gossip lanka

බිරියට කොරෝනා සෑදී ඇතැයි සිතා 77 හැවිරිදි සැමියා රාත්‍රියේ කරපු වැඩේ !

සිය බිරියට රාත්‍රි කාලයේ කැස්ස හටගැනීම නිසා ඇයට කොරෝනා වයිරසය අනිවාර්යෙන්ම වැලඳී ඇතැයි සැක සිතූ වයෝවෘද්ධ පුද්ගලයෙක් එළිවෙන තෙක් නිවෙසේ අගුපිළක පැදුරක් දමාගෙන  නිදා ගත් සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට තරමක් දුරින් පිහිටි ප්‍රදේශයක වයස අවුරුදු 77ක් හා වයස අවුරුදු 72ක් වන වයෝවෘද්ධ යුවළක් සිය බාල දියණිය සමඟ ජීවත් වෙති. මෙම වයෝවෘද්ධ යුවළට ගැහැනු දරුවන්ම තිදෙනෙකි. වැඩිමහල් ගැහැනු දරුවන් දෙදෙනා විවාහ වී ඇති අතර එක් දියණියක් කොළඹ ප්‍රදේශයෙත් ⁣සෙසු දියණිය කෑගල්ල ප්‍රදේශයේත් පදිංචිව සිටිති. බාල දියණිය අවිවාහකය.

මෙම වයෝවෘද්ධ යුවළ මීට වසර 43ට ඉහතදී කෑගල්ල නගරයේදී හමුවීමකදී ඇති කර ගත්තා යැයි කියන ප්‍රේම සම්බන්ධයකින් පසුව දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද විවාහ ගිවිසගෙන තිබිණි. ඔවුන් දෙදෙනා එදා සිට අද දක්වා බොහොම ආදරයෙන් ජීවත්වෙමින් සිටිති. තවමත් ළිඳට නා ගැනීමට යන්නේ එන්නේ එකටය. උයන්නේ පිහන්නේ එකටය. කෑම කන්නේ එකටය. දෙදෙනා අතර එදා සිට අද දක්වා එකිනෙකා ගැන සැක සංකා නැත.

ඉකුත් 17දා රාත්‍රි දෙදෙනාම සුපුරුදු පරිදි ඇඳේ නිදා ගැනීමට ගියහ. වයෝවෘද්ධ කාන්තාවට හදිසියේම රාත්‍රි 11ට පමණ කිවිසුම් කිහිපයක් පිටවිය. සිය වයෝවෘද්ධ සැමියා වහාම ඇඳෙන් නැඟිට “ඔයාට කොරෝනා වයිරසයද දන්නේ නෑ නේද ඇයි ඔච්චර කිවිසුම් යන්නේ” බිරියගෙන් විමසීය. අද තනිවම ඇඳේ නිදා ගන්න යැයි පවසා ඔහු පැදුරකුයි කොට්ටයකුයි රැගෙන නිවෙසේ ‍ෙදාර ඇර නිවෙසේ පිල් අගුවේ පැදුර දමාගෙන නිදා ගැනීමට ගොස් ඇත.

පසුදා සිය වයෝවෘද්ධ බිරිය තනිවම කෑගල්ල මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට සැමියා පිටත් කර තිබිණි. එහිදී කාන්තාව බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටින තරුණ වෛද්‍යවරියකට රෝග සම්බන්ධයෙනුත් සිය සැමියා තමන්ට කොරෝනා වැලඳී ඇති ආකාරය පිළිබඳ සැකසිතූ ආකාරය පිළිබඳවත් දීර්ඝ විස්තරයක් කර තරුණ වෛද්‍යවරිය වයෝවෘද්ධ කාන්තාව පරීක්ෂා කර බලා ප්‍රකාශ කර ඇත්තේ එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවත් තමන්ට එවැනි අසනීප තත්ත්වයක් නොමැති බව සැමියාට දන්වන ලෙසත්ය.

දමුණුපොළ - චමින්ද ජයලත්
gossip lanka