gossip lanka

ලංකාවේ වැඩිම මිනිසුන් ගණනක් මරා දැමූ සිත්තාරු පාරේ පයින් ගමනක්... මියගියවුන් ඇඳ සිටි ඇඳුම්වල කොටස් තවමත් ගස් මුදුන්වල

පහත දැක්වෙන සිදුවීම සිදු වූයේ 1987 වසරේදීය. සේරුවිල ප‍්‍රදේශයේ කොටි ත‍්‍රස්ත භීතිය උපරිම වශයෙන් පැවති එම කාලය වනවිට සේරුවිල - කන්තලේ මාර්ගයේදී බස් රථ, ලොරි රථ, ට‍්‍රක් රථ හා ජීප් රථ ඇතුළත් මගීන් සහිත රථ 12 ක් කොටි ත‍්‍රස්තවාදීන් විසින් සිත්තාරු කැලෑ ප‍්‍රදේශයේදී බිම් බෝම්බ මගින් පුපුරුවා හැර තිබිණි. ඒ අනුව එම මාර්ගයේදී මියගිය අහිංසක මිනිසුන් ගණන 600 කට ආසන්නය.

 කැබිතිගොල්ලෑවේදී කොටි ත‍්‍රස්තයන් පහරදී මිනිස් ජීවිත හානි කළ මගී බස් රථය පිළිබඳ එකල රටේ මහත් ප‍්‍රසිද්ධියට පත් වුවද සේරුවිල - කන්තලේ මාර්ගයේදී සිදු කළ මගී බස් රථ ඇතුළු වාහන පිපිරවීම් ගණන හා එයින් මියගිය මිනිසුන්ගේ ගණන එකලවත් මෙකලවත් නිවැරදිව ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් වූයේ නැත. සේරුවිල ගම්වල ජීවත් වූ අහිංසක ජනනයාට එදා සිදු වූ විසල් විනාශයේ නියම බර සේරුවිල මහවැලි පාලමෙන් ඔබ්බට පැමිණියේ නැත. එපමණක් නොව එකී ජීවිත, දේපළ විනාශයට සෘජුවම වගකිව යුතු එකල පැවති ආණ්ඩුව ඒ සිදුවීම් ජනමාධ්‍යයට වසන් කළා පමණක් නොව ඒ දේපළ ජීවිත හානි වෙනුවෙන් මේ දක්වාම සතයක හෝ වන්දියක් ද ලබා දීමට කටයුතු කර නැති වීම ඛේදයකි.

 මේ කියන සිදුවීමට මා මුහුණ දුන් එම කාලයේ මහවැලිගම ග‍්‍රාම නිලධාරි විලියම් පෙරේරා ඇතුළු කීප දෙනෙකු ඔවුන් ගමන් කළ සේරුවිල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථය පුපුරුවා හැර මරා දමා තිබීම නිසා සේරුවිල - කන්තලේ මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා තිබිණි. එම මාර්ගයේ කල්ලාර් හන්දියේ සිට මහවැලි පාලම දක්වා සැතපුම් හතක් පමණ වූ සිත්තාරු ප‍්‍රදේශය ඝන වනයෙන් වැසී තිබුණු නිසා ත‍්‍රස්තවාදීන්ට තම කි‍්‍රයාකාරකම් කැමැති ලෙස කළ හැකි වී තිබිණි. ඉහතින් සඳහන් කළ සියලූ මගී වාහන කොටි ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද්දේ ද සිත්තාරු ප‍්‍රදේශයේදීය.

ජනතාව සේරුවිල ගම්මානවල පදිංචිව සිටිය ද බොහෝ අවශ්‍යතා සඳහා කන්තලේ නගරයට පැමිණිය යුතුම විය. විශේෂයෙන් අසනීපයකට බෙහෙත් ටිකක් ගැනීමට එකල සේරුවිල ප‍්‍රදේශය තුළ රෝහලක් හෝ බෙහෙත් ශාලාවක් නොවීය. සේරුවිල සිට සැතපුම් 12 ක් පමණ මඟ ගෙවා මුතුර්වලට යා හැකි නමුදු එම මාර්ගය ද්‍රවිඩ ජනයා වෙසෙන ගම්මාන හරහා වැටී ඇති නිසා අනාරක්ෂිත විය.

 කල්ලාර් සිට මහවැලි පාලම දක්වා වූ සිත්තාරු වන ප‍්‍රදේශය කොටි නිතර ගැවසුණු දඩබිම වූවා පමණක්ම නොව එම ප‍්‍රදේශය උතුරු නැගෙනහිර යා කරන කොටි ගමනාගමනය සිදු වූ මාර්ගය ද විය. එසේම අංගොඩවිල්ලූ නම් ප‍්‍රසිද්ධ කොටි ත‍්‍රස්ත කඳවුර පිහිටා තිබුණේ ද මෙම සිත්තාරු ප‍්‍රදේශයට ආසන්නව බව වාර්තා වී තිබිණි.

 මහවැලිගම ග‍්‍රාම නිලධාරිවරයා ඇතුළු පිරිස ගමන් ගත් රථය සිත්තාරුවේදී පුපුරුවා හැරීමෙන් පසු මාර්ගය අනාරක්ෂිත නිසා අතහැර දැමීමෙන් පසු සේරුවිල ජනතාවට කන්තලේ නගරයට යෑමට එකල තිබූ එකම ගොඩ බිම් මාර්ගය අහිමි විය. සාමාන්‍යයෙන් මෙම මාර්ගයේදී වාහනයක් පුපුරුවා හැරීමෙන් පසු මාර්ගය වැසී යෑම එකල නිතර සිදුවෙයි. එකල මීගස්ගොඩැල්ල හෝ සිත්තාරු හමුදා කඳවුරු එම මාර්ගයේ පිහිටුවා නොතිබිණි. කන්තලේ යෑම සඳහා මේ දිනවල කල්ලාර් හන්දියට රැුස්ව සිටින ගම්වැසියන් (සිංහල) කුමක් හෝ වාහනයක් එතැයි සිතා සවස් වන තුරුම රැුඳී සිට අවසානයේ ආපසු නිවෙස් බලා හැරී යති.

 පුපුරුවා හැරීම සිදුවී දින හතරක් පමණ ගත වූ පසු මට ද හදිසියේ කන්තලේ යෑමට අවැසි විය. මේ ගමන සඳහා මගේ සොහොයුරු ආරියරත්න ජයලත් ද එක්ව සිටියේය. එදින කන්තලේ බලා යෑමට කල්ලාර් හන්දියට රැුස්ව සිටි පිරිස පනහකට අධික විය. කන්තලේ බලා ගමන් කරන ආරක්ෂක හමුදා වාහනයක් හෝ පැමිණෙනු ඇතැයි පිරිස අපේක්ෂා කළ ද දහවල් වන තුරුම එවැන්නක් නොපැමිණියේය. ඒ දින වනවිට සිත්තාරු මාර්ගයේ සිදු වූ බිහිසුණු මිනිස් ඝාතන පිළිබඳව කල්පනා කරන විට කෙනෙකු පයින් ගමන් කිරීමට සිතීම පවා බියජනක විය. සැතපුම් හතක් පමණ වූ ඝන කැලෑව තුළ කොටි හොස්ස අස්සෙන් ගමන් කිරීම මරුවාට අත වැනීමක් නොව මරුවාගේ කටට පැනීමක් විය. කොටින් විසින් මිනිසුන් මරා දමා තිබුණු ම්ලේච්ඡු බියකරු විලාස හැම කෙනෙක්ම අසා දැක තිබුණේය. කිසිවෙක් නැති නිදහස් සිත්තාරු පාරේ මේ වනවිටත් කොටි මුඛ්‍ය අයා ගොදුරු ගැනීමට බලා සිටිනවා විය යුතුය.

 කෙසේ වුවද මේ ගමන මා විසින් යා යුතුම විය. එකල මරණය නුදුරුව පෙනී පෙනි බොහෝ පොදු කටයුතු මවිසින් සිදුකර තිබූ බැවින් මේ අභියෝගය ද ජය ගත හැකි යැයි මා තුළ විසල් විශ්වාසයක් තිබිණ. මෙතැන රැුස්වී සිටින බොහෝ දෙනකු තමන්ගේ ගම් අසල කැලෑවල රිංගා දඩයමේ යෙදෙන්නෝය. එසේත් නැති නම් ගම්වල දඩබ්බරකම් කරන්නෝය. එහෙත් මෙමඟ පයින් ගමන් කරන්නට නම් නිර්භය නොවන්නෝය. ඒ බිය කොටියාට හෝ මරණයට නොව වධ වේදනා සහිත ම්ලේච්ඡු ආකාරයේ බිහිසුණු මරණයකට ඇති බියය.

 මෙමගින් යෑමට පැමිණෙන වාහනයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි නිසා පයින් යෑමට කැමැති වන්නේ දැයි පිරිසගෙන් විමසුවෙමි. නිහඬතාවයෙන් පෙනී ගියේ වධ විඳ මැරෙන්නට කිසිවෙක් කැමැති නැති බවයි. ‘‘මා පිරිසට ඉදිරියෙන් ඈතින් ගමන් කරන්නේ නම් මට පිටුපසින් ඒමට’’ ඔවුන් කැමැති දැයි නැවත ඔවුන්ගෙන් විමසුවෙමි. ඒ යෝජනාවට නම් අකැමැත්තක් නැති බව ඔවුන්ගේ මුහුණුවලින් ප‍්‍රකාශ විය. මන්ද, එසේ ගිය විට පළමුව යමක් සිදුවිය හැක්කේ මට හෙයින් කොටි විසින් මා අල්ලා ගත් පසු රිසි ලෙස පණ බේරාගෙන දුවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන බැවිනි. පනහක් පමණ වූ පිරිස බඩු මලූ ද අතින් හිසින් ගෙන දැන් මාරයාගේ මුව අසලින් යෑමට සූදානම්ව සිටියෝය. පිරිසේ විශේෂත්වය වූයේ කාන්තාවන් හෝ ළමයින් නොසිටීමය. ඒ අතර කීප දෙනකු ගමනට අකමැත්ත ප‍්‍රකාශ කර නැවත නිවෙස්වලට හැරී ගියෝය. අනෙක් පිරිස සරම් ආදිය කැසපට ගසාගෙන ගමනට සූදානම් වූවෝය.

 කල්ලාර් හන්දියේ සිට සිරිමංගලපුර අවසන් නිවෙස් කිහිපය පසුකොට සැතපුමක් පමණ ගිය විට සිත්තාරු කෑල ප‍්‍රදේශය ආරම්භ වෙයි. මට පිටුපසින් මීටර් සියයක් පමණ දුරින් එන ලෙස මම ඔවුන්ට කීවෙමි. කැලෑව ආරම්භ වෙත්ම පිරිස පෙරට එන වේගය ක‍්‍රමයෙන් අඩු වෙයි. කතාබහ නතර වී ඇත. ගමන ආරම්භ කළ උද්යෝගය දැන් දකින්නට නැති සේය. ඈත ඉද්ද ගැසුවාක් සේ කෙලින් දිවෙන ගුරු පාර දෙපස ඝන කැලෑවෙහි කොටි නවීන ස්වයංකී‍්‍රය ගිනි අවි අමෝරාගෙන සයනයිඞ් කරල් බෙල්ලේ එල්ලා ගෙන සිංහල ගොදුරු ගිල ගැනීමට බලා සිටිති. කාවන්තිස්සපුර විලියම් මහතා ද මේ අතර සිටි බව මට මතකය. අනෙක් පිරිස නීලපොල සහ දෙහිවත්ත ගම්වාසීන් විය.

 කැලෑවට සමීපවෙත්ම ඝාතන අඩවිය ළං වෙත්ම මගේ සිතේ ද ගැස්ම වැඩි වෙනු මට දැනෙයි. මේ දෙපස කොතැනින් කුමන මොහොතකදී හෝ සිත් පිත් රහිත කොටියා මතු විය හැකිය. එසේ වුවහොත් පිරිසට පණ බේරා ගැනීමට ඉඩ ලබාදී මම මිය යමි. අතට අල්ලා ගැනීමට අවකාශ නොදීමට සිතා සිටිමි. එහෙත් කුමක් කෙසේ වේදැයි කාටද කිව හැක්කේ. මේ මොහොතේ එළැඹිය හැකි මරණය කොතරම් වේදනා සහගත වුවද එක් අතකට මේ ආකාරයෙන් කෲර ලෙස ගම්වැසියන්, දරුවන් මැරෙනු බලා සිටීමට වඩා එය යහපත් මරණයක් වනු ඇතැයි ද මම කල්පනා කළෙමි.

 බියකරු සිත්තාරු වන මාර්ගයේ සැතපුම් දෙකක් පමණ මේ වනවිට ගමන් කර ඇත්තෙමු. වඩා බියකරු පෙදෙස  ඇත්තේ ඉදිරිපසින්ය. මා පසුපස හැරි බලන විට පිරිස මට පිටුපසින් මීටර් සියයකට වැඩිදුරකින් එකිනෙකා ඈත්ව නිහඬව එනු දුටුවෙමි. ඒ යුගයේදී ගම්වල ඔවුන්ගේ නිවෙස්වල ද නිසි ආරක්ෂාවක් පැවතියේ නැත. දැන් මේ ගමනේදී ද ඔවුන් රැුක ගන්නට කිසිවෙකුත් නැත. මම මට වඩා ඔවුන්ගේ දිවි ගැන සිතා කම්පාවට පත් වූයෙමි.

 මෙතෙක් මේ මාර්ගයේදී මරා දැමූ සිය ගණනකගේ මළ සිරුරු සහ සිරුරු කොටස් අප විසින් එකතු කොට තිබූ වාර ගණන බොහෝ විය. එසේ බිම් බෝම්බවලට හසුව සුනු විසුණු වී ගිය බස් රථයක හෝ ලොරි රථයක සුන්බුන් මාර්ගයේ දෙපස තැන තැන දකින්නට ඇත. එහිදී මියගිය වුන් ඇඳ සිටි ඇඳුම්වල කොටස් තවමත් ගස් මුදුන්වල රැඳී සුළඟට සෙලවෙයි. ස්ථාන කීපයක පාර පුරා පැතිරුනු වළවල්ය. බිම් බෝම්බවලින් හෑරි ගිය විශාල ආවාට පස් දමා සම්පූර්ණයෙන්ම පුරවා නැත. මෙහිදී මරා දමන ලද හමුදා සෙබළුන්ගේ සහ ගම්වැසියන්ගේ සංඛ්‍යාව කොපමණද යත් ලංකාවේ වැඩිම මිනිසුන් ගණනක් මරා දැමූ මාර්ගය වශයෙන් මෙය ඉතිහාසයට එක්ව පවතී.

 මේ අතර ඉදිරිපස මාර්ගයේ එක් පසකින් ගිනි අවි රැුගත් කොටි ඇඳුමින් සැරසුණු කීප දෙනකු මාර්ගය වෙත කඩා පනී. භීතියෙන් දෑස් හොඳින් පිස දමා බලත්ම එය දෘෂ්ටි මායාවක් බව වැටහෙයි. මාරයාගේ මුව අසලදී එවැනි මායා මැවී පෙනිය හැකි බව මා වටහා ගත්තේ එකී ගමනේදීය.

 මේ සමඟ මා පසුපසින් කිසිවෙකු දුව එන බව ඇසී පසුපස බලන විට මගේ සොහොයුරා දුටුවෙමි. ‘‘අයියා මේ විදියට තනියට ඉස්සරහින් යද්දී මං කොහොමද පස්සෙන් එන්නේ? වෙන දෙයක් අපි දෙන්නටමනෙ. මාත් එන්නම් අයියත් එක්ක.’’ ඔහු මා සමඟ ගමනට එක් වෙමින් කීවේය. ජීවිතය සහ මරණය අතර කුඩා ඉඩකදී ඔහු එදා විදහා පෑ සහෝදරත්වය මට කිසි කලෙක අමතක නොවෙයි. මගෙන් ඈත්ව අන් අය සමඟ දුරින් එන්නැයි මා කළ ඉල්ලීමට ඔහු එකඟ වූයේ නැත.

 හදිසියේම තවත් කිසිවකු පාරට පනියි. ඒ නම් කොටියාම තමා හිත විදුලි වේගයෙන් කියයි. එහෙත් ඒ දිගු පිල් කළඹ ඔසවා ගත් මොනරෙකි. එසේත් නැති නම් වලිගය ඔසවා ගත් වඳුරෙකි. කොටි හදිසියේ පැන අපට වෙඩි තැබුවහොත් අපේ මළ සිරුරු ගෙන යන්නට පවා කිසිවෙකු නොඑනු ඇත.

 කෙසේ වුවද හදවතේ කොනක එක්තරා තදබල විශ්වාසයක් ද ඇත්තේය. ‘‘නෑ අද කොටින්ට අහුවෙන්නෙ නෑ’’ යි ඒ විශ්වාසය හිතට කොඳුරයි. එහෙත් සිත්තාරු දඩබිම පසු කර මහවැලි පාලම මතට පය තබන තුරු හෙටක් ගැන නොසිතන්නට කල්පනා කළෙමි.

 දැන් අප ළඟා වෙමින් සිටියේ ඊයේ පෙරේදා තවත් කීප දෙනකු සමඟ මරා දැමූ හිතවත් ග‍්‍රාම නිලධාරි විලියම් පෙරේරා ගමන් ගත් කැබ් රිය පුපුරුවා දැමූ ස්ථානය වෙතයි. එදා උදෑසන ඔවුන් කන්තලේ යන විට ඌරකු ද වෙඩි තබා මරා වාහනයේ ගෙන ගිය බව ඇසීමි. වාහනය පිපිරවූ විසල් වළ තවමත් වසා දමා නැත. ඒ අසල පසෙකින් වැටී සිටි මළ ඌරාගේ සිරුර ඉදිමී දුගඳ හමයි. අවට තැන තැන වාහනයේ සුන්බුන් විසිරී ඇත. ඇඳුම්වල කොටස් තැන තැන දැකගත හැකිය. ඒ සමඟ අසල ඇති කුඹුක් ගසේ ඉහළ අත්තක මිනිස් පාදයක් රැුඳී ඇත. එය ග‍්‍රාම නිලධාරිවරයාගේ විය හැකිය. ඔහුගේ සිරුරෙන් හමුවී තිබුණේ සුළු කොටසක් පමණි.

 දැන් අපි සිටින්නේ කොටියාගේ හොස්ස උඩමය. එනම් සිත්තාරු වංගුව අසලය. කරත්තවලින් හෝ පාගමනින් කොටින් එහා මෙහා යන මාර්ගය වැටී ඇත්තේ ද මෙම ස්ථානය හරහාය. මේ මාරක ස්ථානය පසු කර තව සැතපුමක් පමණ දුරට ගමන් කළහොත් තවදුරටත් ජීවත් වීමේ භාග්‍යය අප සතු වෙයි. මන්ද එවිට මහවැලි ගඟ හරහා වැටී ඇති පාලම හමුවෙන බැවිනි.

 මේ අතර පිටුපසින් කලබලයක් ඇසෙයි. සැතපුමක් පමණ දුරක් දක්වා විසිරී එකිනෙකාගෙන් ඈත්ව පසුපසින් ආ මිනිස් පේළිය මහත් කලබලයෙන් ඉදිරියට දුව එයි. පසුපසින් කොටි පන්නා ගෙන එන්නේද? එහෙත් පන්නා ගෙන ආ යුත්තේ කුමක් නිසාද? කොටි පාරට ආව එක් අයකු හති දමමින් කීවේය. බිය පත්ව සිටි ඔහුගේ මුවින් වචන පිට වූයේ ආයාසයෙනි.

 මාර්ගයේ ඈත දෙස බැලූව ද කිසිදු මිනිසෙකු දකින්නට නැත. එහෙත් ඔහු නම් කීවේ කොටි දෙදෙනකු මාර්ගයට පැමිණි බවයි. කෙසේ වුවද මෙම පුවතින් කලබල වූ පිරිස හැකි උපරිම වේගයෙන් කන්තලේ දෙසට ගමන් කළේය.

 කෙසේ වුවද එදින අප සියලූ දෙනා කොටි ත‍්‍රස්තයන්ගෙන් බේරුණු බව සත්‍යයකි. එසේ බේරුණත් මාරයාගේ මුව අසලින් අනාරක්ෂිතව ගිය ඒ ගමන මට කිසි දිනෙකත් අමතක නොවෙයි. ඕනෑම දුෂ්කර හෝ බියකරු අත්දැකීමකින් ඉතිරි වන්නේ ඒ පිළිබඳ අත්දැකීම සහ අවබෝධය පමණෙකැයි ද ඒවා සෘජු වර්ගයේ ආත්ම පරීක්ෂණයන් ද වන්නේ යැයි මම සිතමි.

 ඉබ්බාගමුවේ විමලසේන ජයලත්
gossip lanka