gossip lanka

"මම ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. මම වින්ද දුක මම දන්නවා" - රංගන ක්ෂේත්‍රයට පැමිණි හැටි ගැන සංගීත් ප්‍රභූ හෙළිකරයි

විකට චරිත හරහා තමයි මාව බොහෝ දෙනෙකු හඳුනා ගත්තේ. "හුස්මක් තරමට" කියන ටෙලිනාට්‍යය තුළින් වෙන හැඩහුරුකමක් මගේ චරිතයට ලැබුණා.


සංගීත් ටෙලිනාට්‍ය මාධ්‍ය සඳහා වැඩි ඉඩක් වෙන් කර ඇති බවක් තමයි අපි දකින්නේ?

අපි ලොකු මිනිස්සු නෙමෙයි. ලොකු රංගන ශිල්පීන් නෙමෙයි. අනිත් ශිල්පීන්ගේ ෂෙඩුල් හැදුණට පස්සේ තමයි අපේ ෂෙඩුල් එක හැදෙන්නේ. නාට්‍ය දෙකකට දායක වන විට තවත් කාර්යයකට කාලය යොමු කිරීමට අපහසු වෙනවා. මේ වෙද්දි වේදිකා නාට්‍යයක් ලැබිලා තිබෙනවා. නමුත් කාලය තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

වෘත්තිමය ලෙස මේ කටයුත්ත සිදුකිරීම අභියෝගාත්මක නැද්ද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් පමණ වෙනවා. අපි කැලේ පිපෙන බිම්මල් වගේ. එක පාර පිපෙනවා. කොයිවෙලාවේ කවුරුහරි කඩලා දායිද පොඩිකරලා දායිද දන්නේ නෑ..

රංගන ශිල්පියෙක් ලෙස ඔබට ඔබ ගැන විශ්වාසයක් නැද්ද?

අපි අද මෙහෙම වැඩ කරන්නේ අපේ සීනියර් ආර්ටිස්ලා මෙතන ඉඳලා ගිය නිසා. අපි මේ තත්ත්වයේ ඉඳලා ඊළග පියවරට යද්දි අපේ පසුපසින් එන පිරිසක් ඉන්නවා. මේක පඩිපෙළක් වගේ. පියවරෙන් පියවර ඉස්සරහට යනවා. කොයි වෙලාවක ලිස්සලා යයිද දන්නේ නැහැ. ඒත් කරපු නිර්මාණත් එක්ක බලද්දි සතුටුයි. දුකක් වෙන්න දෙයක් නෑ.

අවුරුදු පහක කාලයක් තුළ මේ ආපු ගමනේ තිබුණ අභියෝග ගැන කතා කළොත්?

මට කිසිම දෙයක් තිබුණේ නැහැ. මම කොළඹ එන්නේ නළුවෙක් වෙන්න. නාට්‍ය ගැන මම හැදෑරුවා. රවීන්ද්‍ර විජේරත්නයි, තරංග දිසානායකගෙයි වර්ක් ෂොප් එකක් තුළින් තමයි මට ක්ෂේත්‍රයට යොමුවෙන්න පුළුවන් වුණේ. එක් නිර්මාණයකට දායක වී මාස හයක පමණ කාලයක් වැඩ නැතුව හිටියා. දුෂ්කර අවස්ථා ගොඩක් තිබුණා.ඒත් නිර්මාණවලට දායක වීම තුළ මැණිකක් සේ ඔප මට්ටම් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

සංගීත්ගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

මගේ අම්මා සංගීත ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. නිළියක් වෙන්න ගොඩක්ම ආස කළේ මගේ අම්මා. ඇය මාලතී ලතා කුරේරා. වසර ගණනක් අම්මාගේ ආසාව තමයි මම ඉෂ්ට කරමින් ඉන්නේ. අම්මා ආසම නළුවා තමයි ප්‍රභූ දේවා කියන්නේ. මගේ නම පවා අම්මා දැම්මේ ඒ නිසා. අද මම මේ ක්ෂේත්‍රයේ තැනක ඉන්නවා නම් ඉන්නේ ඇය නිසා. ඇය මම ගැන සතුටු වෙනවා. මට ඒ ගැන සතුටුයි.

රංගන ජිවිතය තුළ ඔබගේ ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?

මම ඉපදුණේ බදුල්ලේ ලුණුගල කියන ගමේ. පසුව පාසල් කාලය ගත කළේ අනුරාධපුරේ. එහිදිත් බොහෝ දේවල් ඉගෙන ගත්තේ යූටියුබ් එකෙන්. මම අභිරූපණ රංගනය ගැන හොඳින්ම ඉගෙන ගත්තා. මම එය ඉතා අසීරුවෙන් ඉගෙන ගත්තේ. මගේ අම්මා අරන් දුන්නු පොඩි පරිගණකයක් තිබුණා. මගේ යාළුවෙක්ගෙන් ඩොංගල් එකක් ඉල්ලගෙන 49 ඩේටා කාඩ් එකක් දාලා තමයි මම යූටියුබ් එකේ වීඩියෝ බැලුවේ. විනාඩියක්වත් බලන්න බෑ ඩේටා ඉවරයි. ඒ බලන බැල්ම විතරයි. එහෙම අපහසුවෙන් තමයි යූටියුබ් බලන්න පුළුවන් වුණේ. පසුව වැඩමුළුවලින් මම බොහෝ දේ ඉගෙන ගත්තා. වචනයෙන් කියන්න පුළුවන් බොහෝ දේවල් රංගනය තුළින් කියන්න පුළුවන් තත්ත්වයක් තවම ලංකාවේ බිහි වී නැහැ. මේ ගැන හොඳට ඉගෙනගෙන ලංකාවේ ගමකට ගිහින් වර්ක් ෂොප් එකක් කරන එක තමයි මගේ අවසාන බලාපොරොත්තුව. මම ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. මම වින්ද දුක මම දන්නවා. අපි එකමුතුවෙන් වැඩ කළ යුතුයි. අද සමහර නවකයන් ප්‍රවීණ ආටිස්ලට ගරු නොකරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එහෙම වෙන්න හොඳ නෑ කියලා මම හිතනවා. අපි තමයි ඊළඟ පරපුර. අපේ නංගිලා මල්ලිලාටත් මේ තුළ හොඳ තැනක් හදන්න නම් අපිත් හොඳට ඉන්න ඕන.

නිදුක් මදුෂික
gossip lanka