gossip lanka

මගේ ගායන දිවියට දිරි දෙන්න මගේ සැමියා රැකියාවෙනුත් ඉවත් වුණා - ශෂිකා නිසංසලා

ලංකාවේ ජනප්‍රිය සන්නාමයන්ද සම්මානයෙන් පුදනු ලබන ජනතා සම්මාන උළෙල පසුගියදා උත්සවශ්‍රියෙන් පවත්වනු ලැබිණි. ජනතාවගේ ප්‍රතිචාර ඔස්සේ තෝරාගනු ලබන සම්මානිතයන් අතරේ ලංකාදීපය ජනතාවගේ පුවත්පත වෙද්දී ශෂිකා නිසංසලා ජනතාවගේ ගායිකාව වුවාය. ඒ ජනතාවගේ ගායිකාව ජනතාවගේ පුවත් පතට කැඳවා ගෙන ආවේ ජනප්‍රියත්වයේ රහස් ගැන විමසන්නටත් එක්කමය.


එදා

හයවැනි සිකුරාදා සන්ධ්‍යාවේ ශෂිකා නිසංසලා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ශාලාව වෙත ගියේ සිය පෙම්බර සැමියාත් සමගය.

කහ පැහැ ගවුමකින් සැරසී මුහුණට සිහින් මේක් අප් එකක් දමා සිටි ඇය උත්සව ශාලාවේදී හමුවූ අනෙකුත් කලා ශිල්පීන් මෙන්ම ව්‍යාපාරික සහ වෙනත් ක්ෂේත්‍රවල සිටි ජනතාවගේ මිනිසුන් ගැහැනුන් සමග සුහද ලෙස හිනැහුණාය.

2016 අවුරුද්දේදී ජනතාවගේ ගායිකාව ලෙස තේරුණු ශෂිකා එතැන් පටන් පුරා වසර හතරක්. අවුරුදු පතාම ජනතාවගේ ගායිකාවට හිමි සම්මානය දිනාගත්තාය.

මේ පාර කොහොම වෙයිද දන්නේ නෑ.

ඇගේ හිතේ කුහුලක් තිබිණි.

දෙගිඩියාවක්ද තිබිණි.

එහෙත් ජනතාවගේ ගායිකාව ලෙස විශාරද ශෂිකා නිසංසලාගේ නම කියැවෙද්දී ඇයට පුදුම සිතිණි. සතුටුද සිතිණි.

උත්සව ශාලාව අත් පොලසන් හඬින් ගිගුම් දෙන්නට විය.

ශෂිකා මුහුණ පුරා ඇඳුණු සිනාවකින් යුක්තව නැගිටිද්දී ඇගේ සැමියා දෝතම අල්ලාගෙන සුබ පැතුවේය.

මේ වෙනකොට මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් මේ අවුරුදු ‘‘විස්සට මට සම්මාන විස්සක් ලැබිලා තියෙනවා. තවත් රාශියකට නිර්දේශ වෙලා තියෙනවා.

හොඳම ගායිකාව ජනප්‍රියම ගායිකාව විදිහට සිනමාවෙන් ටෙලිනාට්‍යයෙන් සම්මාන ලැබිලා තියෙනවා. රාජ්‍ය සංගීත උළෙලෙන් සම්මාන ලැබිලා තියෙනවා. හැබැයි ඒ සම්මාන වලට වඩා මේ සම්මානය වෙනස් අර සම්මාන ලැබෙන්නෙ මගේ දක්ෂකමට මේ සම්මානය ලැබෙන්නේ මගේ ජනප්‍රියත්වයට’’

ශෂිකා කියයි.

කොහොමද මේ විදිහට දිගටම ජනප්‍රියත්වය රැකගන්නේ

හිතට නැගුණු ප්‍රශ්නය මම හදවතේ ගායිකාවගේ දෙසවන හමුවේ තබමි.

‘‘ඒක මට ලැබෙන දෙයක්

එහෙම නැතුව මම හොයාගෙන ගිය දෙයක් නොවෙයි.

මම කොතැන ගියත් විවිධ වයස්වල අය ගැහැණු පිරිමි ඇවිත් මගෙත් එක්ක කතා කරනවා මගේ විවිධ ගීත ගැන කියනවා මගේ හඬ ගැන කියනවා මගේ ඇදුම් ගැන කියනවා, මගෙත් එක්ක සෙල්පියක් අරගන්නවා. දෝතින්ම අල්ලගෙන මට සුබපතනවා. ඒ සුබ පැතුම් වලින් ඒ රසික ආදරයෙන් මගේ ගමනට මට උත්තේජනයක් ලැබෙන්නේ.

ඒ රසික ආදරය පිළිගන්නට ශෂිකා සුදානම්ය. ඇය හදවතේ ගායිකාව ලෙස රසිකයන් විසින් ඔසොවා තබනු ලබන්නේද එනිසාය.

එහෙත් එපමණක්ද? අපේ රටේ බොහෝ දෙනා ශෂිකාට ආදරය කරන්නේ ඇගේ යහපත් ආදර්ශවත් ජීවිතයටත් එක්කමය.

‘‘වෙන්නත් ඇති කොච්චර කළත් මේක බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්නෙ. ඉතින් අපේ අය බලනවා අපි අඳින පලදින විදිහ ගැන. පවුල් ජීවිතය ගැන.

හුඟක් අය මට කියලත් තියෙනවා මගේ ඇඳුම් එහෙම හරිම ලස්සනයි විනීතයි කියලා.’’

මා දන්නා තරමින් ශෂිකාට කටකතා හැදීනැත. ගොසිප් නිර්මාණය වී නැත.

ජනතා ආදරයට ප්‍රතිරූපයද වැදගත්ය.

පාරමිතා නොපුරමු අපි දෙදෙනා

මතු මතු සංසාරේ

පානා සිනා සුළගට මුසු කරමු

හමුවන හැමවාරේ


දෙදහස් වසරේ එක් දිනෙක නිල්වලා ලේබලයෙන් නිකුත් වු පාරමිතා කැසට් පටයෙන් යෞවනයේ අලුත්ම කටහඬ ගීතවත් වුයේය.

ඒ වනවිටත් ඒ කටහඬ රසිකයා දැන හඳුනාගෙන ඒ හඬට පෙම්බැද අවසන්ව තිබිණි.

ඒ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ තුරුණු ශක්ති වැඩ සටහන ඔස්සේ ඇය තුරුණු ශක්තිය බවට පත් ගායිකාවවී සිටි නිසාය.

තරගකරුවන් සිය ගණනක් අතුරෙන් හොඳම ගායිකාව බවට පත්වන විටත් ඇය උසස් පෙළ පංතියක ශිෂ්‍යාවකි.

ඇය සමගම කරලියට ආ දෙවැනි තුන්වැනි තැන් දිනාගත් ශිල්පිනියන්ද මියුරු කටහඬකට දක්ෂ ගායනයකට හිමිකම් කීහ. පාරමිතා ගී එකතුව නිකුත්වී දෙතුන් දවසක් ගත වන්නටත් කලින් පළමු කැසට් තොගය විකිණී අවසන් වුයේය.

පාරමිතා ගී එකතුවේ වූ පාරමිතා මෙන්ම සඳ එළිය ඔබයි

නම්, සඳ රෑට රෑට තරුවිමනට සඳ අරන් ගියා. තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න යන ගීතද නිතර දේවලේ රේඩියෝ වලින් ප්‍රචාරය වන්නට විය.

ප්‍රසංග වල ගීත ගැයීම පිණිස රටේ හැම තැනකින්ම ඇරියුම් ලැබෙන්නටද පටන් ගත්තේය.

මහ රාත්තිරියේ පැවැත්වෙන ප්‍රසංග සඳහා ඇය කැඳවාගෙන යෑමේ වගකීම බාරගත්තේ ඇගේ පියාය.

ප්‍රසංගයකට රටේ කොහේ ගියත් පියා මව සහ මල්ලීද ශෂිකා සමග ගියෝය.

‘‘මාව ගායිකාවක් කරන්න ඕනෑ වුණේ මගේ තාත්තට පුංචිම කාලෙ මුතුහර උදාර වගේ වැඩ සටහන්වලට තාත්තා මාව එක්කගෙන ගියා. ඒ යද්දී තාත්තා බැලුවේ මං අඳින ඇඳුම් දිහා මම සංවර ඇඳුම් අඳිනවද කියලා.

ඊට පස්සෙ කාලේ හඳ මාමා නැවුම් මිහිර වගේ ගුවන් විදුලි වැඩ සටහන් වලටත් තාත්තා මාව එක්කගෙන ගියා.

ඒ විදිහට පුහුනුවකුත් එක්කයි මම තුරුණු ශක්ති වැඩ සටහනට සහභාගී වෙන්නේ. මට ඕනෑ කරලා තිබ්බෙ තාත්තගෙ සිහිනය සැබෑවක් කරන්න විතරයි.’’

ශෂිකා අතීතයේ පිටු පෙරලයි.

ඇය තුරුණු ශක්ති වැඩ සටහන වෙනුවෙන් ගායනා කළේද නැවුම් ගීතයකි. මව්ගුණ ගීතයකි. ඉන් පසුව නදුන් උයන නම් වූ රූපවාහිනී වැඩ සටහනකටද අලුත් ගීතයක් ගායනකලාය. එහෙත් ඒ ගීත ජනප්‍රියත්වයට පත්වූයේ නැත. පාරමිතා ගීතය ජනප්‍රියත්වයේ වාන් දොරටු සියල්ල විවර කරමින් නිල් දියවර මුදා හැරියේය.

ජනප්‍රියත්වය ප්‍රසංග කොයිතරම් තිබුණත් ශෂිකා ඉගෙනීම අතපසු කළේ නැත

 අන්තිමේ කැලණිය සරසවියට පාතැවූ ඇය එහිදීත් විෂයක් ලෙස සංගීතයද හැදෑරිය.

‘‘ඔය වෙද්දි මම ඉන්දියානු රාගධාරී සංගීතයත් ගොඩක් දුරට හදාරලා තිබුණා.’’

ඒ නිසා අඩු වයසකදීම විශාරද වරියක වන්නටද ශෂිකාට හැකිවිය.

‘‘2015 දි මම මගේ ගායනා ශෛලිය වෙනස් කළා.’’


ශෂිකා පැමිණි මගේ මං සලකුණු ගැන කියයි.

‘‘කාලෙන් කාලෙට ඕනෑම කේෂත්‍රයක වෙනස් කම් සිද්ධ වෙනවා.

අපි කන බොන විදිහ පවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ මීට අවුරුදු විස්සකට කලින් කාපු බීපු විදිහට නොවේ අද කන්නෙ බොන්නේ. ඒ වගේ ගීත කේෂත්‍රයත් මේ වෙද්දි වෙනස් වෙලා. ඒ වෙනසත් එක්ක වෙනස්කම් කරන්නත් වෙනවා. ඇරත් මං කැමතියි මගේ හඬින් වෙනස්කම් කරල බලන්න. ඔය අතරේ මට ගායනා කරන්න ලැබුණු ටෙලි නාට්‍ය වල ගීතත් වෙනස් ශෛලින් වල ගීත වුණා මම ඒ ගීත ගායනා කලෙත් බොහෝම කැමැත්තෙන්’’

ශෂිකාගේ පළමු ටෙලිනාට්‍ය ගීතය වුයේ සමන් කුමාර ලියනගේගේ සඳගල තැන්නය.

මේ සඳගල තැන්න දැන් නැවත විකාශය වන්නේ අලුත් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරයද එකතු කරමිනි.

ශෂිකා නිසංසලා අදටත් ප්‍රසංග වලට නැතුවම බැරි ගායිකාවකි.

‘‘සමහර දවස්වලට ප්‍රසංග දෙක තුනකට කතා කරනවා  ඒත් ඉතින් ගෘහස්ත ප්‍රසංග නම් දවසකට කරන්න පුළුවන් එකක් විතරයි. මොකද ගෘහස්ත ප්‍රසංගෙක ගීත හතක් අටක් කියන්න වෙනවමනෙ.

එත් ඉතින් එළි මහන් සංදර්ශන නම් දෙකක් වුණත් බාර ගන්න පුළුවන්. ප්‍රසංග දෙක අතරෙ දුර අනුව එළිමහන් ප්‍රසංගයක නම් ගීත තුනකට වඩා ගායනා කරන්න ඕනෑ වෙන්නෙත් නැහැනෙ.

ගෘහස්ත ප්‍රසංග වලයි එලිමහන් ප්‍රසංග වලයි ගයන්නේ එකම ගීත ටික ​ෙනවෙයි නේද?

මම ඇයට බාධා කරමි. ඔව් ගෘහස්ත ප්‍රසංග වල ගායනා කරන්නේ සුබාවිත ගීත මේ ප්‍රසංග වලට ඇදෙන්නේ නිවුණු හිතට දැනෙන ගීත පාඩුවේ ඉඳගෙන අහල යන්න කැමැති රසිකයෝ මේ අය වෙනුවෙන් මං කියන අලුත් ගීතයක් වුණත් දෙන්න පුළුවන්.

එළිමහන් ප්‍රසංගවල ඉල්ලන ගීත වෙනස් හුඟක් වෙලාවට ඒවයේදි මම ගායනා කරන්නේ පාරමිතා සඳඑළිය වගේ මගේ මුල් කාලයේ ජනප්‍රිය වූණ ගී ශෂිකා නිසංසලා කියපු ගමන් තවමත් රසිකයන්ට මතක් වෙන්නෙ මගේ ඒ මුල්කාලීන ජනප්‍රිය ගී’’

නමුත් ශෂිකා තරම් අලුත් ගීත ගායනා කරන ගායිකාවක නැති තරම්ය. ඇය නුගේගොඩ සඳරු ශබ්දාගාරය වෙත මසකට දෙතුන් වතාවක් නොගියොත් අරුමයකි. එක්කො දර්ශන වික්‍රමතුංග නිර්මාණය කරන ගීතයකි. නැත්තම් රෝහණ ධර්මකීර්තිගේ සංගීත අධ්‍යක්ෂණයකි. එහෙමත් නැත්නම් ආචාර්ය රෝහණ වීරසිංහගේ හෝ නවරත්න ගමගේ ගේ සංගීත නිර්මාණයකට හඬ මුසුකිරිමකි.

මට ලැබෙන හැම පදමාලාවක්ම ගයනවා නම් මෙලහටත් මගේ ගීත දාහ පැනලා.’’

ශෂිකා සිනාසෙමින් කියයි.

‘‘ඒ කියන්නෙ ඔයා පදමාලා තෝරලා බේරලා ගායනා කරන්නේ’’

මම අසමි.

‘‘අනිවාර්යයෙන්ම. කොහොමටත් මම නව රැල්ලෙ ජනප්‍රිය ගී ගයන්නේ අවුරුද්දකට එකක් විතරයි. අනෙක් ගීත සුභාවිත ගීත. අලුත් අලුත් අරුත් දනවන පදමාලා තියෙන නිසා හොඳ සුභාවිත ගීත ලැබුණාම ගායනා කරනවා.’’

මේ මොහොතේත් ශෂිකාගේ හඬින් ගැයුණු නැවුම් මිහිරි සුභාවිත ගීත ගණනාවක් යූ- ටියුබය හරහාත් මුහුණු පොත හරහාත් හුවමාරු වෙයි.

ඒ අලුත්ම ගීත වල වෙනස් වෙනස් අරුත් හමුවන්නේ සහෘදයාට නැවුම් වින්දනයක්ද දෙමිනි. එහෙත් මේ ගී එෆ්.එම්. නාලිකා ඔස්සේ ප්‍රචාරය නොවන තරම්ය.

මාධ්‍ය වලින් මේ අලුත් ගී ඇහෙන්නෙ නැති එක අඩුවක් තමා. ඒත් ‘යූ ටියුබ්’ එකෙන් ගීත අහන වෙනම පිරිසක් දැන් ලෝකෙ පුරාම ඉන්නවා. ඒ නිසා අපි ගයන හොඳ අලුත් ගීත යම් සහෘද පිරිසක් වැළඳ ගන්නවා.

නිවැරැදිය

ඇතැම් නිර්මාණ මැණික් වැනිය.

ඒවා කොහේ කොතැනක හෝ ඔහේ පවතී මැණික් කැට පොළව යට සැඟවී තිබී යම් දිනයක මතුවූ විට එහි වටිනාකම බොහෝ වැඩිවන්නාක් සේම, හොඳ ගීත නිර්මාණද මතුවන දවසක් ආ හැකිය.

මම මේ ළඟදී සරල ශාස්ත්‍රිය ගීතයක් ගායනා කළා. අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය හදාරපු හැම ගීල්පියෙකුටම වගේ සරල ශාස්ත්‍රීය ගීතත් කිහිපයක්වත් තියෙනවා. ඒත් මට එහේම ගීතයත් තිබුණෙ නැහැ.

 ඒ නිසා මම රෝහණ වීරසිංහ සර්ට හැමදාම කිය කියා හිටියේ මටත් සරල ශාස්ත්‍රීය ගීතයක් කරගන්න ඕනෑ කියලා.

පස්සේ මම කුලරත්න ආරියවංශයන්ට කිව්වා මට සිංදුවක් ලියලා දෙන්න කියලා. සතයක් වත් ගන්නේ නැතුව මට ලස්සන සිංදුවක් ලියලා දුන්නා.

රෝහණ සර්ගෙ ලස්සන මෙලඩියට ඒ ගිතය ළඟදිම එළිදක්වනවා. මේ ගීතය මගේ සල්ලි වලින් නිෂ්පාදනය කරන්න තරම් ශක්තියක් මට ලැබීම ගැනත් මට තියෙන්නෙ සතුටක්.

තනියහන මගේ

හිතට ඔබේ

නොපෙනේද ප්‍රියේ

මේ රාත්‍රියේ

‘‘2020 අවුරුද්දෙත් හදවතේ ගායිකාව වෙලා රසික හදවත්වල ජීවත්වෙන්න ඔයාට පුළුවනි. මම අවසානයේ ශෂිකා නිසංසලාට සුබ පතමි.’’

‘‘මෙච්චර කාලයක් හදවතේ ගායිකාව වෙන්න ලැබුණෙත් අයියලා පත්තර වල මගෙ ගැන ලියපු හින්දා. මාධ්‍ය වල මගේ ගීත ප්‍රචාරය කළ හින්දා මාධ්‍ය වල විවිධ වැඩ සටහන්වල මට ඉඩ වෙන්කළ හින්දා.

ශෂිකා කියන්නේ නිහතමානීවය

‘‘එච්චරද’’

මම අසමි

‘‘විශේෂයෙන් මගේ අම්මගෙයි තාත්තගෙයි කැපවීම පුංචි දා ඉඳලා මාව ගායිකාවක් කරන්න ඕනෑ වුණු තාත්තා මාව හැමතැනම අරගෙන ගියා. දැන්නම් මං ප්‍රසංගවලට ලංකාව වටෙයි ලෝකෙ වටෙයි යන්නෙ මගේ හස්බන්ඩ් එක්ක. ඒ ගමන් වලට මට නිදහස දිලා මගේ දරුදෙන්නා බලා ගන්නෙ අම්මයි තාත්තයි ඒක මට ලොකු ශක්තියක්.

එවගේම මගේ හස්බන්ඩ් එයා විද්‍යා උපාධියකුත් තියාගෙන කර කර හිටිය රස්සාවෙන් අයින් වුණේ මං වෙනුවෙන්. ඒක මං වෙනුවෙන් කළ ලොකුම කැපකිරීමක්. එයා රස්සාවෙන් අයින් වුනේ. මගේ සංගීත ගමනට පිටු වහලක් වෙන්න.

එතකොට මගේ මල්ලි එයා අද ලංකාවෙ නැතත් ඒ දවස්වල මං වෙනුවෙන් ලොකු කැපකිරීම් කළා.

එතකාට මගේ ගීත ලියපු සංගීතය නිර්මාණය කළ කැසට් නිෂ්පාදනය කළ මට අවස්ථාව දෙන ටෙලිනාට්‍ය චිත්‍රපට නිර්මාණය කළ ශිල්පීන් ඇතුළු හැමෝමත් මගේ මේ ගමනේ කොටස් කාරයෝ එතකොට මට ආදරය කරන සහෘද රසිකයෝ.

ඔය හැමෝම නිසායි මම පස්වැනි වතාවටත් ජනතාවගේ ගායිකාව වුණේ.

ඒ හැමෝටම ස්තුතියි කියලා ලියන්න අයියෙ.

ශෂිකාගේ ඒ අවසාන ඉල්ලීම මම ඉටුකළෙමි.

ශාන්ත කුමාර විතාන
සාරවිට
gossip lanka