gossip lanka

''මිනිසුන් අපෙන් ඈත් වෙනවා, අපි දිහා බලාගෙන කෑම ටිකක්වත් කන්නේ නෑ.'' - එන්නතක් වෙනස් කළ, දිල්හාරගේ ජීවිතයේ අනුවේදනීය කතාව

අට හැවිරිදි පුංචි දිල්හාර අම්මා සමඟ පාසල් යමින් සිටියි. ඇය සිය දරුවාගේ අතින් ඇදගෙන මෙන් යන්නේ ඔහු මඟතොටේදී හමුවන මිනිසුන්ගේ ගැහැනුන්ගේ බැල්මෙන් බේරා ගැනීමට මෙනි.

දිල්හාර දකින මගීන්ගේ දෑස් හිටිහැටියේ පුදුමයෙන් මෙන් මහත් වී යයි. ඒ සමඟම ඔවුහු යළි ඔහු නොදකින්නට මෙන් වෙනතක හැරෙති.


මගීන්ගේ මේ ප්‍රතිචාරය පුංචි දිල්හාරට කෙසේ වෙතත් අම්මට නම් රුස්සන්නේ නැත. වසර අටක් පුරාම උදේ හවා ඇය මේ බැනුම් අත්වින්දාය. එදා මෙදා තුර ඇය යළි යළිදු හැඬුවාය. හැඬූ­ කඳුළැලි වියැළී ගියද අලුත් කඳුළක් ගලා එන්නේය.

හයක් හතරක් නොදන්නා තම අහිංසක දරුවාට සමාජය මෙසේ සලකන්නේ ඇයි දැයි හිතාගත නොහැකිව ඇය වරෙක අසරණභාවයෙනුත් , වරෙක කෝපයෙනුත් පිපිරෙන්නීය.

දිල්හාර පුංචි දරුවකු වුවද ඔහුගේ මුහුණේ පෙනුම වැඩිහිටියකුගේ මෙනි. අඟ පසඟද මුදු මොළොක් නැත. වැඩිහිටියකුගේ මෙන් කාල වර්ණය.

දිල්හාර සිය මාපියන් සමඟ වෙසෙන්නේ ගලේවෙල, දඬුබැඳිරුප්පේය.

මේ අහිංසකයා පවුලේ බාලයාය. ඔහුට අක්කා කෙනෙක් සිටියි. ඇය නම් නිරෝගීය.

දිල්හාරට සිදුවී ඇත්තේ කුමක්ද?

"අපේ පුතා ඉපදුණේ දඹුල්ල ඉස්පිරිතාලේ. එයා ඉපදෙනකොට ඇඟේ පුංචි ලපයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒකට එන්නතක් විද්දා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. ඉන්පස්සේ කොළඹ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. මගෙන් ඈත් කරලා දවස් ගාණක් ප්‍රතිකාර කළා. පස්සේ දරුවා මගේ අතට ගෙනත් දෙනකොට එයාගේ පෙනුම හුඟක් වෙනස් වෙලා තිබුණා. මං දොස්තර ‍ මහත්තුරුන්ගෙන් ඇහුවා මොකක්ද මේ දරුවට වුණේ කියලා. ඒ අය ඒකට හරියටම උත්තරයක් දුන්නේ නෑ. පස්සේ තමයි දැන ගත්තේ එන්නතක් වෙනස්වෙලා මගේ පුතාට මේ ඉරණම අත්වුණා කියලා. දිල්හාරගේ මව රූපා ශ්‍රීමතී වනසිංහ මහත්මිය කියන්නීය.

පුතාගේ වයස අවුරුදු අටක් වුණාට එයාට තියෙන්නේ වැඩිහිටි පෙනුමක්. මේ හින්ද මං විතරක් නෙමේ මගේ මහත්තයයි, දුවයි, අම්මයි ඉන්නෙත් හරිම දුකෙන්. පුතා ඉපදිච්ච දා ඉඳලාම අපි ඉන්නේ හරිම කම්පාවෙන්. හිතේ අමාරුවෙන්.

පුතාට බේත් ගේන්න හැමදාම වාගේ ඉස්පිරිතාල ගාණේ යනවා. මේ යන හැමදාම වගේ බස් එකේදීයි, පාරේදීයි, සායන පෝලිම්වලදීයි හැමෝම අපිව ප්‍රතික්ෂේප කරනවා. අපෙන් ඈත් වෙනවා, අපි දිහා බලාගෙන කෑම ටිකක්වත් කන්නේ නෑ.

මේ ළමයට මොකද වෙලා තියෙන්නේ..? පිච්චිලාද කියලා අහනවා. සමහර වෙලාවල්වලදී දරුවට එක එක දේවල් කියනකොට අපේ මහත්තයා ඒ අයට බනිනවා. මම එතකොට එයාට කියනවා " ඕවා ගණන් ගන්න එපා. අපි ඉතින් මොනව කරන්නද? මේ කරුමේ ගෙවමු" කියලා.

දිල්හාරගේ මාපියන්ට සැනසීමකට ඇත්තේ පාසලේ කුඩා ළමයින් ඔහුට වෙනස්කමක් නොකර ආදරයෙන් සැලකීමය. ඒ දරුවන්ගේ හැටිය.

'' පොඩි පන්තිවල ඉන්නකොට පුතාට කරදර ටිකක් තිබුණා තමයි. මම ඉස්කෝලෙට ගිහිං විදුහල්පතිතුමාවයි ගුරු මණ්ඩලයයි හම්බවෙලා අඬලා මගේ පුතා ගැන කරුණු කිව්වා. ඒ අය ඒක තේරුම් අරගෙන පුතාව හොඳින් රැකබලා ගන්නවා. ඒක අපිට ලොකු සැනසීමක් . ඒත් රෝහල්වලදී පාරේ තොටේදී මිනිස්සු අර විදිහට සලකන එක නම් හරිම පීඩාකාරියි.'' දිල්හාරගේ මව කඳුළක් හෙළන්නීය.

"මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා දොස්තර ‍මහත්තුරු කියනවා. ඒත් අපිට ලොකු ලොකු ‍ෙදාස්තර මහත්තුරු හොයාගෙන යන්න තරම් වත්කමක් නෑ. මහත්තයා කුලී වැඩ කරලා හොයන දේකින් තමයි අපි නඩත්තු වෙන්නේ. පුතාගේ බේත්වලටත් සමහර දවස්වලට ලොකු ගාණක් වියදම් වෙනවා. සමහර දවස්වලට බේත් ගන්නවත් මුදලක් ලැබෙන්නේ නෑ. මේ හින්දා ලොකු දුවගේ ඉගෙනීමේ කටයුතුත් අඩපණ වෙනවා.

"කමක් නෑ අම්මේ අපි මල්ලිව හොඳකර ගනිමු" කියලා තමයි දුව කියන්නේ.

අපේ එකම ඉල්ලීම තමයි අනේ අපේ දරුවව සුවකර දෙන්න කියන එක. ඒ වෙනුවෙන් උදවු කරන්න කියලා මං මේ රටේ සත් ජනයන්ගෙන් ඉල්ලා සිටිනවා. එතකොටවත් මිනිස්සු අපට අපහාස කරන එක නවත්වයිනේ.

මායි මහත්තයයි නැති කාලෙක මේ සමාජේ සමහර මිනිස්සු මේ අහිංසක දරුවට මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බෑ.

දිල්හාර නවෝද් තිලකරත්න දරුවාට උදවු කිරීමට කැමැති අයට 0771864431 ඔස්සේ ඔහුගේ පියා වන සුරංග තිලකරත්න මහතා ඇමතිය හැකිය. ඔහුගේ ලිපිනය අංක 59, දඬුබැඳිරුප්ප, දේවහුව, දඹුල්ල යන්නය.

දඹුල්ලේ - කේ.කේ. ආරියදාස
මව්බිම
gossip lanka