gossip lanka

මම ඕපාදූපවලට පොඩ්ඩක්වත් බය නැහැ - සුරංගි කොඩිතුවක්කු

මාධ්‍යවේදිනියක් ලෙස මම තෘප්තිමත්.මං තරම් වාසනාවන්ත මාධ්‍යවේදිනියක් තවත් නැතුව ඇති

අපි නිවේදන  කටයුතුවලට  පා තබපු කාලයේ කාලයේ තිබුණු  හරවත් ගුණවත්  වැඩසටහන් දැන් දකින්න අහන්න ලැබෙන්නේ නැහැ.


ස්වර්ණවාහිණිය තම නිවේදන කලාවේ මහ ගෙදර කරගනිමින් විවිධ ආරයේ වැඩසටහන්වලට තම හඬ මුසු කර වසර 20ක් පුරාවට ලාංකේය රසික හදවත් ස්පර්ශ කළ ඇය සුරංගි කොඩිතුවක්කු. වසර කිහිපයක නිහැඬියාවට සමුදෙමින් යළි කරළියට ආ සුරංගි පිළිබඳ අලුත් තොරතුරු බිඳකි, මේ..

සෑහෙන කාලෙකට පස්සේ සුරංගි යළි කරළියට ඇවිත්?

අවුරුදු පහක් විතර මම ලංකාවේ හිටියේ නැහැ. ලංකාවට ඇවිත් තාම වසර තුනයි. නමුත් පහුගිය අවුරුදු දෙකහාමාර තුළ නැවත 'සුරංගි' කියන නම මිනිස්සු අතරට ඇවිල්ලා.

වසර ගාණක් විදෙස් ගත වෙන්න විශේෂ හේතුවක් ඇති?

ඔව්. ඒ පෞද්ගලික කාරණාවක් නිසා. නමුත් විදෙස්ගත වුණා කියලා මගේ නිවේදන කටයුතු නැවතුණේ නැහැ. මම ඒ කාලයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති කාර්යාලය ආශ්‍රෙයන් නිවේදන කටයුතු කළා. තානාපති කාර්යාලයේ සියලුම වැඩවල නිවේදිකාව වුණේ මම. ඊට අමතරව එහේ එෆ්.එම් එකකත් වැඩ කළා.

වසර ගණනට පසු නැවැත රසික හදවත්වලට ළං වෙන්නේ?

මම කොහොමත් ප්‍රේක්ෂකයන් අතර හිටියේ ස්වර්ණවාහිනියේ සුරංගි ලෙස. ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් ඇරැඹුණු පළමු රියැලිටි වැඩසටහනේ මුල්ම නිවේදිකාව ලෙස මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා. මේ දවස් වල සියත නාලිකාවේ විකාශය වන 'ස්ටාර්-වෝස්' කියන වැඩසටහනෙන් නැවත මිනිසුන් අතරට මම සමීප වුණා.

නැවත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අඩිතාලම වැටෙන්නේ කොහොමද?

අරවින්ද ලොකුගේ මගේ සමීපතම මිතුරෙක්. ඔහු තමයි මම ඩුබායි ඉන්න කාලේ ආරාධනා කළේ නැවත හිරු නාලිකාවට සම්බන්ධ වෙන්න ඒ ඔස්සේ මම හිරු නාලිකාවේ වසර දෙකක් නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එතැනින් සියත නාලිකාවට ආරාධනා කළා. දැන් මම නිදහස් මාධ්‍යවේදිනියක් හැටියට කටයුතු කරනවා.

නිවේදන කටයුතු කරන ගමන් අලුත් වැඩක් පටන් ගත්ත කියලා ආරංචියි?

'හඬ මාධ්‍ය' නමින් අප පාසලක් පටන් ගත්තා. එහි මම අධ්‍යක්ෂ විදිහටත්, වැඩමුළු අධ්‍යක්ෂ ලෙස ජනප්‍රිය නිවේදක ධනංජය නානායක්කාර සහ උපදේශක ලෙස ස්වර්ණවාහිනියේ සම්මානනීය නිවේදක නදීක කරුණානායකත් කටයුතු කරනවා. මේ ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් හා වසර විස්සක මාධ්‍ය අත්දැකීම්වලින් මේ පාසලෙන් අපි අලුත් ව්‍යාපෘති කිහිපයකුත් පටන් ගත්තා. ඒ එක්දින වැඩමුළු සංකල්පය. පළමුවැනි වැඩමුළුව පටන් ගත්තේ විසි එක් වැනි සේනාංකය අනුරාධපුරයේ. මේජර් ජනරාල් කුමාර පතිරණ මහතාට මම ස්තුති කරන්න කැමැතියි. ඒ වගේම අපි හඬ පුහුණුවට පමණක් අපේ පාසල සීමා කරලා නැහැ. ලංකාවෙන් අන්තර්ජාතික තලයට නමගිය සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් අපිට ආරාධනා ලැබිලා තිබෙනවා ඔවුන්ගේ කර්මාන්ත ශාලා කිහිපයක මානසික සුවතාව, මානසික පීඩනය අවම කිරීම වැනි වැඩමුළු පවත්වන්නට.

හරවත්ව බස හසුරවන නිවේදක නිවේදිකාවන් හෝ හරවත් වැඩසටහන් වර්තමානයේ ඇතැයි ඔබ සිතනවාද?

නැහැ. එය හරිම කනගාටුදායක තත්ත්වයක්. හතු පිපෙන්නා සේ නිවේදක නිවේදිකාවෝ අද බිහි වෙනවා. අද ක්ෂේත්‍රයට ආවොත් හෙට කිසිම පදනමකින් තොරව නිවේදිකාවක් වෙනවා. අපි නිවේදන කටයුතුවලට පා තබපු කාලයේ තිබුණු හරවත් ගුණවත් වැඩසටහන් දැන් දකින්න අහන්න ලැබෙන්නේ නැහැ.

වසර 20ක ඔබේ මාධ්‍ය ජීවිතය පිළිබඳ නැවැත හැරී බැලුවොත්?

මාධ්‍ය ජීවිතය තුළ තිබෙන්නේ මගේ සොඳුරු අත්දැකීම්. මම හිතනවා මං තරම් වාසනාවන්ත මාධ්‍යවේදිනියක් නැහැයි කියලා. වසර 20ක කාලයක් කැමැති හැම වැඩසටහනක්ම මෙහෙයවන්න අවස්ථාව මට ලැබුණා. මගේ මාධ්‍ය ජීවිතය ගැන සියයට සියයක්ම මම සෑහීමකට පත් වනවා.

කාන්තාවක් තම ජීවිතය ගැන විවෘතව කතා කිරීම බොහෝ විට තවත් කරදරයකට අතවැනීමක් වෙන්න පුළුවන්?

විවේචනය කියන දේ තියෙන්නේ අපේ ක්ෂේත්‍රයේ පමණක් නෙමෙයි. අපේ ප්‍රසිද්ධියත් එක්ක එම විවේචනය සමාජයට ඉක්මනින් යනවා. හැබැයි මම ඕපාදූපවලට පොඩ්ඩක්වත් බය නැහැ. මම, ජීවිතයේ තිබුණු ලොකු කරදර බාධක පහු කරගෙන ඉන්න කෙනෙක්. එනිසා නැවත ඒවට සැලෙන කෙනෙක් නෙමෙයි. මම දැන් බොහොම ශක්තිමත්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.ලොකු පුතා ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පොඩි පුතා තවම පෙර පාසල් යනවා. මගේ ජීවිතේ දුක සතුට අතර රැඳෙන්නේ ඒ දෙදෙනා.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
gossip lanka