gossip lanka

‘‘තනි තීරණ ගත හැකි අසරණභාවයට පත් වූ කාන්තාවන්ට ඇරැයුම් කරමි’’ - කාන්තාවන් රවටා ජීවිතයම ජයගන්න හැදු අනංගයෙක්

රොහාන් පානදුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. බිරිඳ අමාලිය. එහෙත් වසර කිහිපයක සිට රොහාන් ජීවත්වන්නේ තනිවමයි. ඒ බිරිඳ ඔහුව අතහැර යෑම නිසාය. බිරිඳ රොහාන්ව අතහැර යන්නේ ඔහුගේ බේබදුකම සහ සල්ලාලකම නිසාය.
අමාලි තරමක් ධනවත් පවුලක කෙනෙකි. උසස් අධ්‍යපනයක් ලද ඇය පෞද්ගලික අංශයේ සැලකිය යුතු රැකියාවක නිරත වූවාය. ඔය කාලය අතර තුරදී අහම්බෙන් මෙන් ඇය රොහාන්ව හඳුනා ගත්තාය. ඒ එක්තරා සාදයක් තුළදීය.

පළමුව රොහාන් අමාලිගේ පවුල් පසුබිම ගැන තොරතුරු සොයා ගත්තේය. ඇය ධනවත් පවුලක බව දැනගත් පසු කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කර ගතයුතු යැයි සිතා ගත්තේය. එ වන විටත් ඔහුට පෙම්වතියන් කිහිප දෙනෙක් සිටියේය. එ පෙම් සම්බන්ධතා සියල්ල අතහැර දැමූ ඔහු අමාලි පසු පස ගියේය.

තරුණියන් රැවටීමට රොහාන් තරම් දක්ෂයෙක් අහල ගම් හතකවත් නොසිටියේය. සමාජය ගැන වැඩි අවබෝධයක් නොතිබුණු අමාලිව සති කිහිපයක් ඇතුළත රොහාන් රවටා ගත්තේය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ අමාලි රොහාන්ගේ පෙම්වතිය වීමයි.

රොහාන් වැදගත් පවුලක, වැදගත් රැකියාවක නිරත අයෙක් බව අමාලිට පවසා තිබුණි. එහෙත් ඒ සියල්ල පට්ටපල් බොරුය. ඔහු එලෙස පැවසුවේ බොරුවෙන් රවටා හෝ අමාලිව කසාද බැඳ ඇයගේ දේපළ වලින් ජීවිතය ගොඩ දමා ගැනීමටයි. රොහාන්ගේ බොරු ආදරයෙන් වල්මත් වූ අමාලි රොහාන් වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට පවා ඉදිරිපත් වූවාය. ඒ තරම් ආදරයෙන් අන්ධ වූවාය.

මාස කිහිපයක ඇසුරකින් පසු අමාලි රොහාන් ගැන තම දෙමාපියන්ට පැවසුවාය. පසුව අමාලිගේ දෙමාපියන් රොහාන් ගැන සොයා බැලූවේය. ඔවුනට රොහාන් ගැන සත්‍ය තොරතුරු සොයා ගැනීමට හැකි විය. ඒ තොරතුරුවලට අනුව තමන්ගේ දියණිය රොහාන්ට සරණපාවා දීමට අමාලිගේ දෙමාපියෝ අකැමැති විය.

රොහාන් බොරුකාරයෙක් බව දෙමාපියෝ අමාලිට පැවසූහ. එහෙත් ආදරයෙන් අන්ධ වී සිටි ඇය එය පිළිගත්තේ නැත. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ නිවැසියන්ට හොර රහසේ අමාලි රොහාන් සමග විවාහ වීමයි. විවාහ වී මාස කිහිපයකට පසු අමාලි රොහාන් ගැන ටිකෙන් ටික දැන ගත්තාය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය. කරන්න කිසි දෙයක් නොමැති නිසා අනේක දුක් විඳිමින් අමාලි වසර ගණනක් රොහාන් සමග අකැමැත්තෙන් වුවද පවුල් ජීවිතයක් ගත කළාය. ඒ දරු දෙදෙනා නිසාය.

සැම දෙයකටම යම් කිසි සීමාවක් ඇත. අමාලිටද එසේය. ඇය සීමාවටත් වඩා ඉවසා සිටියාය. අවසානයේ බැරිම තැන ඇය දරු දෙදෙනාත් සමග වෙනම ජීවත් වූවාය.

අමාලි හැර ගිය පසු රොහාන්ට ජීවත්වීමට හරි හමන් ආදායම් මාර්ගයක් නොතිබුණි. එම නිසා ඔහු යළිත් කාන්තාවන් රවටා ජීවත් විමට පුරුදු විය.

දිනක් ඔහුට අපූරු අදහසක් පහළ විය. ඒ පුවත්පතකට මංගල දැන්වීමක් දැමීමටයි. ඒ අනුව ඔහු මංගල දැන්වීම් තීරයේ මෙලෙස දැමුවේය. ‘‘ තනි තීරණ ගත හැකි බාහිර කරදර නොමැති අසරණභාවයට පත් වූ කාන්තාවන්ට ඇරැයුම් කරමි.’’

සති අන්ත ජාතික පුවත්පතක එය පළවිය. එම දැන්වීම දුටු කාන්තාවන් කිහිප දෙනෙක්ම රොහාන්ට දුරකථන ඇමැතුම් ලබා දුන්හ.

කමණි මහරගම ප‍්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි. වයස අවුරුදු තිස් නමයකි. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කළාය. යම් පෞද්ගලික හේතුවක් මත ඇය ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වූවාය. ඒ දැනට වසර කිහිපයකට පෙරයි. ඉන් පසු ඇය තනිවම ජීවත් වූවාය.

කමණි දිනක් රොහාන් දැමූ පුවත්පත් දැන්වීම දුටුවාය. එහි යම්කිසි ආකර්ෂණිය බවක් ඇති බව ඇයට දැනිණි. ඇය දෙවෙනි වර විවාහ වීමට සහකරුවෙක් සොයමින් ද සිටියාය. එම නිසා ඇය රොහාන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය.

තවත් දුරකථන ඇමැතුමක්. තවත් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්. රොහාන් එලෙස සිතූ අතර කමණි සිතුවේ හරි හොඳ කෙනෙක් මටම ගැළපෙන කෙනා හම්බවුණා.

සති කිහිපයක් රොහාන් සහ කමණි දුරකථනයෙන් තොරතුරු හුවමාරු කර ගත්හ. ඒ අතර රොහාන් සුපුරුදු පරිදි තමා රජයේ ඉහළ රැකියාවක් කරන අයෙක් බවත් මුදල් අතින් ගැටලූවක් නොමැති බවත් පවසා කමණිව රවටා තිබුණි. මේ කිසිවක් නොදත් කමණි රොහාන්ගේ බොරුවලට හොඳටම රැවටුණි.

රොහාන් කමණි ආදර අන්දරයට මාස කිහිපයක් ගත විය. එහෙත් කිසි දිනක ඔවුන් මුණ ගැසී නොතිබුණි. එසේ මුණ නොගැසුණේ රොහාන්ගේ වුවමනාවටයි. දැන් ආදරය කළා ඇති. කමණිගෙන් ගාණක් ගන්න ඕනා. එලෙස සිතූ රොහාන් කමණිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙලෙස පැවසුවේය.

‘‘කමණි දැන් අපි මාස ගණනක් ආදරය කරනවනේ. දැන් දෙපැත්තකට වෙලා හිටියා හොඳටම ඇති කියලා මට හිතෙනවා. ඒක නිසා අපි ඉක්මනටම කසාද බඳිමු.’’

‘‘එක තමයි රොහාන් මටත් දැන් ඇති වෙලා තනියම ඉඳලා. මම දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා. ඔයා කියන ඕනම දෙයකට මම කැමතියි’’

‘‘එහෙනම් කමණි ලොකු උත්සව ගන්න ඕනේ නැහැ. අපරාදේ සල්ලි වියදම් කරන එක. එක පාරක් අපි දෙන්නම මගුල් අරන් තියෙනවනේ. ඔයා කැමතිනම් ලබන සතියෙම අපි දෙන්නා ගිහින් විවාහ වෙමු. ඊට පස්සේ අපේ ගෙදර පදිංචියට යමු.’’

‘‘මගේ කිසි විරුද්ධත්වයක් නැහැ ඔයා කැමති ඕනෑම දෙයකට මම කැමතියි.’’

රොහාන්ගේ වචනවලට රැවටුණ කමණි එලෙස පැවසුවාය. කමණිව ලෙහෙසියෙන්ම රැවටිය හැකි බව දැනගත් රොහාන් තම ඉදිරි සැලසුම ගැන ඇයට මෙලෙස පැවසුවේය.

‘‘කමණි ඔයා ලබන සතියෙ ගාල්ලට එන්න. අපි එදාට කසාද බැඳලා අපේ ගෙදර යමු. ඔයා තනියෙන් එන්න ඒ ඇති. අනික් සේරම මම බලා ගන්නම්. ’’

කමණි එක පයින්ම එයට කැමති විය.

නියමිත දිනය උදාවිය. කමණි තමන් සන්තකයේ ඇති සියලූම රත්තරන් භාණ්ඩ සහ වටිනා දැ රැගෙන ගාල්ල බලා පිටත් විය. රොහාන් ඒ වනවිටත් කමණි බලාපොරොත්තුවෙන් ගාලූ නගරයට වී බලා සිටියේය. නියමිත වේලාවට කමණි පැමිණියේය.

දුටු විගසම දෙදෙනා ආදරයෙන් වැළඳ ගත්හ. ඉන්පසු රොහාන් මෙලෙස පැවසුවේය. ‘‘කමණි මාර අවුලක්නේ වුණේ’’ මගේ ගෙදර කුලියට හිටිය අය අද යන්න හිටියේ. දැන් කියනවා හෙට වෙනකම් කල් දෙන්න කියලා. මොනව කරන්නද එලව ගන්නත් හොඳ නැහැනේ. අහිංසක මිනිස්සුනේ. ඒක නිසා මම ඒගොල්ලන්ට අද ඉන්න කිව්වා. ඒක නිසා අදට විතරක් අපි හෝටලේක ඉඳලා හෙටම කසාද බැඳලා ගෙදර යමුද?’’

රොහාන් ගැන සැබෑ ආදරයෙන් සිටි කමණි එක පයින්ම එම යෝජනාවට කැමති විය. ඒ අනුව රොහාන් ඇයව හෝටල් කාමරයක් තුළට රැගෙන ගියේය. එදින රාති‍්‍රය ඔවුනට නිදි වර්ජිත රාති‍්‍රයක් විය.

නිදි වරමින් රාති‍්‍රය ගත කළ නිසා කමණිට පාන්දර යාමයේ හොඳටම නින්ද ගියාය. ඇය පාන්දර 6 ට පමණ අවදි වූවාය. පුදුමයකි තමා සමග පෙර දින රාත‍්‍රියේ සයනයේ නිදාගත් පෙම්වතා පෙනෙන්නට නොමැත. ඇයගේ සිතට එක්වරම යම් බියක් දැනිණි. කුමක් හෝ අවුලක් සිදුවී ඇති බව ඇයට දැනුණි. වහාම ඇය තමාගේ අත් බෑගය විවෘත කර බැලූවාය. එහි තිබූ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් ආභරණත් මුදලූත් නොතිබුණි. තමා වංචාකාරයකුට රැවටී ඇති බව ඇයට දැනුණි.

කරන්න කිසි දෙයක් නොමැති බව ඇයට අවබෝධ වුණි. එකම සරණ නීතියේ පිහිට පැතීම බව ඇය තේරුම් ගත්තාය. ඒ අනුව ඇය ගාල්ල පොලිසියට ගොස් තමාට වූ දෙය පිළිබඳ පවසා පැමිණිල්ලක් දැමුවාය. වහාම කි‍්‍රයාත්මක වූ එම පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වා එම වංචාකරුව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ ඔහු තවත් මෙවැනි වංචනික ක‍්‍රියා රැසක් සිදු කර ඇති බවයි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ඒ පිළිබඳවද වෙනම පරීක්ෂණ සිදු කරමින් පැවතුණි.
gossip lanka