gossip lanka

මම නිර්මාණ කරලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්, ඒත් මම ආර්ථික මට්ටමින් ඉහළින් ඉන්නවා - සමිත් සිරිමාන්න

තරුණ පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයන් අතරේ විශේෂ තැනක් සමිත් සිරිමාන්නට ලැබේ. අතිශය ජනප්‍රිය ගීත කිහිපයක්ම ගයනා කර ඇති ඔහු මේ වනවිට සිය නවතම ගීතය එළිදක්වන්නට සූදානමින් සිටියි. සිය අලුත්ම ගීතය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව සමිත් සමගින් මෙලෙස කතාබහ කළෙමු.


අලුත්ම ගීතය ගැන කියලාම අපි කතාබහ පටන් ගමු?

‘ආයුබෝවන්’ මේක තමයි මගේ අලුත්ම ගීතයේ නම. මේක ආදර ගීතයක්. නමුත්, වෙනස්ම විදිහේ අත්දැකීමක් තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ. ගෑනු ළමයෙක් මුලින්ම දුටු අවස්ථාවේ පිරිමි ළමයෙකුට ඇතිවන ආදර හැඟීමක් ගැන තමයි මෙහි ඇතුළත් වෙන්නේ. ගීතය ලිව්වේ ලසිත් ජයනෙත්ති. සංගීතවත් කළේ ඩිල්ෂාන් සිල්වා. මෙහි ඕඩියෝවේ දැන් වැඩ අවසන්. ඒත්, මම බලාපොරොත්තු වෙනවා මේ ගීතය වීඩියෝවක් සමගම එළිදක්වන්න. මේ දිනවල එහි වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා.

අන්තීමට ගීතයක් නිකුත් කරලා දැන් ලොකු කාලයක් වෙනවා නේද?

ඔව්. අන්තිමට මම ගීතයක් එළිදැක්වූයේ මීට මාස 18කට විතර කලින්. ඒ ‘ස්තුතියි’ කියන ගීතය. හැබැයි මේ ගීතයට අදටත් රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා. ‘ආයුබෝවන්’ කියන්නේ මගේ දහවැනි ගීතය. මා කලින් එළිදක්වපු හැම ගීතයකට වගේම අදටත් රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා.

ගීතයක් කරලා සල්ලි උපයන්න පුළුවන්ද?

ඔව්, පුළුවන්. මම මගේ ගීත හරහා මුදල් උපයනවා. ක්ෂේත්‍රයට ඇවිල්ලා මම දැන් කාලයක් වෙනවා. නමුත්, මම නිර්මාණ කරලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒත්, මම ආර්ථික මට්ටමින් ඉහළින් ඉන්නවා. මම ගීත නිර්මාණ කරන්නෙ රිගින් ටෝන්වලට. ඊට අමතරව මගේ ගීත විකාශය වෙන ‘යූ ටියුබ්’ චැනල් හරහාත් මට මුදල් ලැබෙනවා.

නමුත්, බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ගීත හදලා මුදල් හොයන එක අපහසු වැඩක් කියලා?

එහෙම දේකුත් තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනා හොඳම දේ අපේ ශ්‍රාවකයාට දෙන්න. මම කරන නිර්මාණයේ හැමවිටම නිෂ්පාදන බරපැන දරන්නේ මම. එහෙම මම කරන්නේ මට හොඳම දේ ශ්‍රාවකයාට දෙන්න පුළුවන් වෙන නිසා. ඕඩියෝ එක වගේම විඩියෝ එකත් හොඳ තත්ත්වයෙන් තියෙනවා නම් මිනිස්සු ඒ ගීතය අහනවා බලනවා. ගුණාත්මක බවක් නැති තත්ත්වයෙන් අඩු නිර්මාණ මිනිස්සු අහන්නේ නැහැ. එතකොට කරන නිර්මාණය අසාර්ථකයි.

තරුණ පිරිස් වැඩිපුර අද මේ ක්ෂේත්‍රයට එනවා. ඒ අතරේම නිර්මාණ එළිදැක්වීමත් වැඩිවෙලා තියෙනවා. මේ තරගකාරිත්වය ඔබ දකින්නේ කොහොමද?

තරගයක් තියෙනවා නම් මම ඒකට කැමතියි. අද මේක ව්‍යාපාරයක්. අපිට තවත් තරගකාරයෙක් ඉන්නවා නම් තමයි අපේ ව්‍යාපාරය දියුණුවෙන්. අපිට තරගකාරයෙන් නැත්නම් අපේ ව්‍යාපාරය හැමදාම එකම තැන තියෙනවා. ඇත්තම කියනවා නම් මම දකිනවා මට වඩා දක්ෂයෝ මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. නමුත්, ඔවුන්ගේ නිර්මාණවල දුර්වලතා තියෙනවා. මේ ක්ෂේත්‍රවල ඉන්නවා නම් සංගීතය, ගායනය කියන දේට උණක් තියෙන්නේ ඕනා. නැත්නම් මොන දක්ෂයා වුණත් ඔවුන්ට පැවැත්මක් නැහැ.

ප්‍රසංග වේදිකාවේ ඔබට තියෙන ඉඩ කොහොමද?

සුපුරුදු පරිදි ප්‍රසංග වේදිකාව තුළ අදටත් මට ඉල්ලුමක් තියෙනවා. මේ දිනවල තරමක් ප්‍රසංග අඩුවුණත් මම හිතනවා ඉදිරියට තියෙන උත්සව සමයේදී මම ප්‍රසංග වේදිකාව තුළ කාර්යබහුල වේවි කියලා. දැනට ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙනවා. ගිය වසරේ ‘පාස්කු බෝම්බ’ ප්‍රහාරය නිසා ප්‍රසංග ගොඩක් අවලංගු වුණා.  ඒ නිසා ඉදිරි කාලයේදී රටේ මොන වගේ ප්‍රශ්න ඇතිවෙයිද කියන්න බැහැ අපිට.

බුද්ධික සේනාධීර
සාරවිට
gossip lanka