gossip lanka

චරිතාංග නිළියක් වෙන්න තමා මට ගොඩක්ම උවමනා කරලා තිබුණේ - හංසි දෙව්මිණි

සිරස ‘ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි හංසි දෙව්මිණි මේ වනවිට බොහෝ කලා නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ඔබට දැක ගැනීමට හැකිය. මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය අනාගතයේදී චරිතංග නිළියක් වීමට උත්සාහ දරමින් සිටියින. මේ ඇය අපි සමග සිය කලා තොරතුරු පැවසු අයුරු.

ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?

මම කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ  2014 වසරේදී.  එතකොට මම මැක්ස් නාලිකාව සහ CSN නාලිකාවේ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කළා.  ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා ගෙදර අය කිව්වා අධ්‍යාපනයට වැඩිපුර අවධානයක් යොමු කරන්න කියලා. කොහොම හරි අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීලා අවසන් වුණාට පස්සේ 2017 වසරේ දී වසරේ දී මම සිරස රූපවාහිනි නාළිකාව මඟින් පැවැත්වූ ‘සිරස ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගයට සම්බන්ධ වෙලා එහි අවසන් 16 දෙනා අතරට ආවා. එතැනින් පස්සේ තමයි මගේ ගමන හරියටම ආරම්භ වුණේ.

රංගන ශිල්පිනියක් වෙන ආසාවක් ඔබට තෙරේන කාළේ ඉඳලා තිබුණද?

ඔව්, නිළියක් වෙන්න ආසාවක් තිබුණා මට. චරිතාංග නිළියක් වෙන්න තමා මට ගොඩක්ම උවමනා කරලා තිබුණේ.  වෙලාවකට හිතෙනවා මට මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්ද කියලා. මොකද, මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියටනේ. අදටත් මගේ ගෙදර අය කියන්නේ ඒ පැත්තට යොමු වෙන්න කියලා. රංගනයට වගේම ඒ පැත්තට යොමු වෙන්නත් ලොකු ආසාවක් තියෙනවා. හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඒක මම භාර ගන්නවා.

වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබේ මතය කුමක්ද?

ක්ෂේත්‍රය ගැන හිතුවොත් සමහර වෙලාවට සතුටු වෙන්න ඕන අවස්ථා තියෙනවා.  ඒ වගේම දුක හිතෙන අවස්ථාත් තියෙනවා. ගොඩක් අය පෝටෝ ෂුට් දෙක තුනක් කරපු පළියට තමන් නිළියක්, නිරූපිකාවක් කියලා හිතාගෙන කටයුතු කරනවා.  ඇත්තටම මටත් ඒ ගැන හිතාගන්න අමාරුයි. මොකද, එහෙම කළා කියලා කලා ශිල්පිනියක් වෙන්න බැහැ. ඒ ගැන පුළුව අවබෝධයක් හැදෑරිමක් තියෙන්න ඕනා කියලා මම නම් හිතන්නේ.

 ඔබ දායක වුණ කලා නිර්මාණ ගැනත් සඳහනක් කරමුද?

‘සිරස ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගයෙන් පස්සේ මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය සිදුවෙනවා. නොහිතන විදියට ඒ තරගය ඉන්න අතරතුරම ටෙලිනාට්‍ය හා චිත්‍රපටය කිහිපයකටම මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. නමුත් තරගයේ නිති රීති නිසා, ඒවාට ගරු කරන්න ඕන නිසා, ඒ සියලු ආරාධනා මට ප්‍රතික්ෂේප කරන්න වුණා. තරගයෙන් පස්සේ පෝය ටෙලි නාට්‍යයක්, ‘කෝපි කඩේ’,  ‘වින්කලේ ගෙදර’, ‘කුමි’ ආදි ටෙලි නාට්‍යයවලටත් ‘සුපර් සික්ස්’ චිත්‍රපටයටත් ‘ෆැන්ටා’, ‘නොලිම්ට්’ හා ‘කොකා කෝලා’ කියන යෙළෙඳ දැන්වීම්වලටත් මම දායක වෙලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා  කිහිපියකටත් මම පසුගිය කාලයේ දායක වුණා.


මේක ඔබේ වෘත්තියද?

දැනට නම් මම වෙනත් වෘත්තියක රැඳෙන්නේ නැහැ. මේක තමයි වෘත්තිය කරගෙන ඉන්නේ මේක මගේ වෘත්තීය වුණත් නැතත්, විනෝදාංශයක්. මොකද මම රංගනයට ගොඩක් ආසයි. ඒ වගේම ගොඩක් ආදරේ කරනවා හා ගෞරවය කරනවා. දැනට මම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අධ්‍යාපන කටයුතුත් සමග සමබරව මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න තමයි අදහස මගේ.

කලාකාරිණියකට මේ ක්ෂේත්‍රය තුළ පිළිගැනීම කොහොමද?

මම හිතන්නේ ඒක අදාල කෙනාගේ ප්‍රතිරූපය, එයා කරන ක්‍රියාකාරකම්, එයාගෙ හැසිරීම් රටාව, මත තමයි තීරණය වෙන්නේ. කෙනෙක් මේ ක්ෂේත්‍රය සම්බන්ධ වුණොත් දැනගන්න අවශ්‍යයි තමන් කොහොමද මේ ක්ෂේත්‍රය අනෙක් පිරිස් සමග කතාබහ කරන්න හා හැසිරෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක මම දකින විදිහට කෙනෙක්ට දිගු ගමනක් යන්න පුළුවන් වෙනවා ඉවසීමෙන් තමන්ගේ වැඩේ හරියට කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ ගමන වඩාත් සාර්ථක වෙයි.


ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නේද අදහස?

ඇත්තටම කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳිලා ඉන්න  කැමතියි. ඒත්, ගෙදරින් නම් ටිකක් විතර බලපෑම් වැඩියි. එයාලට බයයි මම අධ්‍යාපනය කඩාකප්පල් කර ගනියි කියලා. මම නම් අධ්‍යාපනයත් එක්කම මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳිලා ප්‍රේක්ෂකයන් අතරට චරිතාංග නිළියක් විදිහට දවසක කවද හරි යන්න තමයි බලාපොරොත්තුව.


උදව් කරපු අය ගැනත් මතක් කරමු?

උදව් කරපු අය නම් ගොඩ දෙනෙක් ඉන්නවා. මුලින්ම මගේ පවුලේ අයයි යාළුවොයි නැදෑයෝ  අහළපහළ උදවිය ගොඩක් උදව් කළා. ඒ අතරින් රාජ, නිරෝෂන්, දිනේෂ්, දමිත්, ඉමල් මා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේ අයියලා අක්කලා වගේම මගේ කණ්ඩායමේ ඉන්න යහළුවෝ ටික විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

බුද්ධික සේනාධීර
සාරවිට
gossip lanka