gossip lanka

"මේ අත්දෙකෙන් මම ඔය දරු පැටවු හදාගත්තේ අම්මා දාලා ගියාට පස්සෙ.." - ගමක් කම්පා කරමින් සිය දරු දෙදෙනාට වස පොවා අසංක දිවි නසා ගත්තේ නිමේෂාගේ අනියම් සම්බන්ධයක් නිසාද?

මෙය දරු දෙදෙනෙකුට වස පොවා දිවි නසා ගත් පියෙකු ගැන කියැවෙන අනුවේදනීය කතාවක්. මීට හේතුව වී ඇත්තේ බිරිය සැමියා හා දරුවන් අතහැර යාම බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. දරුවන් වැදු මවකට මුවා වී දරුවන් ඇති දැඩි කළ ආදරණීය පියෙකුට ඒ් පැටවුන්ට වස දී මරා දැමිය හැකිද?


උඩප්පුව පොලිස් වසමේ කෝන්තන්තිව් සින්නපාඩුව පල්ලියවාසල්පාඩුව ධීවර ගම්මානයේ මේ අපරාධය සිදුව තිබෙනවා.

උදේ හවා තම පියාගේ සෙනෙහස ලැබ ජිවිතය මෙතුවක් දුරට රැගෙන ආ ඒ් දරුවන් දැන් මළවුන් තුරුළේයි. ඔවුන්ට ජිවත්වීමට වරම් නොදුන් පියාද අද ජිවතුන් අතර නැහැ.

අසල්වාසීන් මේ පව්කාර පුවත සැලව එතනට යන විටත් දරු දෙදෙනා තැන් තැන්වල වැටී සිටියා. පියාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබුණා. වස ශරීරගත වීමෙන් මේ දරු දෙදෙනා මරණයට පත්ව තිබුණා.

කන්දතොඩුවාව සිංහල කනිටු විදුහලේ 3 ශ්‍රේණියේ හා 1 වසර ඉගෙනුම ලබමින් සිටි අට හැවිරිදි වර්ණකුලසුරිය විලියම් මැසෙව් හා අවුරුදු 6ක් වයසැති වර්ණකුලසූරිය එෂොන් නිම්රෝධ යන පිරිමි දරු දෙදෙනා මෙලෙස ජිවිතයෙන් සමුගෙන තිබුණා.

වර්ණකුලසුරිය අසංක සනත් හා ඔහුගේ බිරියත් දරු දෙදෙනාත් සමඟ ගෙවමින් සිටියේ කාටත් බරක් නැති ජිවිතයක්. මුහුද සමඟ දිවි ගෙවන මේ පළාතේ මිනිසුන්ගේ ප්‍රධාන ජිවනෝපාය ධීවර කර්මාන්තයයි. අසංකගේ ජිවනෝපාය වූයේ ද එයයි. යොවුන් වියේ මල්බර සමයේ ඔහුගේ සිතට මල් හීසර ගෙන එන්නේ ඊට යාබද ධීවර ගම්මානයේ යුවතියක් වූ නිමේෂායි. මුක්කුතොඩුවාව ගම්මානයේ ජිවත් වූ 18 හැවිරිදි දෙහිවලගේ නිමේෂා ප්‍රනාන්දු හා එක වහලක් යටට පැමිණෙන විටත් අසංක අවුරුදු 23ක තරුණයෙකු වුණා.

කලක් ගතවෙද්දි නිමේෂාත් අසංකත් දරු දෙදෙනෙකුගේ ආදරබර මවුපියන් වුණා. පවුලේ ඥාතින් පවසන විදිහට මේ පවුලේ කිසිදු අසමඟියක්, දබරයක් තිබී නැහැ. පිටතින් ඉතා සාමකාමී බවක් තිබුණත්, ඇතුළතින් තිබූ තත්ත්වය කෙබඳුද යන්න කිසිවකු දැන සිටියේ නැහැ.

සතුටින් ගෙවී ගිය මේ කුරුළු කුඩුවේ සාමය දෙදරා යන්නේ අසංකගේ සිත තුළට කිසිවෙකු විසින් රිංගවන ලද විෂබීජයක් නිසයි. ඒ නිමේෂාට අනියම් සම්බන්ධයක් තිබෙන බවටයි.

අසංකට මේ ආරංචිය දරාගත නොහැකි වේදනාවක් වුණා. ඒ නිසාම තම බිරිඳ වූ නිමේෂාව ඔහු සැක කරන්න පටන් ගත්තා. නිමේෂාත් අසංකත් අතර රංඩු දබර හිරිහැර කිරීම් සිදුවන්නට පටන් ගත්තේ එතැන් සිටයි. මේ නිසාම වැඩිකල් නොගොස් මේ කැදැල්ල විසිරී යන්නට කරුණු සිදු වුණා.

කණකොකා හැඬූ මේ පවුල් දිවියේ ඉරණම මහා ආගාධයක් වෙන ඇදී යන බව පවුලේ සෙසු සාමාජිකයින්ට වැටහෙන්නට ඇති. අසංකගේ පියාගේ ප්‍රකාශවලින් ඒ බව වඩාත් තහවුරු වුණා.

"මං නිතරම මේගොල්ලෝ ගැන කල්පනාවෙන් හිටියේ. මට තේරුණා මොකක් හරි දෙයක් සිද්ධ වෙයි කියලා. මට පුතා ගෙදරින් යන්න කිව්වේ මේකට තමා. පුතා මට ගෙදරින් යන්න කිව්වට පස්සෙ මම දුවගේ ගෙදරට ගියා. ඒ ටික දවසට තමයි මේ අපරාධය වුණේ..."

රෝහල දෙවනත් කරමින් විලාප නගන දරුවන්ගේ සීයා වැළපෙන්නේ දිවි තොරකරගත් තම පුතුට වඩා හයක් හතරක් නොතේරෙන මුනුබුරන් දෙදෙනා වෙනුවෙනුයි.

"මේ අත්දෙකෙන් මම ඔය දරු පැටවු හදාගත්තේ අම්මා දාලා ගියාට පස්සෙ. අනේ දෙයියනේ මම ලොකු පුතා උස්සලා ගත්තම බෙල්ල කඩාගෙන වැටුණා. පුංචි පුතාත් එහෙම වුණා. මට කෙළින් ඉන්න බැරිවුණා. මාව වෙවුලන්න ගත්තා. අසංකත් බාල්කේ එල්ලිලා හිටියා..."

මාහා වියවුලක පැටලුණු අසංකත් නිමේෂාත් වෙන්වී යන්නේ මේ විනාශයට මාස දෙකකට පමණ පෙරයි. අම්මා සොයන සුරතල් දරු පැටවුන් දෙදෙනාත් තම සැමියාත් හැර දමා ඇය නිවසින් පිටව ගියා. ඇය යන්නේ ඇගේ මවුපියන් ළඟටයි. එලෙස හැරදා ගිය සෑම මොහොතකම අසංක නිමේෂා කැටුව ආවේ ආයෙමත් සතුටින් ජිවත් වෙමු කියායි. එහෙත් තවත් ටික දිනක් ගතවෙද්දි දෙදෙනාම යළි සාමාදානය බිඳ දමන්නේ නිමේෂා ඔවුන් හැරදා යාමත් සමඟයි. දැනට මාස දෙකකට පමණ පෙර නිවසින් ගිය ඇයට අසංක ආයාචනා කළ ද ඇය ඊට ඇහුම්කන් දුන්නේ නැහැ.

මේ නිසාම ඔහු නීතියේ පිළිසරණක් පතන්නට සිතුවා. මේ අවනඩුව ඔහු පැමිණිලි කළේ උඩප්පුව පොලීසියටයි. දරුවන්ගේ අයිතිය ඉල්ලා නිමේෂාද මුන්දලම පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. උඩප්පුව පොලීසිය අසංකගේ පැමිණිල්ල මුන්දලම පොලීසියට යොමු කළේ දෙදෙනාගේ පැමිණිලි ප්‍රදේශයේ සමථ මණ්ඩලයට යොදවා පවුල සමාදාන කිරීමේ අදහසිනුයි.

අසංක තම දරු දෙදෙනා සමඟ එහි ගොස් ඇත්තේ නිමේෂා යළ නිවසට කැඳවාගෙන ඒමේ අදහසිනුයි. සමථ මණ්ඩලයෙන් දෙදෙනා එකතු කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ වූ අතර තව මාස දෙකක කාලයක් ලබා දී තිබුණේ තත්ත්වය යහපත් අතට හැරෙන තුරුයි. එසේ නොවුණහොත් නඩුව අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන බව ඔවුන් දෙපළට දැනුම් දී තිබෙනවා. මේ සිදුවීම් සියල්ල මහා අපරාධයකට පාර කැපුවා.

2019 08 24 දහවල් 10ට පමණ අසංක තම ඥාති පුත්‍රයකුට ඇමතුමක් දුන්නේ තමන් දුරුවන්ට වස දුන් බව කියන්නටයි.

"අසංක මාමි මගේ අම්මගේ මල්ලි. සිද්ධිය වුණු දා උදේ 10ට විතර මට මාමි දුරකථනයෙන් කතා කරලා කිව්වා පුතාලා දෙන්නට වහ පෙව්වා කියලා. එහෙම කිව්වම මට අදහගන්න බැරුව ගියා. අපි ඉක්මනට ඒ පැත්තට ගියා. අසංක මාමි එල්ලිලා මැරිලා හිටියා. දරුවන්ට ඉක්මනට පුත්තලම රෝහලට අරගෙන ගියා..."

මෙතෙක් කල් දරුවන් හා සැමියා අතහැර ගොස් සිටි දරුවන්ගේ මව වූ නිමේෂා මරණ පරීක්ෂණයට සාක්ෂි දීමට රෝහලට පැමිණියා. ඇය පවසා සිටියේ අසංකගෙන් සිදුවන හිරිහැර ඉවසා ගන්නට නොහැකිව ඇය සැමියා හා දරුවන් හැර දමා යන්නට ගිය බවයි. දරුවන්ට කරදරයක් සිදුවී ඇති බව ආරංචි වුණත් තමන්ට කරදරයක් වේ යැයි ඇති බිය නිසා තමා එහි නොආව බව ඇය කියනවා. තමා නිවසින් ගොස් වැඩිහිටි නිවාසයක රැකියාවක් සොයාගෙන ජිවත් වූ බවයි ඇය කියන්නේ.

දුරදිග නොබලා ගන්නා මෙවන් තීරණ නිසා මෙවන් අපරාධ තවමත් අප සමාජය තුළ සිදු වනවා. එසේ වුවත්, මවුපියන්ගේ අවශ්‍යතාවන් මත මෙහෙයවා දරුවන් බිල්ලට ගැනීම කිසිසේත් සාධාරණ නොවනු ඇති. එය දරුවන්ගේ අයිතිය පැහැර ගැනීමක්. සිනහවෙන් පිරුණු සුන්දර දරුවන් සඳහටම මෙලොවින් තුරන් කර හමාරයි. තවත් කෙටි කලකින් මෙය කාලයේ වැලිතලාවට යටව ඇසි නෑසි ගිය ශෝකාලාපයක්ම පමණක් වන්නේ එලෙසයි.

නන්දි අලුත්ගේ රත්නවීර
gossip lanka