gossip lanka

මම ඉපදෙන්න ඉන්න කොට අම්මා පිපිඤ්ඤයි, කිරි වැඩියෙන් දාලා කිරි බතුයි තමයි වැඩිපුර කාලා තියෙන්නේ - රුවංගි

රුවංගි කොහොමද අලුත් ජීවිතේ?

ඉතාම හොඳින් ගෙවෙනවා. විවාහයත් එක්ක මේ දිනවල අලුතින් රඟපෑම් කටයුතු බාර ගත්තේ නැහැ.


 විවාහයෙන් පස්සේ තවත් ලස්සනට ඉන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?

අම්මෝ හිතෙනවා. විවාහ වුණාට පස්සේ තමයි කාන්තාවක් ලස්සනට පිරිසිදුව පිළිවෙළට ඉන්න ඕනේ. බිරිඳ ලස්සනයි කියන්න ස්වාමියා හරිම කැමතියි වගේම විවාහ ජීවිතයත් සාර්ථක වීමටත් කාන්තාවගේ සුන්දරත්වය සෘජු ලෙසම බලපානවා.

සුන්දරත්වය නිසා ද ඔබට රංගන ක්ෂේත්‍රයේ දොරටු විවර වන්නේ.

නැහැ. රංගන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට සුන්දර රූ සපුවක් තියෙනවා කියන්නේ ආභරණයක්. නමුත් ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් දක්ෂතාවය හැකියාව මෙන්ම වාසනාවත් තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. කාන්තාවකට ලස්සන ඉතාම වැදගත්. උපතින් ලැබුණ ලස්සන ආරක්ෂා කර ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. ලස්සන කිව්වාම කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් විය හැකියි. කෙනෙකුගේ මුහුණ ලස්සනට තියෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ කොණ්ඩය තවත් කෙනෙකුගේ ශරීරය ලස්සන වෙන්න පුළුවන්. කොහොම වුණත් හැම කාන්තාවකගේම කුමන හෝ ලස්සනක් තියෙනවා. ලැබුණ සුන්දරත්වය ස්වභාවිකවම ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්.

හිත ලස්සනට තියා ගන්න මොනවා ද කරන්නේ.

මම හිතනවා කාන්තාවකගේ මතු පිට සුන්දරත්වය වගේම හදවතේ සුන්දරත්වයත් ලස්සන පෙනුමත් පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙනවා. හිතට ඊර්ෂ්‍යාවක් ගන්නේ නැතුව, නිතර තණ්හාව හිතේ තියා ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපිට ලස්සන වෙන එක ගැටලුවක් වෙන්නේ නැහැ. අනික් දේ තමයි කාන්තාවක් ලෙසට සැමවිටම හිනා වෙලා ප්‍රියමනාපව ඉන්න උත්සාහ කරන එකත් ඉතාම වැදගත්. අපි මතුපිටින් ගොඩක් ලස්සන කෙනෙක් වුණත් මොන තරම් වටිනා ඇඳුම් ඇන්දත් වටිනා ආභරණ පැළඳුවත් හදවතින් කෙනෙක් එක්ක හිනා වෙන්න බැරි නම් කොච්චර ලස්සන වුණත් ඒකෙන් වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ.

ලස්සනට ඉන්න කොට හිතට මොකක්ද දැනෙන්නේ?

හිතට මහා විශාල හයියක් දැනෙනවා. ඒ වගේම ආත්ම අභිමානයකුත් ආත්ම ශක්තියකුත් ලැබෙනවා. අපි තැනකට යන කොට ලස්සන ඇඳුමක් ඇඳලා පිළිවෙළට පිරිසිදුවට සහභාගි වෙනවා නම් අපි දන්නේම නැතුව හිතට ලොකු අභිමානයක් ලැබෙනවා. ඒ වගේම ලොකු පිළිගැනීමකුත් නොදැනුවත්වම ලැබෙනවා.

ඔබ ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ.

මම හිතන්නේ මගේඅම්මා නිසා. අම්මා වගේ ලස්සනයි කියලා මාව දකින හැමෝම කියනවා. මගේ අම්මා තරුණ කාලෙදි ගොඩක් ලස්සනයි.

පුංචි කාලෙදි ඔබව ලස්සනට තියන්න අම්මා මොනවද කරලා තියෙන්නේ?

ඉපදෙන්න කලින් වගේම ඉපදුණාට පස්සේ මගේ ලස්සන ගැන අම්මා ගොඩක් හිතලා තියෙනවා.

මාව ඉපදෙන්න ඉන්න කොට අම්මා පිපිඤ්ඤයි, කිරි වැඩියෙන් දාලා කිරි බතුයි තමයි වැඩිපුර කාලා තියෙන්නේ. ඇඟ සීතල වෙන කෑම කන එක කුසේ ඉන්න දරුවාටත් හොඳ නිසා. ඊට අමතරව ඉතිං මට මතක තියෙන කාලයක් වෙනකම්ම අම්මා වෙනිවැල්ගැට තම්බලා මාව නාවනවා. වෙනිවැල්ගැටවලට හම පාට වෙනවා වගේම විස බීජ ඉවත් වෙනවා. ඒනිසා එවැනි ස්වභාවික දේවල්වලින් හම ගොඩක් ලස්සන වුණා. හිස කෙස්වලට පොල් තෙල් දාලා මසාජ් කරලා ගොතනවා. ඒ සත්කාර නිසාම හොඳ පෝෂණයක් ලැබුණා. සාරවත් කොණ්ඩයකුත් පුංචි කාලේ ඉඳලාම මට ලැබුණා.

වර්තමානයේ දී ඔබ ලස්සන රැක ගන්න මොනවද කරන්නේ කියලා දැන ගන්න කැමතියි.

මම නිරතුරුවම ශරීරයේ නිරෝගිකම ගැන හිතනවා. ඒ නිසා තෙල් සහිත සීනි අධික කෑම කන්නේ නැති තරම්.

උදෑසන අවදි වෙලා දවස පටන් ගන්න කලින් මේද රහිත කිරි වීදුරුවක් බොනවා. උදේ කෑමට ධාන්‍ය වර්ගයක් හෝ පහසු කෑමක් භාවිත කරනවා. සතියකට දින තුනක් උදෑසනට කොළ කැඳ වීදුරුවක් බොනවා. ගොටුකොළ මුකුණුවැන්න, හාතවාරිය වගේ ශාක පත්‍රවලින් කැඳ හදලා බොන්න මම ගොඩක් ආසයි. පළා වර්ග කන්න අකමැති නිසා මම කැඳ බොන එක කැමැත්තෙන් කරනවා. කැඳ බොන කොට සම ලස්සන වෙනවා වගේම ශරීරයේ නිරෝගිකමටත් හිස කෙස්වලටත් ඉතාම හිතකරයි. ඊට අමතරව තැඹිලිත් මම සතියකට දෙතුන් දවසක් බොනවා. පළතුරුවලින් ගොඩක්ම කැමතියි මිදියි දොඩනුයි ඇලිගැටපේරවලටයි. පායන කාලවල දී අලිගැටපේර හොයා ගන්න බැරි නිසා සීනි කැකිරි ගස්ලබු වගේ පලතුරු වැඩිපුර කනවා.

ඊට අමතරව ගෙදරදි නිවාඩු වෙලාවෙදි කඩල පිටිවලට යෝගට් එකක් දාලා මුළු ඇඟේම ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා සෝදා හරිනවා. මේ ආලේපනයට මීපැණි ටිකක් දාලා මුහුණට ආලේප කරන්න පුළුවන්. මේ පායන කාලෙදි සම වියළීමේ තත්ත්වයන් පාලනය කිරීමටත්, සමේ පෝෂණය වෙනුවෙනුත් මෙම ස්වභාවික සත්කාරය ඉතාම ප්‍රතිඵල දායකයි.

ඊට අමතරව කෝමාරිකා මදයක් පුරුද්දක් විදිහට සමේ අලේප කරනවා. හිරු රශ්මියෙන් පිච්චුන සමට කෝමාරිකා මදය අලේප කිරීමෙන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. තවත් මම ඉඳහිට කරන සත්කාරයක් තමයි වෙනිවැල් ගැට කුඩු, කස්තුරි කහ, කොකුම්පොතු එකට මිශ්‍ර කර යෝගට් එකක් දමා අලේප කිරීම. මෙය ස්ක්‍රබ් එකක් ලෙසට මෙන්ම පැක් එකක් ලෙසට ද භාවිත කළ හැකියි.

ඔය වගේ පුංචි පුංචි දේවල් ටිකක් තමයි සුන්දරත්වය ආරක්ෂා කර ගන්න කරන්නේ. ඊට අමතරව හිස කෙස්වල නිරෝගිකමටයි පෝෂණයටයි පොල් තෙල්වලට ඔලිව් තෙල් මිශ්‍ර කරලා ආලේප කරලා මසාජ් කර පැයක් විතර ඉඳලා සෝදා හරිනවා.

 විලාසිතා කිරීමේ දී සැලකිලිමත් ද?

ඔව්. මගේ සමේ පාට, ඇඟේ හැඩය, සහභාගී වෙන තැන, සහභාගි වෙන වෙලාව වගේ කරුණු ගැන සැලකිලිමත් වෙනවා. මේ හැම දේම එක්ක මම කරන විලාසිතාව මට කොච්චර ගැළපෙනවා ද කියලත් නිතරම හිතනවා.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව.

ම්.... මේ ලෝකයේ ගොඩක් ලස්සන අය ඕනෑ තරම් දැකලා තියෙනවා. නමුත් මගේ ජීවිතය ලස්සන කරපු, හදවතින්ම ලස්සන කෙනෙක් මම මගේ ඇස් දෙ​ෙකන් දැකලා තියෙනවා නම් මගේ අම්මා.

රුවංගි ලස්සන වෙලා කියලා කෙනෙක් ඔබ ළඟට ඇවිත් කිව්වොත්?

ඇත්තටම ලොකු සතුටක් හිතට දැනෙනවා. එවැනි අගය කිරීම් මමත් අනිත් අයට නිරතුරුවම කරනවා. සැබෑවටම ලෝකයේ සෑම කාන්තාවක්ම ලස්සනයි කියලා කියන වචනය අහන්න ගොඩක් කැමැතියි.

අසුන්තා එදිරිසූරිය
සාරවිට
gossip lanka