gossip lanka

''සජිත් තමයි අපේක්ෂකයා - ජනාධිපති වුනාම පළමු මාස හය ඇතුළත ජාතික ගැටලුවට විසඳුම් දෙනවා"- වව්නියාවේදී කල රහස් සාකච්ඡාව ගැන සේනාධිරාජා ගෙන් විශේෂ හෙළිදරව්වක්

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් පළමු මාස හයක කාලයක ඇතුළත ජාතික ගැටලුවට විසඳුම් ලබාදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ පවසා තිබේ.
මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ එම සාකච්ඡාව නිල සාකච්ඡාවක් නොවන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවැසූ බවත් ජාතික ගැටලුව විස¼දන්නේ නම් අනිවාර්යයෙන්ම ජනාධිපති ධුරයට පත්ව මාස හයක කාලය ඇතුළත එම ගැටලුව විසඳීමට උත්සාහ දැරිය යුතු බවත් අමාත්‍යවරයා තමන් හමුවේ ප්‍රකාශ කළ බවද සේනාධිරාජා මහතා සඳහන් කළේය. දෙමළ ජනතාවගේ ඉල්ලීම ෆෙඩරල් විසඳුමක් බවත් එහෙත් වචනවල එල්ලී සිටීමේ අවශ්‍යතාවක් නැති බවත් ව්‍යවස්ථාවේ අභ්‍යන්තර සංශෝධන මඟින් බලය බෙදා හැරීම සිදුකළ හැකි බවත් ලෝකයේ බොහෝ රටවල එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාත්මක වන බවත් මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස මහතා හමුවේ පෙන්වා දුන් බවත් සේනාධිරාජා මහතා පැවැසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවගේ දැඩි විරෝධයක් තිබෙන බැවින් බහුතර ජනතාවගේ විරෝධය නොතකා එවැන්නක් කළ නොහැකි බවයි. දෙමළ ජනතාව ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අරගල කර ඇති බවත් ඊට වෙනස් කිසිදු විසඳුමක් භාර ගැනීමට දෙමළ ජනතාව අකැමැති වනු ඇති බවත් වචනවල රැඳී නොසිට සිංහල ජනතාවගේද කැමැත්ත සහිතව අර්ථාන්විතව ව්‍යවස්ථා සංශෝධන සිදුකළ හැකි බවත් මෙහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස මහතා හමුවේ කියා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් නොදැන තමන්ට කිසිදු තීරණයක් දැනුම්දිය නොහැකි යැයිද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස මහතා හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලක්ෂ්මි ජයකොඩි
මව්බිම
gossip lanka