, E මාතලේ, F නුවරඑළිය, ට් මහනුවර නගර සභාව, H යාපනය, I  මුලතිව්, J මන්නාරම, K ගාල්ල, L මාතර, M හම්බන්තොට, N ගාල්ල නගර සභාව, O මඩකළපුව, P  ත්‍රිකුණාමලය, Q  කුරුණෑගල, R  පුත්තලම, S හලාවත, T අනුරාධපුර, U බදුල්ල, V රත්නපුර, W කෑගල්ල, X කොළඹ නගර සභාව ඉදිරියට Z  මුළු ලංකාවටම ආදී වශයෙන් මෙම සංකේත අකුරු යොදා ගනිමින් රථ වාහන ලියාපදිංචිය සිදුකෙරිණි.

දෙවැනි ලෝක යුද්ධය නිමා වීමෙන් පසු මෙම ක්‍රමයද වෙනස් වූ අතර CY, CN, EY ආදී වශයෙන් ඉංගී්‍රසි අක්‍ෂර යොදා කාණ්ඩ 9999 දක්වා වාහන ලියාපදිංචිය ඇරැඹිණි. එම ක්‍රමය 1956 දක්වාම පැවැතියේය. 1956දී සිංහල ශ්‍රී  අක්‍ෂරය යොදා 1 ශ්‍රී  1  ආදී වශයෙන් වාහන ලියාපදිංචිය සිදුවිය. මෝටර් කාර් ආනයනය කරන C කාණ්ඩය වූ කොළඹ නගර සභා සීමාවට ඇතුළත්ව ලියාපදිංචි කරන ලද C-6037 දරන වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ලොරිය මෑතක් වනතුරු රජයට පවරා ගත් බි්‍රටිෂ් සිලෝන් කෝපරේෂන් BCC සමාගම සතුව පැවැති අතර 1980 වසරේදී එය කොළඹ නගරයේ ධාවනය විය.

එක්සත් රාජධානියෙන් (United Kingdom) ආයතනය කරන ලද 1927 Chrysler 70 වර්ගයේ Q  567 දරන මෝටර් රථය අකුරැස්ස, දීගල වතුයායේ බර්ටි සමරසිංහ යන අයට අයත්ව තිබිණි. එම රථයේ මුල් අයිතිකරු කුරුණෑගල අර්නස්ට් ඩැනියෙල් නමැත්තාය.

කොළඹ නගරයේ ඉඳහිට දුවන අපූර්වත්වයෙන් යුතු පරණ කාර් ඔබ  ඉඳහිට දකින්නට ඇත. පැරැණි දේට ඇලුම් කරන ව්‍යාපාරික පිරිස් විශාල මුදලක් යොදවා ඒවා නඩත්තු කරති. ඔවුන් එකතුව පරණ කාර් Club පිහිටුවාගෙන තිබේ. Vintage Old Car Club එවැනි ප්‍රකට සමාගමකි.

ඔවුන් ලංකාවේ පැරැණි කාර් පිළිබඳව ඉතිහාසය සොයා යෑමේදී අමතක කළ නොහැකි පිරිසකි. මෝටර් රථ සම්බන්ධ දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ඔවුන් අතර වැඩි පිරිසක් මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෝය. වර්තමානයේ එම පැරැණි කාර් සංගමයේ භාණ්ඩාගාරික තනතුර දරන වැවිලිකරුවකු වූ මහේන්ද්‍ර සමරසිංහ මහතා තමා පැරැණි මෝටර් රථ ලෝලියකු වූ අන්දම අප සමඟ විස්තර කළේ මෙසේය.

“අපේ ගම මාතර. අපි පොඩිකාලේ ඉඳලම කාර්වලට ආසයි. ගෙදර කාර් දෙකක් තිබුණා. එකක් බග් ෆියට් එකක්. අනෙක පර්ජෝ එකක්. බග් ෆියට් එකේ ස්විච් එක ඇණයක් වගේ එකක්. ඒක තද කරහම තමා ස්ටාර්ට් වෙන්නෙ. තාත්ත කොහේ හරි යනකොට මේ යතුර සාක්කුවේ දමාගෙන ගියා. ගෙදර තිබ්බෙ නැහැ අපි කාරෙක එළවන නිසා. අපේ කුස්සියෙ බිත්තියෙ වට්ටිය එල්ලන පරාල ඇණයක් ගහල තිබුණා. මමයි, අයියයි පුරුදු වුණා ඒ ඇණය ගලවගෙන ඇවිත් කාරෙක ස්ටාර්ට් කරන්න. අපි අපේ ඉඩම වටේ තාත්ත නැති වෙලාවට කාරෙක පැද්දා. අපි තනියම ඩ්‍රයිවින් පුරුදු වුණා හයේ හතේ පන්තිවල ඉද්දී.

අපේ බාප්පට  මාතර ටවුමෙ ලොකු ගරාජ් එකක් තිබුණා. අවුරුදු 18 වෙද්දී මම ඒකේ කාර් එන්ජින් අතපත ගාන්න පුරුදු වුණා. අවුරුදු 20 - 22 වෙද්දී මට මොරිස් මයිනර් එන්ජිම තනියම ගලවල ෆිට් කරන්න පුළුවන් වුණා. මම කොළඹ ඇවිත් මිට්සුබිෂි කොම්පැනියට සම්බන්ධ වුණා. කලක් එතැන ෆෝමන් තනතුරක ඉඳලා පසුව කලම්බු ට්‍රේඩර්ස් කොම්පැනියට එකතු වුණා. ලංකාවට සෙකන්ඩ් හෑන්ඩ් වාහන පළමුවෙන් ගෙන්නුවෙ ඒ සමාගම.

කොළඹදී මම දැක්කා කලාතුරකින් පරණ කාර් පාරෙ යනවා. මට ආස හිතුණා. මමත් බග් ෆියට් එකක් ගත්තා. EY 7777 ඒකෙ නොම්මරය. ඊට පස්සේ ගත්තා EY 8270. දැන් මා ළඟ තියෙන්නෙ මම ගත්තු 14 වැනි බග් ෆියට් කාරෙක. මුල්ම කාරෙක ගත්තේ රුපියල් 900කට. දැන් මා ළඟ තියෙන බග් ෆියට් එක ලක්‍ෂ 15ක් වටිනවා. ඒ කාලෙ තමයි කොළඹ පරණ කාර් ක්ලබ් පටන් ගත්තේ. වින්ටේජ් කාර් ඕනර්ස් ක්ලබ් එකට මම බැඳුණා. ඒගොල්ල සාමාජිකත්වය දුන්නේ A ටු Z කාර්වලට විතරයි.

EN කාරෙකේ ඉඳලා උඩට CLACYC  කාර් ක්ලබ් එකක් වෙනම හැදුණා. මා ගාව මේ තියෙන සහතික ඔක්කොම පරණ කාර් රැලිවලට ගිහින් ලැබුණු ඒවා. මම ක්ලබ් එකේ නියෝජ්‍ය භාණ්ඩාගාරික වුණා. හකීම් අක්බාර් අලි මහතා භාණ්ඩාගාරික. පසුව මම භාණ්ඩාගාරික වුණා. අපි සාමාජිකයන් 215ක් ඉන්නවා. ඔක්කොම පරණ කාර් ඕනර්ස්ලා. මම තනතුර ගන්න කොට අපේ ක්ලබ් එකේ වත්කම ලක්‍ෂ 5යි. දැන් අපේ ස්ථාවර තැන්පතුව ලක්‍ෂ 60යි. අපි නිතරම ඉවෙන්ට් සංවිධානය කළා.

ඔය A to Z  කාර් පාරෙ දුවන්න හරි අමාරුයි. හේතුව ස්පෙයා පාට්ස් නැහැ. ටයර් හිඟයි. බැටරි නැහැ. මිකැනික්ස්ලා නැහැ. අපිට A to Z කාර් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙන්න ගත්තා.

කාර් ගෙවල්වල ගාල් වෙනවා. මම අවුරුදු පහක් සංවිධානය ඇතුළේ ෆයිට් කරලා EN 9999 දක්වා වෙන කාර් අපේ ක්ලබ් එකට ඇතුළු කර ගත්තා. 2018දී මම පරණ කාර්වලින් යාපනේ යන්න යෝජනා කළා. අපේ කොමිටිය මට කිව්වෙ ඔයා තියෙන පරණ කාර් ටිකත් විනාශ කරන්න හදනවා කියලා. මම කිව්වා යකඩ එක්ක අපිට නෑකමක් නෑ, අපි යමු කාර් කැඩුණොත් හදමු කියලා. කාර් 18ක් යාපනේ ගියා. EN කාර් 3ක් ගියා. අනෙක්වා A to Z.

A to Z 18ම යාපනයට ගියා. කිසිම ඩෙක් නැහැ. EN එකයි, ඛ්ව් එකයි, EL එකයි, මොරිස් මයිනර් 2යි ෆෝර්ඩ් එකයි ඒ තුනම ලෙඩ දුන්නා. A to Z කාර් වතුර බින්දුවක් බොයිල් කරේ නැහැ. ලස්සනට ගියා. හරි විනෝද හෙරිටේජ් ගමනක්.

අපේ ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් ඉන්නේ නීල් ප්‍රනාන්දු. වයිස් ප්‍රසිඩන්ට්ල ගිනිගේ සහ මහේෂ් මල්ලවාරච්චි සෙකටි්‍ර බැසිල් ප්‍රනාන්දු. තමන්ගේ පරණ වාහනය වික්කොත් ඒ සාමාජිකයා ක්ලබ් එකෙන් අයින් වෙනවා. EN දක්වා ගත්තෙ නැත්නම් අපි ක්‍ෂය වෙලා යනවා. දැන් මංගල උත්සවවලදී පරණ කාර්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අලුත් ජෝඩු පරණ කාර්වල යන්න ආසයි. පාරේ මොන අලුත් කාර් එක ගියත් පස්ස හැරිලා බලන්නේ නැහැ. පරණ කාරෙකක් ගියොත් පෙනෙන තෙක් පස්ස හැරිලා බලා ඉන්නවා. පරණ කාර්වලට මිනිස්සු හරිම කැමැතියි. අලුත් පරපුර මේකෙ වටිනාකම දන්නවා.

සමහරු තමන්ගෙ පවුල්වලට පරණ ඉතිහාසයක් හදන්නත් පරණ කාර් ගන්නවා. පරණ කාර් එකක් අරන් මේක අපේ සීයගෙ කාරෙක කියනවා. නමුත් සීයට බර කරත්තයක්වත් තිබිලා නැහැ. සමහර පරම්පරාවල පරණ කාර් ඒවට ආස නැති දරුවො විනාශ කරලා තියෙනවා. ලංකාවෙ හුඟක් පරණ කාර් බෝතල් පත්තරකාරයෝ පරණ යකඩවලට වික්කා. අපි මේවා ආරක්‍ෂා නොකළොත් අනාගත පරපුරට මේව දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මා ගාව තියෙන වොක්ස්වෝල් කාරෙක අවුරුදු 17ක් විතර දුවනවා. ප්‍රශ්න නැහැ. වින්ටේජ් එකේ හැම රන් එකකටම දිව්වා.

පරණ කාර්වල ලයිසන් ගාස්තු අඩුකරලා දුන්නේ එම්.එච්. මොහොමඩ් ප්‍රවාහන ඇමැතිතුමා හැටියට ඉන්න කාලේ. මුළු ලංකාවෙම A to Z කාර්වලට ලයිසන් ගාස්තුව රුපියල් 25 කළා. ඉන්ෂුවරන්ස් එක රුපියල් 100යි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලයිසන් එක රුපියල් 100 කළා. දැන් තියෙන්නෙ ඒ ගාන. කාර් 215ක් දැනට ලංකාවේ තියෙනවා. මේක හොඳ විනෝදාංශයක්. හැබැයි ඉතින් සුදු අලියෙක් නඩත්තු කරනව වගේ. අපේ සංගමය ආරම්භයෙ ඉඳලම ඡායාරූප ශිල්පියා බන්දුල අලහකෝන්. එයා මේකෙ ඉතිහාසය හොඳට දන්නවා.



1944දී ඉංගී්‍රසි ආණ්ඩුව වාහන ලියපදිංචි  කළ අයුරු.

A - කොළඹ

B - කළුතර

C - කොළඹ නගර සභාව

D - මහනුවර

E - මාතලේ

F - නුවරඑළිය

G - මහනුවර නගර සභාව

H - යාපනය

I - මුලතිව්

J - මන්නාරම

K - ගාල්ල

L - මාතර

M - හම්බන්තොට

N - ගාල්ල නගර සභාව

O - මඩකළපුව

P - ත්‍රිකුණාමලය

Q  - කුරුණෑගල

R - පුත්තලම

S - හලාවත

T - අනුරාධපුර

U - බදුල්ල

V - රත්නපුර

W - කෑගල්ල

X - කොළඹ නගර සභාව

Z - මුළු ලංකාවටම
gossip lanka