gossip lanka

එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් !

එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙයි කියලා අපිට විරුද්ධ කණ්ඩායම් බලාගෙන හිටියත් අපෙන් ඉදිරිපත් කරන්නේ එක් අපේක්ෂකයෙක්පමණක් බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම මහින්දසෝම ගමගේ මහතා පැවැසීය.


ඒ මහතා මේ බව සඳහන් කළේ රාජාංගණය ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය.

“පොහොට්ටුවයි, ජේවීපී එකයි ජනාධිපති අපේක්ෂකයෝ නම් කරලා ඉන්නවා. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා නැතිව තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ. අපි අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සේ. වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් නැවත ගරු අධිකරණයේ මතය විමසලා තියෙනවා. යම් විදියකින් ජනාධිපතිවරණය නොවැම්බර්වල නොතිබ්බොත් මොකද වෙන්නේ කියලා කලබල වෙන උදවිය දන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වය ගත්තත් මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරපු

අපේක්ෂකයා ඉන්නේ අපේ පක්ෂයට වඩා හත් ගව්වක් දුරින්. අද අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීම්වල සෙනඟයි, ගෝඨාභයගේ සෙනඟයි ගන්නකොට කාට වුණත් ඒක තේරෙනවා.

අද අපේ පක්ෂයේ සමහර මන්ත්‍රිවරුන්ට විනය පරීක්ෂණ තියෙන එකටත් සමහරු පක්ෂය දෙකට කැඩෙනවා කියලා කියනවා. අපි මන්ත්‍රිවරුන්ට විනය පරීක්ෂණ තියන්නේ අර ගෙදරක අකීකරු දරුවෝ කීකරු දරුවෝ බවට පත්කරන්න. මවුපියන් දරුවන්ට තරවටු කරනවා වගේ හදාගන්න. ඒ හැර ඒ අය පක්ෂයෙන් එළවන්න නෙවෙයි.

අද ජනාධිපති විවිධ අයට වගකීම් පවරනවා. හැබැයි අද එහෙම වුණාට එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඒ අය එතුමා ළඟ හිටියේ නැහැ. වෙඩි උණ්ඩවලට මුහුණ දීලා, ගුටිකාලා එතුමා ජනාධිපති කළේ අපි. මම එතුමාට එක දෙයක් කියනවා. ඔබතුමා අමාරුවේ දාන්න සමහරු දෙන උපදෙස් වගේම ඔබතුමාට ආදරේ කරන අපි කියන උපදෙසුත් අහන්න කියලා.



මේ ඉන්න ජනාධිපතිවරයා ඊළඟ ඡන්දයට ඉදිරිපත් වුණාට දිනන්න බැහැ. ඒ නිසා ලොකුම දේ තමයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය තියෙන්නේ අගමැතිවරයාට නිසා ඔබතුමා නාමික ජනාධිපති වෙන්න. මම මේ ප්‍රකාශය කරන්නේ රට ගැන හිතලා මිසක් දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් නොවන බවත් කියන්න කැමැතියි.

මේ රටේ කවුරු දිනුවත් ඒ තීරණය ගන්න අකැමැති වෙන එකක් නැහැ කියලත් මම හිතනවා.”

රාජාංගණය - කේ.එම්. චන්දික
gossip lanka