gossip lanka

මහනුවර උසස් බාලිකාවේ සිසුවියන් හා ගුරුවරියන් එකතුව වරලස දන්දීලා

මහනුවර උසස් බාලිකා විදුහලේ සිසුවියන් සහ ගුරුවරියන් උපන්දා සිට රැකගෙන සිටි සිය වරලස කපා කිලෝ 60ක ප්‍රමාණයක් දන්දීමේ උතුම් පින්කමක් පසුගියදා පාසලේදී පැවැත්විණි.

මහනුවර උසස් බාලිකා විදුහලේ බාලදක්‍ෂිකා සංගමය, ගුරු සුබසාධක සංගමය සහ ප්‍රාථමික අංශය එක්ව කළ මෙම දානමය පින්කම ලේ දන්දීම, වරලස දන්දීම, ඇස් දන්දීමේ පත්‍රිකාවලට අස්සන් කිරීම ආදී ලෙසින් වාර්ෂිකව සංවිධානය කරන උත්සවයක අංගයක් බව විදුහල්පතිනි එම්. අබේගුණවර්ධන මහත්මිය පැවැසුවාය.


මහනුවර මහ රෝහලේ සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ පින්කම සිදුකර තිබේ. එහිදී උසස් බාලිකාවේ සිසු දැරියන් සහ ගුරුවරියන් මෙසේ තම හිසකෙසේ කිලෝ 60ක ප්‍රමාණයක් දන්දීම සිදුකොට තිබේ.

එමෙන්ම විද්‍යාලයේ සිසුවියන් සහ ගුරුවරුන් සියදෙනකු තම ඇස් දෙක දන්දීම සඳහා ලියාපදිංචි වීමද මෙහිදී සිදුකර තිබේ. එයට අමතරව ලේ දන්දීම සඳහා සිසුවියන් සහ ගුරුවරුන් දෙසිය පනස් දෙනකු සහභාගිවීමද විශේෂත්වයකි.

පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා මෙසේ හිසකෙස් ලබාගැනීම සිදු කෙරෙන බවත් එහිදී අඟල් දහයකට වැඩියෙන් දික්ව ඇති යුවතියන්ගේ හිසකෙස් දන්දීමට හැකියාව පවතින බවත් විදුහල්පතිනිය වන එම්. අබේගුණසේකර මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

සිය හිසකෙස් දන්දීම දරුවන්ට ආදර්ශයක් වෙමින් විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියද සිදු කිරීම මෙහි තවත් විශේෂත්වයකි. උසස් බාලිකා විදුහලේ හිසකෙස් දන්දීම සඳහා පැමිණ සිටි සෑම සිසුවියක්ම තම මවුපියන්ගේ කැමැත්ත ලබාගෙන සිය වරලස දන්දීම සිදුකිරීමද සිදුකොට තිබේ.

බොහෝ කාන්තාවන් සිය පණ මෙන් පංච කල්‍යාණයේ අංගයක් ලෙස වරලස ආරක්‍ෂා කරන බවත්, ආදරය කරන බවත් එසේ ආදරය කරන වරලස තවත් කෙනකුගේ රුව සඳහා දන්දීමට තරම් උසස් බාලිකාවේ සිසුවියන් අත්හැරීම පිළිබඳව අධ්‍යාපනය ලබා තිබෙන බව  විද්‍යාලයේ ගුරුවරයකු වූ ඇන්ටන් විජයරත්න මහතා පැවැසීය.

විදුහල්පති එම්. අබේගුණසේකර මහත්මිය ඇතුළු දැරියන් සිය වරලස දන්දීම සඳහා එක් වූ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

දඹුල්ල - කේ.කේ. ආරියදාස
gossip lanka