gossip lanka

සනත් ජයසූරිය කියන්නේ වෙනම කෙනෙක් - ගෝඨාභය මැතිතුමා මගෙන් ඉල්ලීමක් කලා - තිලකරත්න ඩිල්ෂාන්ගෙන් දේශපාලනයටත් ඩිල්ස්කුප් පහරක්

තිලකරත්න ඩිල්ෂාන් කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. පහුගිය කාලේ ඔහු මේ රටේ හුඟක්ම ප‍්‍රසිද්ධ වුණේ ක‍්‍රිකට් නිසා. ක‍්‍රිකට් නිසා ඩිල්ෂාන් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝක ප‍්‍රසිද්ධ වුණා. අපේ රටේ පුංචි දරුවෙක් වුණත් වුණත් ඩිල්ෂාන් කියනකොට මතක් කරන්නේ ක‍්‍රිකට්.


ක‍්‍රිකට් නිසා ලෝකය අඳුරගත්තු තිලකරත්න ඩිල්ෂාන් මේ දවස් වල දේශපාලනය ගැනත් කතා කරන්න පටන් අරන්. මහ මැතිවරණයකට රටම සූදානම් වන මේ දවස්වල තිලකරත්න ඩිල්ෂානුත් දේශපාලනය ගැන කතා කරන්න පටන් අරන් තියෙන්නේ ඇයි කියන එක ඔබට රහසක් නෙවෙයි. දේශපාලනඥයෝ, ඔවුන්ගේ පුත්තු, බිරින්දෑවරු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ, මාධ්‍යවේදීන්, කලාකරුවො, සාහිත්‍යකරුවො, ක‍්‍රීඩකයෝ ආදී මේ හැම දෙනෙක්ම දේශපාලනේ ගැන උනන්දුවෙන් කතාබහ කරන මේ දවස්වල තිලකරත්න ඩිල්ෂාන් මොකක්ද මේ කරන්න යන්නේ කියල බලන්න පසුගිය දිනක අපි ගියා ගාල්ලට. ගාල්ල කිව්වට... ගාල්ල දිස්ත‍්‍රික්කයේ උතුරු කෙළවරේ බෙන්තර ගෙඟ් වම් ඉවුරෙ ‘‘කහඹිලියාකන්ද’’ කියන තැන තමයි ඔහුගේ ගම. ඒ ගමේ ඔහුගේ අම්මගේ මහගෙදර පිහිටි වත්තේ හදලා තිබුණ ඩිල්ෂාන්ගේ සමාජ සේවා මධ්‍යස්ථානයේ ඒ වෙලාවේ ලොකු දානමය පුණ්‍ය කර්මයක්. ස්වාමීන් වහන්සේ සියක් නමක් වෙනුවෙන් සූදානම් කළ සංඝගත දක්ෂිණාවකින් පස්සේ ඩිල්ෂාන් මුල් වරට ඔහුගේ අරමුණ පැහැදිලි කරමින් මාධ්‍ය අමතා කතා කළා. අන්න ඒ අවස්ථාවේ තමයි අපටත් ඉඩකඩ ලැබුණේ ජනතාව වෙනුවෙන් ඔහුගෙන් අහන්න ඕන ප‍්‍රශ්න ටිකක් මේ විදියට අහන්න...
අපි අහල තිබුණ විදියට තිලකරත්න දිල්ෂාන් ජීවත් වුණේ කළුතර දිස්ත‍්‍රික්කයේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අද ඔබ ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ඡන්දය ඉල්ලනවා. මොකද්ද පදනම..?

මං හිතන්නේ පදනම දැන් ඔබට පේනවා ඇති. මේ කහඹිලියාකන්ද තමයි අපේ අම්මගෙ ගම. මේක අපේ අම්මලගෙ මහ ඉඩම. මහගෙදර තියෙන්නෙ මීට එහා පැත්තේ. මගෙත් ගම මේක. ඉතින් තවත් මොනවද..?

ඒක තමා අපිත් අහන්නේ... ඉතින් තවත් මොනවද..?

තවත් දෙයක් තියනවා. ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමායි මගෙන් කරපු ඉල්ලීම. මම ක‍්‍රිකට් සෙල්ලම් කරන කාලේ ඉඳන්ම, මීට අවුරුදු 15 ක පමණ කාලයක් තිස්සේ පොදුවේ රට පුරාමත්, විශේෂයෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කයේත් කරමින් ආපු සමාජ සේවා කටයුතු තවදුරටත් කරගෙන යන්න ජනතා වගකීමක් බාර අරගෙන දේශපාලන කරළියට එන්න කියල මගෙන් ඉල්ලීමක් කළා. ඉතින් මම ඒක සතුටෙන් බාර ගත්තා. මම තේරුම් අරන් ඉන්නවා මේ ගාලූ ප‍්‍රදේශය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන්, අපේ රටේ ක‍්‍රීඩාව වෙනුවෙන් මොකක්ද කරන්න ඕන කියන එක.

මෙච්චර කාලයක් අපේ රටේ කලාකරුවෝ, සාහිත්‍ය කරුවෝ, ක‍්‍රීඩකයෝ තමන්ගේ ක්ෂේත‍්‍රයට මහත් සේවයක් කරන්න කියලා දේශපාලනයට ආවා. හැබැයි ඒ කිසිම කෙනෙක් කරපු සේවයක් නම් පේන්න නෑ. දැන් ඔබ වගේම ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙක් වුණු සනත් ජයසූරිය උදාහරණයට අරගන්න...?



මම කාගෙවත් නමක් උදාහරණයට අරන් කතා කරන්න කැමති නෑ. ඔබ අහපු නිසා කියන්නම්. සනත් ජයසූරිය කියන්නේ වෙනම කෙනෙක්. මම වෙනම කෙනෙක්. මම කරපු දේවල් ගැන කියනව නෙවෙයි. සමහරු ක‍්‍රීඩාවට සමාජයට සේවයක් කරන්න හිතන්නේ දේශපාලනයට ඇවිල්ලා ඉන්පසුව. ඒ ඇවිල්ලාත් අවුරුදු පහක් හයක් කිසිම දෙයක් රටට ගමට නොකරපු දේශපාලනඥයෝත් ඉන්නවා. අඩුම ගණනේ පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා නොකරපු. හැබැයි මම දැන් අවුරුදු 15 ක් තිස්සේ ඒ දේ කරගෙන එනවා. මට තිබෙනවා ”ඔබ වෙනුවෙන් අපි” කියල සංවිධානයක්. අපි ඒ සංවිධානය තුළින් මේ වෙනකොට රට පුරාම ගෙවල් 1000 කට වඩා හදලා දීලා තියෙනවා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ මොන්ටිසෝරි 5ක් හදලා දුන්නා. ළමයි 7500 කට මාස තුනකට සැරයක් පියල් 8500 බැගින් ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. රට පුරාම පාපැදි බෙදනවා. මේ ළඟදි ත‍්‍රිකුණාමලයේ ගිහිල්ලා ආගම් ජාති භේදයක් බලන්න නැතිව පාපැදි 100 ක් බෙදා දුන්නා. පවුල් 400 ක් තෝරගෙන මාසෙකට වරක් රුපියල් 5000 ක් බැගින් වටිනා වියළි ආහාර සලාකයක් දෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආසනයකට නිවාස 50 බැගින් තවත් නිවාස 500 ක් හදා දෙන්න ඉදිරි අවුරුදු පහ තුළ සැලැස්මක් තියෙනවා. ලංකාවේ දුප්පත්ම පාසල් දෙසීය 200 ක් තෝරගෙන ඒවායේ ක‍්‍රීඩාව නගා සිටවන්න ක‍්‍රීඩා භාණ්ඩ ලබා දෙනවා. දැනටමත් පාසල් 25 කට මම ඒ උපකාරය කරලා ඉවරයි. මහියංගනයේ දුප්පත් පාසලක් තෝරාගෙන සම්පූර්ණයෙන්ම ඒක හදලා ඉවර කළා. මම මේවා ප‍්‍රසිද්ධියේ කියලා කරපුවා නොවෙයි. ඔබ අහපු නිසා කිව්වේ. ක‍්‍රීඩාවෙන් දේශපාලනයට ආපු අය මොකුත්ම කරල නෑ කිව්වට මම දේශපාලනයට එන්න කලිනුත් ජාති ආගම් කුල භේදයක් බලන් නැතුව සමාජ සේවා ව්‍යාපාර කරලා තියෙනවා. ඉදිරියටත් මා තුළ රට වෙනුවෙනුත්, ගාල්ල වෙනුවෙනුත් ලොකු සැලැස්මක් තියෙනවා.

ඔබ නිතරම කියන දෙයක් මම සිංහල බෞද්ධයෙක් කියන එක. හැබැයි රටේ කතාවක් පැතිර යනවා ඔබ අන්‍ය ජාතිකයෙක් අන්‍ය ආගමිකයෙක් කියලා..?

ඕකට හොඳ උත්තරයක් බුදුන්වහන්සේ දීලා තියෙනවා. කෙනෙක් බ‍්‍රාහ්මණයෙක් වෙන්නෙත් වසලයෙක් වෙන්නෙත් උත්පත්තියෙන් නෙවෙයි, ඔහු කරන ක‍්‍රියාවෙන්. කෙනෙක්ගෙ ආගම-ධර්මය ජාතිය ඔක්කොම පැවත එන්නේ උප්පත්තියෙන් වුණාට පැවැත්මෙන් ඔහු කරන දේවල් හොඳ නැත්නම් උපතින් ලැබිච්ච දෙයින් ඇති පලක් නැහැ. මට ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ අම්මා බෞද්ධ. මගේ තාත්තාත් බෞද්ධ. මමත් බෞද්ධ. මම කැමතියි ආඩම්බරයෙන් කියන්න, මම හදවතින්ම ශ‍්‍රී ලාංකිකයෙක්. මට ඒක උරුමයෙන් වගේම පැවැත්මෙන් ඔප්පු කරලා තියෙනවා. මට ජාති භේදයක් නෑ. අද වුණත් ඔබ දකින්න ඇති. මෙතන බෞද්ධ ස්වාමින් වහන්සේ විශාල පිරිසකට දානයක් දුන්නා. ඒ වෙලාවේ අන්‍ය ආගමික පූජක ප‍්‍රසාදීන් වහන්සේත් ඇවිත් හිටියා. ඒ වගේම අද මෙතන උදව් උපකාර කරන්න ඇවිල්ල හිටපු මගේ යාළුවෝ අතර විශාල පිරිසක් දෙමළ මුස්ලිම් අයත් හිටියා.

අපි ක‍්‍රීඩා කරන කාලෙ මම හයක් ගහනකොට මුරලි අයියා විකට් එකක් ගන්න කොට මහරුෆ් උඩපන්දුවක් ගන්නකොට මේ රටේ සෑම ජාතියකටම හැම ආගමකටම අයිති අය ශ‍්‍රී ලාංකිකයෝ හැටියටයි අපිට චියර් කරේ. ඒ ඒ ආගමට වෙනවෙනම නෙමෙයි. ඒ වගේම මගේ බත් එකේ තියන මාළු ඇඹුල්තියල් කෑල්ල, මුරලි අයියාගේ බත් එකේ තියන කරවිල වෑංජනය අපි බෙදා හදාගෙන එක බත් එකක කෑවා. ක‍්‍රීඩකයෝ වන අපට ජාති ආගම් භේදයක් තිබුණෙම නැහැ. අනාගතයටත් එහෙම ඕනෙම නැහැ.

ඔබ එහෙම කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලන වෙලාවේ අපි දැක්කා ජාති භේදය. මුස්ලිම් දෙමළ උදවිය එතුමාට විරුද්ධව සංවිධානාත්මකව ඡන්දය පාවිච්චි කළා. ඔබට පුළුවන්ද මේ තත්ත්වයට ඉදිරියේදී විසඳුමක් යෝජනා කරන්න..?

ගාල්ල දිස්ත‍්‍රික්කයේ වගකීමක් මට පවරන කොට බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ගාල්ල දිස්ත‍්‍රික්කයත් බහු වාර්ගික බහු ආගමික සංයුතියක් සහිතයි. පැරණි සාම්ප‍්‍රදායික බෙදීම්වලින් තොරව ශ‍්‍රී ලාංකිකයෝ හැටියට අත්වැල් බැඳගෙන අලූත් ගමනක් යන්න පාර කපන්න මම හිතනවා ගාල්ලෙන් දායක වෙන්න මට පුළුවන්. මට ඒකට විශ්වාසයක් තියෙනවා.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ ඔබට කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා. විශේෂයෙන් ඒ තුළ ඔබට හොඳ ගමනක් යන්න තිබුණා. ඇයි ඔබ ඒ පැත්ත අත්ඇරලා දේශපාලනේට ආවේ..?

ඒක හොඳ ප‍්‍රශ්නයක්... හුඟක් අය මගෙන් අහනවා ඇයි මේ දේශපාලන මඩ ගොහොරුවේ එරෙන්න එන්නේ කියලා. මේ රටේ තිබුණා අවාසනාවන්ත යුද්ධයක්. ඒකට විසඳුමක් දෙන්න අපේ රටේ හිටපු නායකයෝ බර ගණනක් විවිධ උත්සාහයන් ගත්තා. ඒ වුණත් ඒකට ප‍්‍රායෝගික කල් පවතින විසඳුමක් දෙන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරයි. ඒ සඳහා පිටුපසින් ඉඳගෙන දැවැන්ත සවියක්, යෝධ ශක්තියක් දීපු නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම ඊට අනුබල දෙන ආර්ථිකමය ක‍්‍රමෝපායන් සකස් කරමින් බැසිල් රාජපක්ෂ මැතිතුමා බලගතු මගපෙන්වීමක් කළා. ඒ තුළින් කාගෙත් සහයෝගය ඇතිව යුද්ධය ජයගත්තා. යුද්ධය ජය ගත්තට පස්සේ ඒ නායකයෝ ටික මේ රට ගොඩනඟපු ආකාරය දිහා මං බලාගෙන හිටියා. 2015 වන තුරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ දැක්ම තුළින් නගරය සංවර්ධනය වෙන හැටි, රට හැදෙන හැටි, රට අලංකාරයට පත් වෙන හැටි මම දැක්කා. ඒ වගේම නූතන වරායවල් නූතන ගුවන් තොටුපොළවල් අධිවේගී මාර්ග ආදී භෞතික දියුණුව වගේම ඒ තුළින් ආර්ථික සංවර්ධනයත් සිද්ධ වෙන ආකාරය මම දැක්කා. අවාසනාවකට 2015 දී දේශපාලනයේ ලොකු වෙනසක් වෙලා රට ආපස්සට යන්න පටන් ගන්න හැටි මම දැක්කා. ඒ ගමන නතර වුණේ පහුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මැතිතුමා ජයග‍්‍රහණය කිරීමත් සමගයි. හැබැයි ඒ ජයග‍්‍රහණය ජය තහවුරු කරන්න නම් ඉතාමත්ම ශක්තිමත්ව ඉදිරි මහ මැතිවරණයෙන් ජය අරගෙන ගෝඨාභය මැතිතුමාට ශක්තියක් ලබා දෙන්න ඕන. අන්න ඒ මාහැඟි කාර්යයට මට හැකි උපරිමයෙන් උර දෙන්න ඒ තමයි මම දේශපාලනයට එන්න තීරණය කළේ. ක‍්‍රිකට් තුළම දිගින් දිගටම කටයුතු කළා නම් ඒක මගේ පුද්ගලික ජීවිතයට හොඳ බව මම දන්නවා. නමුත් මම ශ‍්‍රී ලාංකිකයෙක් හැටියට රට වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්නත් ඕන කියන තැන ඉන්නවා. ඒ යුතුකම ඉටු කරන්නයි මම දැන් ඇවිල්ලා ඉන්නේ.

ගාල්ල ගොඩක් ශක්තිමත් නායකයෝ ගණනාවක් ඉන්න දිස්ත‍්‍රික්කයක්. ඒ අය සමග සටන්කර ජයග‍්‍රහණයක් ලබන එක ලොකු අභියෝගයක්. ඒ සඳහා ඔබට වැඩපිළිවෙළක් තියෙනවද..?

නිසැකවම තියෙනව. මම දැනටමත් ගාල්ල සඳහා එම වැඩපිළිවෙල සූදානම් කරන්න අවශ්‍ය හැදෑරීම් කරල ඉවරයි. කුරුඳු ගොවියන්, තේ ගොවියන් රබර් ගොවියන් ඒ වගේම ආර්ථික බෝග වගාකරුවන් ගැන මම හැදෑරීම් කළා. ධීවරයන් හා සංචාරක ව්‍යාපාරය තුළින් ජීවිකාව කරන අය මේ පළාතේ විශේෂයි. මම දැනටමත් ඔවුන් ගැන හදාරලා ඔවුන්ගේ ප‍්‍රශ්න මොනවා ද කියන එක තේරුම් අරන් වැඩ පිළිවෙළක් සකස් කරලා ඉවරයි. නාමයෝජනා භාරදුන් අවස්ථාව වෙනකොට මම ඒක ජනාධිපතිතුමාටත් බැසිල් මැතිතුමාටත් අපේ අගමැතිතුමාටත් ඉදිරිපත් කරනවා. නූතන තාක්ෂණයත් ලෝක පර්යාය ව්‍යාපාරික ඥානයත් එකට එකතු කරමින් සංචාරක කර්මාන්තය තුළින් ගාල්ලට ලොකු මෙහෙවරක් කරන්න අපිට පුළුවන් වේවි. ප‍්‍රවීණ දේශපාලනඥයෝ උගත් නායකයො මා සමග ඒ වැඩ පිළිවෙළට එකතුවේවි. ඔබ කියනවා වගේ අපි අතර තරගයක් නෑ...

දේශපාලනඥයෙක් හැටියට ඉදිරියට ඇවිත්, ඒ තුළින් ක‍්‍රිකට් වලටත් යම් මෙහෙයක් කරන්න ඔබට පුළුවන්. ඔබගේ අනාගත වැඩපිළිවෙළ තුළ ක‍්‍රිකට් තියෙන්නෙ කොතනද එතකොට..?

මේ වැඩපිළිවෙළ තුළ මම දැනටමත් ඉන්නවා. අපේ ලංකාවේ ක‍්‍රිකට් අද බිඳ වැටිලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. පහුගිය කාලේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් ගොඩක් අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සිදුවුණා.

ක‍්‍රිකට් බිඳ වැටෙන්න හේතුව මොකක්ද? ඔබට වගකීමක් ලැබුණොත් ඔබ කොතනින්ද පටන් ගන්නේ ?

මම පටන් ගන්නේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නඟා සිටුවීම තුළින්. අද අපේ පාසල් පද්ධතියේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බින්දුවටම ඇද වැටිලා. ඒ කාලේ අපි ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩා කරනකොට අපිට පිටිපස්සෙන් ජාතික ක‍්‍රීඩාවට එන්න පාසල් පද්ධතිය තුළ ඉතාම හොඳ ක‍්‍රීඩකයෝ 30 ක් විතර මග බලාගෙන හිටියා. නම් ටික අරගෙන බලන්නකෝ. අද තුන් හතර දෙනකුට වඩා ඉන්නව ද. පාසල් ක‍්‍රිකට් තුළින් ඉදිරියට ඇවිල්ල යන්තම් ඉස්මතු වෙලා නමක් හදාගෙන එනකොටම ඒ ගොල්ලෝ ඔස්ටේ‍්‍රලියාවට හරි එංගලන්තෙට හරි ගිහිල්ලා ක‍්‍රිකට් ගහල කීයක් හරි හරි හම්බ කර ගන්න උත්සාහ කරනවා මිසක් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩා කරන්න ඕන කියලා ඉලක්කයක් තියාගෙන ඉන්නේ නැහැ. ඒ තත්ත්වෙට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පත්වෙලා ඉවරයි. ක‍්‍රිකට් පරිපාලනයයි පහුගිය දවස්වල ඒකට ඇඟිලි ගහපු දේශපාලනයයි මේකට වග කියන්න ඕන.

අපට වුණත් මේ ක‍්‍රිකට් පරිපාලනය ඇතුළෙ තැනක් නැහැ. මම දේශපාලනයට එන්න තීරණය කරන්නට කලින් ගියා පී බෝඞ් එකට. ගිහිල්ලා ඈෂ්ලි හම්බ වෙලාම කිව්වා මම ක‍්‍රිකට් වලට සේවයක් කරන්න කැමැතියි... මගෙන් යම් කිසි වැඩක් ගන්න කියලා. එදා එයා ඉතාම සතුටු වෙලා මට කිව්වා ලබන සතියෙම ඇවිල්ලා වැඩ භාරගෙන වැඩ කරන්න කියලා. එතනින් පස්සේ අද වෙනකන් ඒ ගැන වචනයක්වත් නෑ. ඔන්න ඔහොමයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්.

අපි මේ තත්ත්වෙ දේශපාලනය තුළින් නැති කරන්න ඕන. ඊළඟට පාසල් ක‍්‍රිකට් මුල ඉඳලම දියුණු කරන්න ඕන. ඒකට අපි ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම තියෙන පාසල් වල ක‍්‍රිකට් පිළිබඳ දියුණුවක් ඇති කරන්න. මං අදහන දෙයක් තියෙනව. ක‍්‍රිකට් වලට දක්ෂයො ඉන්නේ කොළඹ නෙමෙයි ගමේ. මම දුෂ්කර පාසල් වලට ගිහිල්ලා වැඩමුළු පවත්වන නිසයි දන්නේ. මට එක පාරක් මහියංගනයෙන් හමුවුන දක්ෂ ක‍්‍රීඩකයෙක් ඉන්නවා. ඒ අය කොළඹ ගෙන්නලා ක‍්‍රිකට් ගස්වන්න මට තවම ක‍්‍රමයක් නෑ. මම දන්නවා අතිදක්ෂයෝ ගමේ ඉන්නේ. ඒ අය කොළඹ ගේන්න වැඩපිළිවෙළක් අපි දේශපාලනය තුළින් ගොඩ නගන්න ඕන. පාසල් ක‍්‍රිකට් නැංවීම තමයි හොඳම පිළියම.

ඔබ ක‍්‍රිකට් තුළින් ලෝකයේම නමක් දිනාගත්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අලූත් පහරක් පවා හඳුන්වා දීලා. හිතනවද ඒ බඳු සේවයක් ඔබට දේශපාලනයේදී කරන්න ලැබෙයි කියලා..?

නිසැකවම... මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එකතු කරපු එම පහර වන ඩිල්ස්කූප් (dilscoop) එක මං හිතන්නේ ලෝකයේ ක‍්‍රිකට් තිබෙන තාක් කල් තියේවි. ඒ වගේම තමයි දේශපාලනය තුළත් මම නිසැකවම ඩිල්ස්කූප් එකක් ගහනවා. අලූත් වෙනසක් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ තුළ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් මට ඒ ඩිල්ස්කූප් එක දේශපාලනයේදී ගහන කටයුත්ත අමාරු වෙන එකක් නැහැ. මේ රටේ ජනතාව මට ඒ සඳහා උදව් කරාවි කියලා මම දන්නවා.
gossip lanka