gossip lanka

"දවස් කිහිපයක් ගියා මගේ හිත හදා ගන්න.." - ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සමුදුන් ශෂිකලා කියන සංවේදී කතාව

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිතිකරණයෙන් හා පන්දුවෙන් බලගැන්වූ ශෂිකලා සිරිවර්ධන මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්. වසර 17ක් තිස්සේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එකතු වී ක්‍රීඩා කළ ඈ පන්දුවාර 20යි 20 හා එක්දින ජාත්‍යන්තර 199ක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර වාර්තා තබන්නටත් සමත් වෙනවා. අවසන් තරගයේදී පවා වාර්තාවක් තබමින් ජාත්‍යන්තර පිටියට සමුදුන් ඇය ඒ ගැන කියන්නේ මෙහෙමයි.


ශෂිකලා වර්ෂ 17ක් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක එකතු වෙලා කටයුතු කළා. අවසානයේ වාර්ථාවක් තියලා ක්‍රිකට්වලට සමු දුන්නා. ඒ සමු ගැන්ම දැනෙන්න ඇත්තේ විවාහ වෙලා මහ ගෙදරින් පිටමං වුණා වගේ හැගීමක් වෙන්න ඇති නේද..?
ඇත්තටම ඒ වගේ හැගීමක් වේදනාවක් තමයි මට එදා ඇති වුණේ. මම අවුරුදු 17ක් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කළා. එදා දවස හරිම වේදනාකාරී දවසක්. නමුත් මම දැඩිව හිතා ගත්තා මුලින්ම එදා තරගය හොදින් ක්‍රීඩා කරලා කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා කරන්න ඕන කියලා. මොකද ඒ තරගය හරිම වැදගත් තරගයක්. ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න නම් ඒ තරගය ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා මම මුලින්ම තරගයට අවධානය දීලා ක්‍රීඩා කළා. කොහොම නමුත් අවසානයේ මම වාර්තාවකුත් තැබුවා. තරගය දිනපු වෙලාවේ කණ්ඩායම ක්‍රීඩිකාවන් සියල්ලම මගේ ලගට දුවගෙන ආව මොහොතේ තමයි මට දැණුනේ මම අදින් පස්සේ මේ කණ්ඩායම එක්ක ක්‍රීඩා කරන්නේ නැහැනේ කියලා. ඒ දසුන් එක්ක මගේ හිතට පුදුමාකාර දුකක් ඇති වුනා. දවස් කිහිපයක් ගියා මගේ හිත හදා ගන්න. ඒ වගේම කියන්න ඕන මතක හිටින තරගයක් එක්ක සමු ගැන්ම සටහන් කිරීම ගැන සතුටු වෙන්න පුළුවන්.

ක්‍රිකට් ජිවිතයට සමු දෙන්න දවස් කීයක් කල්පනා කරලද තීරණය ගත්තේ..?
ගිය අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ලංකාවට ආවා තරගාවලියකට. ඒ තරගාවලිය අවසාන කරලා මම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා කියලා තීරණය කරලා තිබ්බේ. නමුත් මට සමු දෙන්න අවසර ලැබුණේ නැහැ. අපේ පුහුණුකරු වගේ කණ්ඩායම් නායිකාව මට කිව්වා ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරලාම මේ තීරණය ගන්න කියලා. ඒ වෙද්දී කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් දෙතුන් දෙනයි හිටියේ. මගේ පළපුරුද්ද අලුත් ක්‍රීඩිකාවන් එක්ක බෙදාගෙන සමු දෙන්න කිව්වා. ඒ ආදරණිය කීමට මම ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ මම ජාතික කණ්ඩායමට සමු දුන්නා. ගිය අවුරුද්දේ ඉදලම ඒ තීරණය අරගෙන තිබුණේ කිව්වොත් හරි.

අවුරුදු 17ක් තිස්සේ ක්‍රිකට් ජීවිතය එක්ක ජිවත් වූ ශෂිකලා මේ වෙද්දී බොහෝ රටවල සංචාරය කරලා ඇති..?
රටවල් ගාණ හෝ වාර ගාණ නම් මට මතක නැහැ. ක්‍රිකට් ක්‍රීඩා කරන හැම රටකම මම සංචාරය කරලා තියෙනවා. ඇතැම් රටවල්වල කිහිප වතාවක් සංචාරය කරලා තියෙනවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. බොහෝ කාන්තාවන්ට අත්විදින්න නොලැබෙන අත්දැකීම් ක්‍රිකට් නිසා මට හිමි වුනා. ලස්සන රටවල් සංචාරය කරලා අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. ඒ ගැන හරිම ආඩම්බරයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහයෝගය ඔබට ලැබුණට..?
අර්ජුන, චමින්ද වස්, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග වගේ ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ ඇසුර මට විශේෂයෙන් ලැබුණා. ඔවුන් නිතරම මගේ වැරදි අඩුපාඩු පෙන්වලා ඒවා හදා ගන්න උදව් කළා. මම හිතනවා ඔවුන් අපි ක්‍රිකට් ක්‍රීඩා කරන තරග නරඹනවා ඇති. ඒ නිසා තමයි මට එයාලගෙන් උදව් ලැබුණේ. ඒ වගේම මගේ පළමු පුහුණුකරු පාලිත ගුණසේකර සර්ව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔහු වසර 8ක් මගේ පුහුණුකරු වෙලා හිටියා. අනෙකුත් සියලුම පුහුණුකරුවන්ගෙන් මගේ කණ්ඩායමෙන් මට උදව් ලැබුනා. සහයෝගය ලැබුණා.

ඇතැම් අංශවලින් මේ වෙද්දී ලෝකයේ බොහෝ කාන්තාවන් සන්නද්ධ වෙලා තිබෙන බව දකින්න ලැබෙනවා. ලංකාවේ ගැහැණියත් එහෙමයි. ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් තෝරා ගද්දි සමාජයෙන් චෝදනා එල්ල වෙයි කියලා පවුලෙන් බලපෑම් ආවේ නැද්ද..?
මම අවුරුදු 18 කලින් තමයි ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ. මම උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉදිරිපත් වුණේ. මට තීරණය කරන්න වුනා මම මගේ අනාගතය ගොඩනගන්නේ ක්‍රිකට් වලින්ද එහෙමත් නැතිනම් මගේ අධ්‍යාපන විෂයට අදාළ අංශයෙන්ද කියලා. ඒ කාලේ කාන්තා ක්‍රිකට් එතරම් ප්‍රබල මට්ටමක තිබ්බේ නැහැ. කාන්තාවන් ක්‍රිකට් ගහනවා කිව්වම විවිධ මත ගොඩනැගෙනවා. නමුත් මම එක හිතින් තීරණය කළා ක්‍රිකට් ගහනවා කියලා. ඒකට මුලින්ම මට හයියක් වෙන්නේ මගේ පවුල. මට වැදගත් වුනේ සමාජයේ මතයට වඩා මගේ පවුලේ අයගේ මතය. මගේ පවුල එයට සහයෝගය දැක්වූ නිසා සමාජය මොනවා කිව්වත් මට ගැටළුවක් නැහැ කියලා හිතලා මම ඒ තීරණය ගත්තා. එදා ඒ ගත්ත තීරණය ගැන මම අද හරියට සතුටු වෙනවා. මොකද මට සමාජයෙන් පිළිගැනීමක් තියෙනවා. ක්‍රිකට් නිසා මට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් වුනා. මගේ ඉලක්කවලට ගියා. ඒකට හේතුව මට පවුල ශක්තියක් වූ නිසයි. කිසිම බලපෑමක් ආවේ නැහැ.

ඒ වගේම කියන්න ඕන මාව මුලින්ම ක්‍රිකට්වලට යොමු කළේ මගේ අයියා කියලා. එයා තමයි මගේ අතට මුලින්ම බැට් එකක් දුන්නේ.

ඔබ විවාහ වෙලා වසර 8ක් ක්‍රීඩා කළා. ආදරණිය සැමියාගේ උපකාර ඔබට ඉවහල් වෙන්න ඇති. ඔහු කවදාවත් ඔබට ක්‍රිකට් වලින් ඉවත් වෙන්න කියලා නීති දැම්මේ නැද්ද කියලත් මතක් කරමු..?
මම විවාහයෙන් පස්සේ අවුරුදු 8කම ක්‍රීඩා කළේ එයා මට දුන්නු නිදහස හා මාව තේරුම් ගත්ත නිසයි. මම මිට කලින් ක්‍රීඩාවට සමු දීලා පවුල් ජිවිතයට මුල්තැන දෙන්න හිතුවා. නමුත් මගේ සැමියා නාමල් තමයි මට කිව්වේ දක්ෂතාවය තියාගෙන නවත්වන්න එපා කියලා. මම සංචාර සදහා සම්බන්ධ වෙද්දී මගේ දෙමාපියන්ට වගේම එයාගේ දෙමාපියන්ට උදව් කරේ මගේ සැමියා. එයත් හිටපු ක්‍රීඩකයෙක්. දැන් පුහුණුකරුවෙක්. මගේ වැරදි වැඩිපුරම පෙනුණේ එයාට. ඒ වැරදි මට හදා ගන්න උදව් කළෙත් එයයි. මම ගැහැණියක් බිරිදක් කියලා මට නීති දැම්මේ නැහැ. නිදහස දුන්නා. මම ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ නිසා ඒ ගෞරවය ඔහුට හිමි වෙන්න ඕන.

ඊලග පිම්ම..?
මම ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමෙන් ඉවත් වුණාට නාවික හමුදාව නියෝජනය කරලා ක්‍රීඩා කරනවා. ඒ වගේම සම්පුර්ණයෙන්ම ජාත්‍යන්තර පිටියට තවම සමු දුන්නේ නැහැ. ඒ වගේම මම මේ වෙද්දී කාන්තා ක්‍රිකට් ඇකඩමියක් පවත්වාගෙන යනවා. එහි වැඩත් කරගෙන යනගමන් ක්‍රිකට් පැත්තෙන් තිබෙන විභාග කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා ඔබේ දින චර්යාව වෙනස්. ක්‍රිකට් නිසා ජිවිතේ මගහැරුණු තැන් ඇති..?
ක්‍රිකට් නිසා මට හොද යාලුවෝ මුණගැහුනා. ඒ නිසා මට යාලුවෝ මගහැරුනේ නැහැ. නමුත් ගොඩක් විශේෂ තැන්වලදී මට මගේ පවුල නෑදෑයින් මග හැරුණා. වෙන නම් මොකුත්ම මගහැරුණේ නැහැ.

ක්‍රීඩිකාවක් විදිහට රසවත් කෑම බිම ගන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම කට පරිස්සම් කරගන්න පුළුවන් වුණාට..?
මට අමාරුම දේ ඒක තමයි. ආසාවෙන් කෑම බිම ගන්න අපිට බැහැ. ඒ නිසා ඒ කාලේ ඇති කරගත්ත පුරුදු අදටත් මම පවත්වාගෙන යනවා. ජාතික කණ්ඩායමෙන් ඉවත් වුනාට පස්සේ හොදට කනවා බොනවා කියලා හිතුවට එහෙම කරන්න දැන් හිතෙන්නේ නැහැ.

ක්‍රීඩිකාවක් නිසා ව්‍යායාම් කරන්න ඕන. එතකොට ශරීරයේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් නිසා විලාසිතා කරන්න අපහසු වෙන්න ඇති..?
මම ඕනවට වඩා ශරීරය පුම්බන ව්‍යායාම් කරේ නැති නිසා ඒ ප්‍රශ්නේ ආවේ නැහැ. මම කොහොමත් විලාසිතා කරන්නේ තැනට ගැළපෙන විදිහට. මම කැමති සරළ විලාසිතා භාවිතා කළා.

වසර ගණනාවක් ක්‍රිකට් පිටිය එක්ක ගණුදෙනු කරද්දී ඔබේ ජිවිතයේ අමතක නොවන සිදුවීම් රාශියක් ඇති. ඒ අතරින් ඔබට අමතක නොවනම සිදුවීම මොකක්ද..?
මම ක්‍රිකට් නිසා විටින් විට ආබාධවලට ලක් වුනා. නමුත් මම වාහන අනතුරකට මුහුණ දුන්නා 2016 වර්ෂයේදී. ඒ මොහොතේ මම හිතුවේ මට සම්පුර්ණයෙන්ම ක්‍රිකට් නතර කරන්න වෙයි කියලා. එතරම්ම මම බරපතල විදිහට අබාධයට ලක් වුණා. සැත්කම්වලට පවා භාජනය වුනා. ඉන්දියාවේ ගිහින් තමයි මම ප්‍රතිකාර කරලා සුවය ලැබුවේ. මාස 10ක් වගේ කාලයක් මට ක්‍රීඩා කරන්න බැරි වුනා. ඒ කාලේ කවදාවත් අමතක කරන්න බැහැ මට. ඒ මොහොතේ මාව ශක්තිමත් කළ බොහෝ පිරිසක් හිටියා. එයාලගේ ශක්තිය මට ශක්තියක් වුනා එදා ආයෙමත් නැගිටින්න.

ක්‍රීඩකයින්ට නම් රසිකාවියන්ගේ ආදරේ වැඩිවශයෙන් ලැබෙනවා. ආදරයට යෝජනා එනවා. ක්‍රීඩිකාවක් විදිහට ඔබට ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි වගේද..?
සමාජ මාධ්‍යවලින් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. අද වෙනකල් නම් කවුරුත් ආදරයට යෝජනා කරලා නැහැ. බොහෝ කාලයක් ක්‍රිකට් එක්ක හිටපු නිසා වෙන්න ඇති බොහෝ දෙනා සුහදව කතා කරනවා.

දැන් ගෘහණියකගේ වගකීම් වැඩියෙන් ඉටු කරන්න කාලය ඇති..රසට උයන්න එහෙම පුළුවන්ද..?
සාමාන්‍යයෙන් උයන්න පුළුවන් රසද කියලා නම් දන්නේ නැහැ. අපි දෙන්නම කාර්යබහුල නිසා සති අන්තයේ තමයි කෑම ගෙදර හැදුවේ. දැන් ටිකක් විවේකයෙන් ඉන්න ලැබෙයි කියලා හිතනවා.

හර්ෂණී වීරරත්න
gossip lanka