gossip lanka

මූණට කෙළ ගහන, සපත්තු හංඟන, වැසිකිළි යන්න තහනම් කරන ලෝකයේ විවිධ රටවල දකින්න ලැබෙන පුදුම හිතෙන විවාහ චාරිත්‍ර මෙන්න - (Photos)

ලෝකයේ හැම රටකම වගේ ඒ රටට ආවේණික විවාහ චාරිත්‍ර බොහෝමයක් පවතිනවා. උදාහරණයකට අපේ රටේ චාරිත්‍ර ගන්න පුළුවන්.

ඉතින් ඒ චාරිත්‍රවලට අමතරව පොඩි "රැග් එකක්" දෙන එක අපේ රටේ සාමාන්‍ය දෙයක්. නමුත් අපි "සාමාන්‍යයයි" කියලා හිතන ඒ චාරිත්‍ර සමහරක් රටවල්වල නම් 'අනිවාර්ය චාරිත්‍ර' බවට පත්වෙලා තියෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවී.

මේ කියන්න හදන්නේ ඒ විදිහට ලෝකයේ විවිධ රටවල විවාහ උත්සව වලදී දකින්න පුළුවන් අරුම පුදුම ඒ වගේම භයානක චාරිත්‍ර කිහිපයක් ගැනයි.


ඉන්දියාවේ සපත්තු හංඟන චාරිත්‍රය

මුලින්ම අපි යන්නේ අසල්වැසි රටට. ඉන්දියාව කොහොමත් මිථ්‍යා විශ්වාස තරයේ විශ්වාස කරන රටක්. ඉතින් ඒ රටේදී නයින් එහෙම නැත්තම් උරගයින්, සුනඛයින් සමඟ විවාහ වෙන කාන්තාවන් ඉන්නවා කිව්වොත් ඔබ පුදුම වෙන්න එපා. ඒ වගේම තමයි සමහර තරුණියන් ගස්ගල්වලට පවා බන්ඳලා දෙනවා කියලා තමයි කියන්නේ. දැන් මේ කියන්න හදන්නේ ඉන්දියාවේ දකින්න ලැබෙන අපූරූ විවාහ චාරිත්‍රයක් ගැනයි. මේකෙදී වෙන්නේ මංගල පෝරුවට නගිද්දි මනමාලයා විසින් ගලවන සපත්තු කුට්ටම මනාලියගේ පාර්ශවයේ අය විසින් හංඟන එක. බොහෝ අවස්ථාවල මේක කරන්නේ මනාලියගේ පාර්ශවයේ සොහොයුරෙක් තමයි. සපත්තු කුට්ටම ආයේ ඕනි නම් මනමාලයාට සිද්ධ වෙනවා පගාවක් දෙන්න. හැබැයි මේ වෙලාවේ මනමාලයාගේ පැත්තෙ අයත් නිකන් ඉන්නෙ නෑ. එයාලා සපත්තු කුට්ටම හොයන්න ගන්නවා. හැබැයි ඉතින් කලාතුරකින් තමයි ඒක හොයාගන්න නම් ලැබෙන්නෙ. කොහොම හරි මනමාලයා පගාවක් දුන්නම සපත්තු කුට්ටම ආයෙම මනමාලයාගේ දෙපතුල්වල පළඳනවලු.



ප්‍රංශයේ පීස් පෝච්චියේ ආහාර සංග්‍රහ චාරිත්‍රය


විවාහ උත්සවය අවසන් වෙන්න ළංවෙලා තමයි මේ චාරිත්‍රය කෙරෙන්නේ. ඒකේදී ඉතිරි වුණු මත්පැන් නොයෙකුත් ආහාර වර්ග මිශ්‍ර කරලා පීස් පෝච්චියක, එහෙම නැත්තම් මුත්‍රා කිරීමට භාවිතා කරන බඳුනක දාලා මනාල යුවළට පිළිගන්වන එක තමයි කරන්නේ. ඉතින් මනාල යුවළට මේක නම් ප්‍රතික්ෂේප කරන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ චාරිත්‍රය කරන ඒ රටේ අය කියන්නෙ නම් මධුසමයට යන මනාල යුවළට ඒ දෙයින් අමුතු ශක්තියක් ලැබෙනවා කියලලු. මේ අප්‍රසන්න චාරිත්‍රයේ පොඩි හොඳකට තියෙන්නේ අලුතින්ම ගත්ත පීස් පෝච්චියක් මේකට පාවිච්චි කරන එක විතරයි.


 නව යුවළට වැසිකිළි යෑම තහනම් වන මැලේසියානු ගෝත්‍රයේ චාරිත්‍රය

මේ කියන්න හදන්නේ තවත් අප්‍රසන්න චාරිත්‍රයක් ගැනයි. ඒකට 'විකාර චාරිත්‍රයක්' කියලත් කියන්න පුළුවන්. මොකද මේ චාරිත්‍රය ඇතුළේ පොඩි සෞඛ්‍ය අවධානමක් තියනවා. මේකෙදී වෙන්නේ විවාහ වෙන යුවළකට දවස් තුනක් යනකන් ගෙදරින් එළියට යන එක තහනම් වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා හෝ මළපහ කරන්න වැසිකිළි පාවිච්චි කිරීමත් ඔවුන්ට තහනම්. මේ දේවල් ගැන දවස් තුන ගෙවෙනකන් ඒ අයගේ නෑ හිතමිතුරනුත් බලාගෙන ඉන්නවලු. මේ ගෝත්‍රයේ අය කියන්නේ මේ විදිහට නව යුවළක් ඉවසගෙන ඉඳීමෙන් ඒ බැඳීම ශක්තිමත් එකක් බවට පත් වෙනවලු.



මසායි ගෝත්‍රිකයන්ගේ කෙළ ගහන චාරිත්‍රය

කෙනෙක් මූණට කෙළ ගහනවා කියන්නෙ අප්‍රසාදය පළ කිරීමක්නේ. එහෙම වුණත් මේ චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ සුබ පතන එක හා ආශිර්වාද කරන එක. අපිට මේ අපූරු විවාහ චාරිත්‍රය අහන්න ලැබෙන්නෙ අප්‍රිකාවේ මසායි ගෝත්‍රයෙන්. මේ ගෝත්‍රයේ විවාහයකදී මනාලියගේ හිස බූ ගානවා. එහෙම කරන්නේ විවාහයකින් සිද්ධ වෙන අලුත් ආරම්භය සංකේතවත් කරන්නලු. ඊට පස්සෙ මනාලිය පිටත් වෙද්දි තමයි මේ කියන කෙළ ගහන චාරිත්‍රය එළියට එන්නේ. යුවළ පිටත් වෙන්න කලින්, මනාලියගේ තාත්තා ඇවිත් මනාලියගේ පපු ප්‍රදේශයටයි ඔලුවටයි කෙළ ගහනවා. කෙළ පහරේ ආශිර්වාදයත් එක්ක තමයි යුවළ නැකතට ගෙදරින් පිටත් වෙන්නෙ.



නාවර නාවන ස්කොට්ලන්ත ජාතිකයින්ගේ චාරිත්‍රය

නාවර නාවන මේ චාරිත්‍රයත් අතීතයේ ඉඳන්ම පැවති එකක්. අදටත් ස්කොට්ලන්තයේ දුර ගම්පළාත්වල අය මේ චාරිත්‍රය කරනවා කියලයි දැනගන්න ලැබෙන්නෙ. විවාහ මංගල්‍යයට දවස් කීපයකට කලින් මනාල යුවළව යම් දියරයකින් නාවන එක තමයි මේකෙදී සිද්ධ වෙන්න. මේ දියරයට ඔවුන් ඉතිරි වුණු කෑම වර්ග හා වෙනත් ඇලෙන සුළු ද්‍රව්‍ය එකතු කරගන්නවලු. ඒ විදිහට කරලා පස්සෙ නාවලා ගස් බඳිනවලු. අන්තිමට වටපිටාවේ ඉන්න අයට පේන්නත් එක්ක පෙරහැරකින් යුවළ කැඳවාගෙන එන එක තමයි මෙතනදි කරන්නෙ.



ජර්මානුවන්ගේ පිඟන් බඩු බිඳින චාරිත්‍රය

සාමාන්‍යයෙන් විවාහයකදී පොස්ලින් පිඟන්, විසිතුරු බඳුන් එහෙම දෙන්නේ තෑගි බෝග විදිහටනේ. හැබැයි මේ චාරිත්‍රයේදී වෙන්නෙ ඒ පිඟන් භාණ්ඩ පොළවේ ගහන එක. මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. විවාහයකට සති දෙකකට විතර කලින් නෑ හිතමිතුරන් පිඟන් බඩු අරගෙන මනාලයාගේ නිවසට හෝ කලින් තීරණය කරගත්තු තැනකට එනවා. ඒ ඇවිත් විවාහ වෙන්න ඉන්න යුවළ ඉදිරියේ ඒ භාණ්ඩ පොළවේ ගහනවා. මේ විදිහට කළාම නව යුවළගේ දොස් දුරුවෙලා වාසනාව පෑදෙනවා කියලා තමයි ඒ අය විශ්වාස කරන්නෙ. මේ විදිහට බිඳුනු භාණ්ඩ එක්කහු කරන්න වෙන්නෙත් මනාල යුවළටම තමයි. ඒ දෙයින් ඒ දෙන්නා අතරේ එකමුතුකම වැඩිවෙනවා කියලයි කියන්නෙ.



මනමාලයාට මාළු ප්‍රහාරයක් එල්ල කරන කොරියානුවන්ගේ චාරිත්‍රය

කොරියාවේ සිද්ධ වෙන මේ චාරිත්‍රයේදී මනාළ යුවළ පිටත් වෙලා යන්න කලින් මුලින්ම ඔහුගේ සපත්තු ගලවනවා. පස්සෙ කරන්නෙ ඔහුගේ කකුල්වලට පහරදෙන එක. කෝටුවකින් හරි වියලුනු මාලුවෙකුගෙන් හරි යටිපතුල්වලට පහර දෙන එක තමයි මෙතනදී වෙන්නෙ. ඒක තරමක් වේදනාකාරී දෙයක් වුණත්, විනෝදකාමී චාරිත්‍රයක් කියලයි දැනගන්න ලැබෙන්නෙ.
gossip lanka