gossip lanka

"ඇතැම් අය කිව්වා මේක ශ්‍රී ලංකාවේ වැරැද්ද කියලා, නමුත් මම ඒකට ආදරයෙන් උත්තර දුන්නා.." - පාස්කුදා ඛේදවාචකයෙන් සිය බිරිඳ අහිමි වූ ලුවිස් ඇලන් කියන සංවේදී කතාව - (Photos)

ඇමරිකානු ජාතික ලුවිස් ඇලන්, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නේ දැඩි ලෙන්ගතු බවකි. ඔහු හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව වසර 35ක් දක්වා ඈතට දිව යන්නකි.

මැණික් ව්‍යාපාරයේ යෙදෙන ඔහු සාමාන්‍යයෙන් මසකට දෙකකට වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. ශ්‍රී ලංකාවේ ඔහුට මිතුරන් රැසකි.


තම ජීවිතය ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාව දුන් දායකත්වයට ප්‍රතිඋපාකරයක් ලෙස ඔහු රත්නපුර රෝහලේ ළමා රෝහල් සංකීර්ණය ඉදිකිරීමට අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික මිතුරන්ගේ ද සහය ඇතිවය.

2017 වසරේ රෝහල් සංකීර්ණය විවෘත කළ අවස්ථාවේදී ඔහු කළ සේවය අගයා සම්මානයක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණි.

පසුගිය අප්‍රේල් මාසයේදී නිවාඩුවකට සහ රෝහල් සංකීර්ණයේ ඉදිරි වැඩකටයුතු සිදුකිරීම ගැන සොයා බැලීමට ලුවිස් ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය නෙදර්ලන්ත ජාතික බිරිඳ සහ පුතුන් තිදෙනා සමගය.

අප්‍රේල් 20 වෙනිදා රන්තපුර රෝහලට ගොස් තම දායකත්වයෙන් ඉදි වූ ගොඩනැගිල්ලේ තෙවැනි මහල ඉදිකිරීමට ලුවිස් ඇලන් පොරොන්දු වී ඇත්තේ සිය බිරිඳ මොනිකාගේ ඉල්ලීම මතය.

"ඇය ගොඩක් සතුටු වුණා. ඒ තුන්වෙනි තට්ටුවත් ඉදිකරලා දෙන්න මම ඉදිරිපත් වුණාම. එදා කොළඹ එනකම් ඒක ගැන තමයි ඇය කතා කළේ" ලුවිස් ඇලන් මතකය ආවර්ජනය කළේ එලෙසය.

"අපේ දුක කියන්න වචන මදි"

අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ප්‍රහාරයට මොනිකා ඇලන් බිලි වූයේ සිය පුතකු සමග කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හොටයේදී උදෑසන අහාර ගනිමින් සිටියදීය.

ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රත්නපුර පදිංචි, ලුවිස් ඇලන්ගේ මිත්‍රයකුගේ නිවසේදීය.

"එක තප්පරයකින් මගේ ජිවිතේ සියලු දේ වෙනස් වුනා. දරාගන්න පහසු දෙයක් නෙවෙයි, හැබැයි මේ වගේ දේවල් ජීවිතේදී වෙනවා. අපි ඉදිරියට යන්න ඕනේ මේක අත්දැකීමක් කරගෙන. මම දැන් දරුවන් තුන්දෙනාත් සමග සුභවාදිව ජිවිතේට මුහුණ දෙනවා" ලුවිස් ඇලන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ලුවිස් ඇලන් බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ මේ දිනවල කොළඹ පැවැත්වෙන 'ෆැසට්ස් ශ්‍රී ලංකා - 2019' ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙනි.

තම ව්‍යපාරික මිතුරන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනයට සහභාගිවීම සඳහා ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද සිය පුත්‍රයකු ද සමගය.

"සාමාන්‍යයෙන් සෑම මසකට - දෙකකට වරක් ලංකාවට එනවා. නමුත් මේ පාර ටික කාලයකට ගෙදර හිටියා පවුලේ අය බලාගන්න ඕනේ නිසා. ශ්‍රී ලංකාවට නැවත එන්න ලැබීම සතුටක්. නමුත් පොඩි චකිතයක් තිබුණා, මොකද මට හිතුණා ශ්‍රී ලංකාව යම් අර්බුදකාරී තැනක තියෙන්නේ කියල"

"නමුත් මම ගුවන්තොටුපලෙන් එළියට ඇවිල්ලා පාරේ තියෙන වාහන තදබදය, මිනිස්සු වැඩකරනවා දැක්කා. ජිවිත ඉදිරියට යනවා සුභාවදිව" ලුවිස් ඇලන් කියා සිටියේය.

"මගේ බිරිඳගේ වියෝවෙන් පස්සේ ඇතැම් අය කිව්වා මේක ශ්‍රී ලංකාවේ වැරැද්ද කියලා. ලොකු තරහක් හා වෛරයක් ඔවුන් තුළ තිබුණා. නමුත් මම ඒකට ආදරයෙන් උත්තර දුන්නා. අද ලෝකෙට අවශ්‍ය ආදරය. ලෝකයේ ඇති තරම් තරහව සහ වෛරය තියෙනවා. ඒ නිසයි මේ වගේ දේවල් වෙන්නේ."

"මේක කරපු අයගේ ජීවිතවලටත් වැඩි ආදරයක් ලැබිල තිබ්බ නම්, ඔවුන් ගැන හොයා බලන්න කවුරුහරි ඉඳල තිබ්බ නම් ඔවුන් මේ දේවල් නොකරන්න තිබ්බා" ඔහු සිය ආදරණීය බිරිඳ ඝාතනය කළ සැහැසිකයන් ගැන පළ කළේ එවැනි අදහසකි.

'ෆැසට්ස් ශ්‍රී ලංකා - 2019' ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ඇති ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන්ගේ කුටිවලට ලුවිස් ඇලන් ලෙන්ගතුව ගොඩවූයේ බොහෝවිට එහි අයිතිකරුවන් නමින්ම අමතමිනි. ඔවුන් හා ඔහු අතර ඇති මිතුදම එයින් මනාවට දිස්විය.

"ශ්‍රී ලංකාව කියන්නේ මට විශේෂ රටක්. ජනතාව හරි ආදරණීයයි, කරුණාවන්තයි සහ ත්‍යාගශීලී. මම පසුගිය අවුරුදු 35ක් තිස්සේ මේ රටට එනවා. ජනතාව හරි එකමුතුයි. විවිධ භාෂා, ආගම් තියෙනවා. නමුත් අවසානයේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. එකම රටක සහෝදරයෝ" ඔහු පවසයි.

"මට මෙහෙ සිංහල, මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා, ඔවුන් සහයෝගයෙන් කටයුතු කරනවා. අපි එකට විනෝද වෙනවා, කෑම ගන්නවා, එකට ව්‍යාපාර කටයුතු කරනවා එකේ කිසි වෙනසක් නැහැ" ලුවිස් ඇලන් සඳහන් කළේය.

සිය බිරිඳගේ අවසන් කැමැත්ත යථාර්තයක් බවට පත් කිරීම සඳහා ලුවිස් ඇලන් රත්නපුර ළමා රෝහල් සංකීර්ණයේ තුන්වැනි මහලේ වැඩකටයුතු අවසන් කිරීමට දැනටමත් කටයුතු යොදා තිබේ. තම ඒ ඔහුගේ මිතුරන්ගේ ද සහාය ඇතිවය.

"එතන ළමා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන හදිසි ප්‍රතිකාර වාට්ටුවක් ඉදිවෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ බිරිඳට කරන ගෞරවයක් ලෙස එය මොනිකා ඇලන් වාට්ටුව ලෙස නම් කරන්න" ඔහු කියා සිටියේය.

"හැමදේම වෙන්නේ යම් හේතුවක් උඩ. මම හිතනවා මේ දේවල් එක්ක ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව එකමුතුව නැගී සිටීවි කියලා."

"මොකද ආලෝකය, සෑම විටම අඳුර පරදා ජය ගන්නවා" යනුවෙන් පවසමින් ලුවිස් ඇලන් සිනහවකින් සිය කතාබහ අවසන් කළේය.

උපුටා ගැනීම: BBC සිංහල
gossip lanka