gossip lanka

ලෝක රූප රාජිනයන්ගේ පවා විවාහයන් දෙදාරා ගිය අවස්ථාවන් ඕනෑතරම් තියෙනවා - සිනෙති අකිලා

”සිරි පැරකුම්” සිනමා පටය හරහා තම ප‍්‍රථම රංගන කෞෂල්‍යයන් පේ‍්‍රක්ෂකයාගේ හදවතේ තැම්පත් කළ ඇය අද වන විට ඔබ මතකයේ රැඳී ඇත්තේ ලස්සන රුව නිසා මෙන්ම මොණර පිළක් බඳු කොණ්ඩය නිසාමය. රුව දුටු පමණින්ම ඔබ ඇයව හඳුනන්නීය. ඇය සිනෙති අකිලා.


 කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. ලස්සන කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඒ ආභරණයේ වටිනාකම වැඩිකර ගන්න අපි නිරතුරුවම උත්සාහ ගත යුතුයි. මා පෞද්ගලිකව හිතනවා, අපි නිරතුරුවම අපිට උපතින් ලැබුණ ලස්සන රැුකගන්න වෙහෙස විය යුතුයි. එසේ නොමැතිව තාවකාලික ලස්සනක් සොයා යාමෙන් සිදුවන්නේ කෙටි කාලයකට අපේ බාහිර ස්වරූපය වෙනස්වීම පමණයි.

 කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ කුමක් නිසා කියා ද ඔබ විශ්වාස කරන්නේ?

ම්.... මම හිතන්නේ මේ ලෝකයේ උපදින හැම දෙනෙක්ම ලස්සනයි. කැතයි කියලා කවුරුත් නැහැ. එකම දේ අපි අපේ ලස්සන හඳුනා නොගැනීම.

හැම තිස්සේම හිතන්න පුළුවන් නම් මම ගොඩක් ලස්සනයි. මම හැඩයි කියලා, අපි නොදැනුවත්වම අපිට හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වාගේම ප‍්‍රතිඵලත් ඉබේම ලැබෙනවා.

 බාහිර රූපය ලස්සන වූ පමණින්ම කෙනෙකුට හැමදේම ලබාගන්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද?

නැහැ. රූපය නිසා ජීවිතයට ලැබිය යුතු කිසිම දෙයක් සියයට සියයක්ම ප‍්‍රතිඵලදායක ලෙස ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය, රැකියාව, පවුල ආදී කුමන අංශයක්වත් සාර්ථකවෙන්නේ නැහැ, කෙනෙකුගේ ලස්සන තිබු පමණින්. අපිට අපි කරන වැඩ සාර්ථක කරගන්න නම් අවශ්‍ය වෙන්නේ කැපවීම,  උත්සාහය, උනන්දුව, දැනුම සහ බුද්ධිය.

විවාහ ජීවිතය සාර්ථක වෙන්න බිරිඳකගේ ලස්සන පමණක් ප‍්‍රමාණවත්ද?

නැහැ. විවාහය කියන සංධිස්ථානයේදී යුතුකම්, වගකීම් ඉටු නොකරන රූප සුන්දරියක් බඳු බිරිඳකගෙන් වැඩක් වෙන්නේ නැහැ නේද? ලෝකයේ  ඕනෑතරම් සිදුවීම් තිබෙනවා, ලෝක රූප රාජිනයන්ගේ පවා විවාහයන් දෙදාරා ගිය අවස්ථාවන්.

බාහිර පෙනුමෙන් කෙනෙකුගේ ලස්සන මැනිය හැකිද?

බැහැ. අපිට  ඕනෑ තරම් දේවල් කරලා බාහිර ලස්සන වැඩිකරගන්න පුළුවන්. ඒත් අධ්‍යාත්මිකව සිතුවිලිවලින් ලස්සන වෙන එකයි අපිට කරන්න අමාරු.

අපි පෘතග්ජන මිනිස්සු විදිහට ජීවිතයේ අනේකවිධ දුක් පීඩාවන්ට මුහුණ දෙන්න අපට බොහෝ විට සිදුවෙනවා. ඒ අවස්ථාවලදී තරහව, කේන්තිය, දුක වේදනාව හිතට නොදැනුවත්වම දැනෙනවා. කොච්චර ප‍්‍රශ්න ආවත් හිනාවෙලා ඉන්න පුළුවන් නම් හිත නිදහස්ව තියාගන්න පුළුවන්. මේ ජීවිතය සතුටින් තියාගන්න එක පහසුම දෙයක් වෙනවා.

ඔබ මොනවාද ලස්සනට ඉන්න දෛනිකව කරන්නේ?

මම ඉන්න ක්ෂේත‍්‍රය නිසා හැමදාම ලස්සනට ඉන්න මම ගොඩක් ආසයි. ඒවගේම ඒ වෙනුවෙන් පොඩි උත්සාහයක් ගන්නවා. උදෑසන නැගිට්ට ගමන්ම ලොකු වතුර විදුරුවක් මම බොනවා. ගෙදර ඉන්නවා නම් හිතලාම මම වතුර ගොඩක් බොනවා. ඊට අමතරව ඉඳහිට කරපිංචා කැඳ හදලා දෙනවා අම්මා. ඒ ඖෂධීය පානයටත් මම කැමති. මම පළතුරු බීම බොන්න නම් ගොඩක් කැමතියි. කොමඩු තමයි මම ආසම පළතුර. සරම් පැහැය ලස්සන වෙන්න වගේම, හමේ තෙතමනයටත් කොමඩු ගොඩක් හොඳ නිසා මම හරිම ආසාවෙන් කොමඩු කනවා. ගස්ලබු, අලිගැටපේර වගේ පලතුරුවලටත් ගොඩක් ආසයි. ඒ වගේම කැරට් ජූස් ඉඳහිට උදේට බොනවා. ආ තව එකක් තමයි මම මුං ඇට තම්බලා කන්නත් හරිම කැමතියි. මුං ඇට වලින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලැබෙනවා වාගේම ශරීරයේ තැම්පත් වී තිබෙන මේද කොටසුත් පුළුස්සා දමනවා. කොළ පාට පිපිඤ්ඤාත් නිතර කනවා. ඊට අමතරව සුමානයට දවස් තුනක් විතර උදේට අනිවාර්යයෙන්ම තැඹිලි ගෙඩියක් බොනවා. එළවළු, ගොඩක් ආහාරයට එක්කර ගන්නවා. මගේ ඇඟ ටිකක් උෂ්නාධික නිසා එළවළු වලින් පිපිඤ්ඤා, සාරණා, නිවිති වගේ දේවල් වලට මම ගොඩක් ආසයි.

ඇෙඟ් හැඩය ලස්සනට තියාගන්න ජිම් එකකට ගිහින් ව්‍යායාම කරනවා. ඒ වාගේම මා පුංචි කාලේ ඉඳලාම අද වෙනකම්ම ආසාවෙන් කරන නර්තනය මාගේ ඇගේ හැඩය ලස්සනට තියා ගන්න උපකාරි වී තිබෙනවා. මේවට අමතරව නිවසේ විවේකීව සිටින විට අන්තර්ජාලයෙන් බලාගෙන යෝග ව්‍යායාම කරනවා.

නිවසේදීම සකසා ගන්නා රුව ලස්සන කරන ස්වාභාවික දේවල් ගැනත් දැන ගන්නා අපි කැමතියි?

මම ගෙදර ඉන්න දවසට ඉඳහිට කඩල පිටිවලට, කස්තුරි කහ ටිකක් දාලා, එකට මී පැණි ටිකක් දාලා කවලම් කරලා මූණේ ආලේප කරනවා. එම ආලේපනය විනාඩි තිහක් තියන කොට ටිකක් ඝන ස්වභාවයක් ගන්නවා. ඊට පස්සේ හොඳින් හෝඳලා හේදුවාම මුහුණට හරිම නැවුම් බවක්, දීප්තියක් ලැබෙනවා. මේ ස්වාභාවික සත්කාරයට මම ගොඩක් කැමතියි. ඒ වගේම ප‍්‍රතිඵලදායකයි. තව ඉඳහිට අලිගැටපේර මදයට යෝගට්, මී පැණි කවලම් කරලත් මුහුණේ ආලේප කරනවා.

ඇත්තටම මෙවැනි ස්වභාවික ආලේපන වලින් මුහුණට පමණක් නොවේ මුළු සිරුරටම ලැබෙන්නේ නැවුම් බවක්?

ලස්සන කොණ්ඩයට මොකද කරන්නේ. මම නියැළෙන ක්ෂේත‍්‍රයේ දී කොණ්ඩය නිසා මට ලැබෙන වටිනාකම හරිම ඉහළයි. මට තියෙන්නේ කීකරු කේ‍්‍රල් කොණ්ඩයක්. මම කවදාවත් කොණ්ඩයට කෘත‍්‍රීම දේවල් කරලා නැහැ. මම කොණ්ඩයට ගොඩක් ආදරේයි. ඒ වගේම අම්මත් ගොඩක් ආදරෙයි මගේ කොණ්ඩයට. අම්මා ගෙදරදීම හදපු පොල් තෙල් විශේෂයක් හිසේ ගල්වලා මසාජ් කරනවා. සතියකට දෙතුන් දවසක් නාන්න කලින් තෙල් සාත්තුවක් හිසට දාන එක මගේ පුරුද්දක්. ඒ නිසාම මට උපතින් ලැබුණ ලස්සන වටිනා වරලස ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මසකට වරක් සැලෝන් එකකට ගිහින් ඔයිල් මසාජ් එකක් කරගන්න එකක් මගේ පුරුද්දක්. ඒකෙන් කායිකව වාගේම මානසිකව හොඳ රිලැක්ස් බවක් දැනෙනවා.

 ජීවිතයේ ඔබ ලස්සනයි කියා කියු වචනය වැඩිපුරම අහපු දවස මතකද?

ඔව්. මා රඟපෑ පළමු චිත‍්‍රපටය වන සිරිපැරකුම් සිනමා පටයේ මංගල දර්ශනය දා මා රෝස පාට ඔසරියක් ඇදලා. රතු අරලිය මල් දෙකක් ඔළුව ගහලා සැරසිලා හිටියේ. මගේ හොඳම යාළුවෙක් එදින මා හැඩ ගැන්වුවේ. එදා තරම් මම ලස්සනට හැඩවුණ දවසක් අඳත් නැහැ. එදා ගොඩක් අය මා ළඟට ඇවිත් ඔයා අද ගොඩක් ලස්සනයි කියා ප‍්‍රශංසා කළා.

ඇඟට ලස්සනම ඇඳුම?

ගවුමට හැඩයි කියලා හැමෝම කියනවා.

වඩාත් ලස්සනම පාට, චාම් පාටවල්වලට ගොඩක් ආසයි. විශේෂයෙන්ම සුදු, කහ වගේ පාටවලට ආසයි.

අසුන්තා එදිරිසූරිය
gossip lanka