gossip lanka

හිරකාරයන්ට මාරක මාරු... නිලධාරීන්ට මරණ වරෙන්තු... මෙන්න බන්ධනාගාරයේ අලූත්ම සෙල්ලම

මේ වන විට රටේ දේශපාලන කරළියේ සිදුවෙමින් තිබෙන දේ බොහෝය. විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය පාර්ශ්වයෙන් ගත් කල ඒ කතා බහ ඇත්තේ උච්චම තැනිනුත් ටිකක් උඩට ගොසිනි.


සියල්ල අන්තෝජටා බහිජටාය. එකී ඇතුළතත් පිටතත් ඇති ගැටලූවේ ස්වභාවය වන්නේ රනිල්ද, සජිත්ද යන්නය. අද එජාපය මුහුණ දී සිටින ලොකුම ප‍්‍රශ්නය එය වුවද ඒ දෙස සමාජය බලා සිටියදී ඇතැම්හු වෙන වෙන කතාද සමාජගත කරමින් සිටින්නාහ.

එසේ සමාජගත කරනු ලබන ඇතැම් ඒවා කිසිසේත් පිළිගත නොහැකි මරිමෝඩ වැඩය. සමහර ඒවා මුළුමනින්ම අණ්ඩර දෙමළය. (මේ අණ්ඩර දෙමළ යනු ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශ්වල භාෂාව වේ) එහෙයින් සාමාන්‍ය දෙමළවත් නොදන්නා මේ රටේ මිනිසුන්ට මෙකී අණ්ඩර දෙමළ පිළිබඳ කිසිදු වැටහීමක්ද නැත.

මිනිස්සු කෙසේ වෙතත් ඒවා කි‍්‍රයාත්මක කරන දේශපාලනඥයන්ටද කරන්නේ කුමක්ද යන්න පිළිබඳ වැටහීමක් නැත. මේ රටේ ජනාතාවගේ ඡුන්දයෙන් බලයට පැමිණ ජනතාවගේම මුදලින් සිය පංචස්කන්ධයන්ට සුරසැප දෙන අතරේ හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරනු ලබන ඇතැම් කුණුහරුප වැඩවල ඇති බරපතළකමද ඔවුන්ට නොවැටහෙන්නේය.

තලතා අතුකෝරළ යනු අද මේ රටේ අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරිය වන්නීය. එවන් වගකිවයුතු ධුරයක් තමන්ට ලැබී තිබියදීත් සිය සොහොයුරා වූ ගාමිණී අතුකෝරළ මහතාගේ මරණයේ අභිරහසවත් අනාවරණය කරගත නොහැකි වුවද මේ මොහොතේ අපරාධ විශේෂඥවරියක ලෙස හැසිරෙන ඇය කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සහ අනෙකුත් බන්ධනාගාරවල රඳවා සිටින ද`ඩුවම් නියමවූ සිරකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට ගනු ලැබූ තීන්දුව එයට උදාහරණයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද`ඩුවම් නියම වූ කුඩු ජාවාරමුන් එල්ලා මැරිය යුතු බවට පසුගිය කාලයේ රටට කීවේය. කීවා පමණක් නොව, එය කෙසේ හෝ කළ යුතු බවද ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.

එහෙත් ජනාධිපතිවරයා එවන් ස්ථාවරයක සිටියදී එල්ල වූ විදේශීය බලපෑම්වලට අමතරව සිය මජර දේශපාලනය තුළ කිසිදා දෑතේ රුධිරය නොගාගත්තවුන් සේ එයට එරෙහිවූවෝ කවරහුද?

ඔවුහු අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියද නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයෝය. කුඩු ජාවාරම හමුවේ අධිකරණ මගින් මරණීය දණ්ඩනය නියම වූවන් එල්ලා මැරීම මහා පාප කර්මයකැයි ඔවුන් කියද්දී ජනාධිපතිවරයාගේ තීන්දුවට එරෙහිව මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෑමටද එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළේය.

මරණීය දණ්ඩනය හමුවේ එක්සත් ජාතික පක්‍ෂය එසේ හැසිරෙද්දී අද විවිධ බන්ධනාගාරවල සිටි සිරකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීම හමුවේ තලතා අතුකෝරළ ඇමැතිවරිය යටතේ ඇති බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය කියන්නේ කුමක්ද?

අදාළ සිරකරුවන් බන්ධනාගාර තුළ සිටිමින් කුඩු ජාවාරම සහ බරපතළ අපරාධ මෙහෙයවීම නිසා ඔවුන් එසේ මාරු කිරීමට පියවර ගත් බවය. එය වත්මන් ආණ්ඩුව යටතේ ඇති අමාත්‍යංශයක් මගින් සිදු කළ යුගයේ ප‍්‍රකාශයක් ලෙසද පෙන්වා දිය හැකිය.

තලතා අතුකෝරාළ මහත්මිය යටතේ ඇති අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ මේ සිරකරු මාරුවට මුල්වූ අතිරේක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කියන පරිදි වැලිකඩ ඇතුළු කොළඹ බන්ධනාගාරවල සිටියදී මෙසේ බූස්සට මාරු කරන ලද සිරකරුවෝ කුඩු ජාවාරම් කරති. දරුණු අපරාධ මෙහෙයවති. එසේ නම් මේ කියැවෙන්නේ බූස්ස හැර අනෙකුත් බන්ධනාගාර දූෂිත බව නොවේද? එය සැබෑවකි. එහෙත් එයට පොඩි සංශෝධනයක් එක්විය යුතුය.

මහත්වරුනි, බූස්ස හැර සෙසු බන්ධනාගාර නොව මේ රටේ සමස්ත බන්ධනාගාර දූෂිතය. මේ කියන පරිදි බූස්ස බන්ධනාගාරය දූෂිත තැනක් නොවේයැයි හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙස අපි අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මියට අභියෝගයක් ඉදිරිපත් කරන්නෙමු.

අවශ්‍ය නම් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු ලවා ජංගම දුරකථනයක් ඔස්සේම ඇමැතිවරියට ඒ අභියෝගය ඉදිරිපත් කරවීමටද හැකියාව ඇත. ඉතින් තවත් කුමන කතාද?

බූස්ස බන්ධනාගාරයේ පිහිටීම අනුව එය සුරක්‍ෂිත ස්ථානයක් බව සැබෑවකි. එක් පසෙකින් ඇත්තේ යුද හමුදා කඳවුරකි. තවත් පසෙකින් බූස්ස බන්ධනාගාරයට යාව නාවික කඳවුරක් පිහිටා තිබෙන අතර පොලිස් අභ්‍යාස විද්‍යාලයක්ද ඒ සමීපව පිහිටා තිබේ.

ඒ අනුව කෙනෙකු එහි යෑමේදී සිදුවන පරීක්‍ෂා කිරීම්ද බොහෝය. එසේම කොටු තාප්ප තුනකින් වටවූ බන්ධනාගාරයක් ලෙසද එය ප‍්‍රකටය. පසුගිය කාලයේ එල්ටීටීඊ රැඳවියන් එහි රඳවා තැබීමට කටයුතු කරනු ලැබුවේද මෙකී ආරක්‍ෂිත බව නිසාය.

එහෙත් බූස්ස බන්ධනාගාරයේත් රාජකාරි කරන නිලධාරීන් අතරින් ඇතැමුන් ගැන අපි මුකුත් නොකියමු. ඒ කියන්නට දෙයක් නැති නිසාය. ඇමැතිවරිය ඇතුළු බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා මෙහිදී මේ ටිකද සඳහන් කළ යුතුය.

බූස්ස ඇතුළු මේ රටේ සමස්ත බන්ධනාගාර පද්ධතියම වුව ඉතා පිරිසිදු දූෂණයෙන් තොර තැන් බවට පත් කළ හැකි බන්ධනාගාර නිලධාරීහු රැසක්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිති.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී උඩුවර මහතා ඒ අතරින් එක් නිලධාරියකු බව අපට කැත නැතිවම කිව හැකිය. ඔහු වැලිකඩ බන්ධනාගාරයට පැමිණි දිනයේ සිට එය දූෂණයෙන් තොර තැනක් කිරීමට අපමණ වෙහෙසක් දැරූ බවද ප‍්‍රසිද්ධ රහසකි.

එහෙත් දූෂිතයෝ බහුල වීම සියල්ල කඩා වැටීමට හේතු වූහ. එසේ නම් අමාත්‍යංශයක් ලෙස බන්ධනාගාර තුළ සිදුවන දේ නතර කිරීම සඳහා කළයුතු වන්නේ මේ අන්දමට සිරකරුවන් මාරු කරමින් ‘පයබරවායට පිටිකරට’ බෙහෙත් බැන්දාක් වැනි වැඩදැයි අපි අමාත්‍යංශ බලධාරීන්ගෙන් විමසා සිටිමු.

නැත. සිදුවිය යුතුව ඇත්තේ වහාම මේ රටේ බන්ධනාගාර පද්ධතිය පිරිසිදු දූෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමය. තලතා අතුකෝරාළ මහත්මිය මේ රටට වැඩක් කළ දේශපාලන චරිතයක් ලෙස ඉතිහාසයට එක්වීමට නම් සිදුවිය යුත්තේ එවන් සමාජයට රටට වැදගත් අභියෝගාත්මක කාර්යයකට අතගැසීමය.

එසේ නොමැතිව මේ අන්දමට සිරකරුවන් මාරු කර අපි කුඩු ජාවාරමට වැට බ`දින්නේ යැයි කී පලියට ඇමැතිවරියට හුරේ දමන්නට තරම් ප‍්‍රාථමික ජනතාවක් අද මේ රටේ නැත.

හිටි හැටියේම සිදු කළ මේ සිරකරු මාරුව තුළින් ඉතාම භයානක තත්ත්වයක්ද මේ මොහොත වන විට ඉස්මතුවී ඇත.

අප මුලින් කී පරිදි හුදු දේශපාලන ජනපි‍්‍රයත්වය ඇතැම් දේශපාලනඥයන් සිදු කරන කටයුතුවලදී ඔවුන් වටහා නොගන්නේද මෙවන් තත්ත්වයන්ය.

දැනට මේ අන්දමට වැලිකඩ ඇතුළු විවිධ බන්ධනාගාරවල සිට බූස්ස බන්ධනාගාරයට මාරු කරන ලද සිරකරුවන් ගණන 10 ක් පමණ වන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නකි.

මේ අතරින් බහුතරයකට මාක`දුරේ මධුෂ් කල්ලිය ඇතුළු විවිධ පාතාල කණ්ඩායම් වෙතින් මරණීය තර්ජන එල්ල වී තිබෙන බව බුද්ධි අංශ වාර්තාවකට අනුව මේ වසර මුලදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලිඛිතවම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීමක්ද කර ඇත.

එසේම මේ අන්දමට මාරු කරන ලද සිරකරුවන් අතරින් කිහිප දෙනකුටම කොළඹ අධිකරණවල අදටත් විභාග වන නඩු ගණනාවක් ඇති බවද බන්ධනාගාර නිලධාරීහු පවසන්නාහ.

ඔවුන් පවසන පරිදි එයට පැහැදිලි උදාහරණයක් ලෙස වෙලේ සුදාගේ කතාව පෙන්වා දිය හැකිය. මරණීය දණ්ඩනය හිමිවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි වෙලේ සුදා බූස්සට රැගෙන යෑමට සූදානම් වූ මොහොතේ ඔහු තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් බන්ධනාගාර බලධාරීන් එයට වගකිවයුතු බවට ලිඛිත ප‍්‍රකාශයක් ලබාදුන් බව බන්ධනාගාර නිලධාරීහු පවසන්නාහ.

එයට හේතු වී ඇත්තේ මාකඳුරේ මධුෂ් කල්ලියෙන් වෙලේ සුදාට මරණීය තර්ජන එල්ල වී තිබීමය. මේ වන විට වෙලේ සුදාට එරෙහිව කොළඹ අංක 5 සහ 6 යන මහාධිකරණවල මෙන්ම ගල්කිස්ස අධිකරණයේ සහ කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයක විභාග වන නඩු හතරක් ඇති බවද බන්ධනාගාර නිලධාරීහු අනාවරණය කරති.

බූස්සට මාරු කරන ලද තවත් සිරකරුවන් කිහිප දෙනකුටම ඒ අන්දමින් කොළඹ අධිකරණවල නඩු පවතින බවද ඔවුහු කියති. එසේ නම් මේ සිරකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීම සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන ඒමේදී යම් පාතාල ප‍්‍රහාරයකට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළ තැනක තිබෙන්නකි.

එහිදී ඔවුන්ගේ ආරක්‍ෂාවට එන බන්ධනාගාර නිලධාරීන්ටද ජීවිතවලින් වන්ද ගෙවීමට සිදුවිය හැකි වීම අනිවාර්ය කරුණකි.

තලතා අතුකෝරළ ඇමැතිතුමියනි, ඒ අනුව බලන කල කුඩු සහ අපරාධ නතර කිරීමට යැයි ලෙසින් කිසිදු හරයක් නැති පදනමක් තුළ සිට මේ සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීම තුළින් සිදුව ඇත්තේ රාජකාරියට කැපවූ බන්ධනාගාර නිලධාරීන්ට නිල නොවන මරණ වරෙන්තුවක් ලියා දීමක් නොවේද?

මේ රටේ බන්ධනාගාරගත සිරකරුවන් ප‍්‍රවාහනය කිරීමේ ඉතිහාසය ගෙන බැලීමේදී බන්ධනාගාර බස්රථවලට එල්ල වූ එවන් ප‍්‍රහාර බොහෝය. එහිදී ජීවිතවලින් වන්දි ගෙවූ නිලධාරීන්ද ඇත. අද දවසේ ඒ හමුවේ ජීවිත විඳවමින් සිටින්නේ එකී නිලධාරීන්ගේ දරුපවුල්ය.

ඉකුත් 2005 වසරේ සැප්තැම්බර් 26 වැනිදා සිරකරුවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මීගමුව බන්ධනාගාරයේ සිට රැගෙන යමින් සිටියදී ගම්පහ ප‍්‍රදේශයේදී එල්ල වූ පාතාල ප‍්‍රහාරයකින් එවකට මීගමුව බන්ධනාගාරයේ රාජකාරි කළ ජේලර් එච්. විමලතුංග පෙරේරාට සහ සැරයන්වරුන් වූ ජේ. ඒ. නිරෝෂන්, වයි. වී. අමරසේන යන නිලධරීන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.

ඒ දිනවල මෙම නිලධාරීන්ගේ මරණ සම්බන්ධයෙන් හතර අතේ ශෝක ප‍්‍රකාශ පළ විය. එහෙත් ඉන් පසු ඔවුන්ගේ දරු පවුල් ජීවත්වන්නේ කෙසේදැයි බලන්නට කිසිවකුත් සිටියේද?

සහකාර බන්ධනාගාර අධිකාරී දීපාල් සොයිසා ඉකුත් 1988 වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේදී රාජකාරි කරමින් සිටියදී නා`දුනන තුවක්කුරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

එසේම අක්කරෙයිපත්තු අධිකරණ සිර මැදිරියේ සේවයේ නියුතුව සිටි බන්ධනාගාර සැරයන් කේ. ශිවකුමාර් ඝාතනය වූයේ අධිකරණයට රැගෙන ආ සැකකරුවකුට එල්ල කළ පාතාල ප‍්‍රහාරයක ගොදුරක් ලෙසය. තංගල්ල බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමක ආර්. එල්. සුමනදාස මහතා ඉකුත් 2005 වසරේ පෙබරවාරි 21 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ ඇඹිලිපිටිය අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී සැකකරුවකුට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයක ගොදුරක් ලෙසය.

මෙසේ බන්ධනාගාර නිලධාරීන් පාතාලයේ ගොදුරු බවට පත්වූ මෑත කාලීන සිදුවීම වන්නේ කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී ඉකුත් 2017 වසරේ පෙබරවාරි 27 වැනිදා පාතාල නායක සමයං ඝාතනය කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකට එල්වු ප‍්‍රහාරය ය.

එහිදී කළුතර බන්ධනාගාරයේ සේවය කළ ජේලර් එස්. ආර්. විජේරත්න මහතාට සහ නියාමක එස්. තර්මිකන් මහතාට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. එසේම 90 දශකයේ මුල්භාගයේදී වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කළ තෙන්නකෝන් නමැති ජේලර්වරයා දෙමටගොඩදි පාතාලය විසින් වෙඩි තබා ඝාතනය කිරීම මෙරට බන්ධනාගාර ඉතිහාසයේ නිලධාරියකු මුල්වරට පාතාලයේ ගොදුරක් වූ අවස්ථාව ලෙසද සටහන්ව ඇත.

එසේම මේ ඝාතන රැල්ලේ අවසන් පාතාල ගොදුර බවට පත්වූයේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටියදී ගල්ල අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී පාතාල නායක පොඩි ලැසී කල්ලිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද තිළිණ රුවන් ජයරත්න නමැති නිලධාරියාය.

අද අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය ගනු ලැබූ තීරණයකට අනුව බූස්ස බන්ධනාගාරයට මාරු කරන ලද විවිධ පාතාල කල්ලිවලින් මරණීය තර්ජන එල්ල වී ඇති වෙලේ සුදා, ඇතුළු සිරකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ලේ සිට කොළඹට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව ඇත්තේ තම සහෝදර නිලධාරීන් මුහුණ දුන් මරණය වැළඳ ගැනීමේ ඉතිහාස කතාව එසේ වී තිබියදීය.

ඒ අනුව මෙකී සිරකරුවන් ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිට ප‍්‍රවාහනය කිරීමේදී කිසියම් පාතාල ප‍්‍රහාරයක් එල්ල වී එකී බන්ධනාගාර නිලධාරීන් මුහුණ දුන් මරණීය ඉතිහාසයට තවත් පිටුවක් එක් වුවහොත් එහිදී මරණය වැළඳ ගන්නා බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිතවලට වගකියන්නට තලතා අතුකෝරළ ඇමැතිවරියට හැකිද?

අප එසේ විමසා සිටින්නේ එසෙ මරණයට ගොදුරු වීමකදී එම නිලධාරීන්ගේ දරු පවුල් අසරණ වීම හැර මේ දක්වාම ජීවිත පූජා කළ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් සිදුවූ සාධනීය කිසිවක් නැති නිසාය.

බන්ධනාගාර නිලධාරියා නිරන්තර ගැටෙන්නේ සමස්ත සමාජයට පිළිලයන් වූ චරිත සම`ගය. එහිදී ඔවුන් මුහුණ දෙන තර්ජන සහ අභියෝග අනන්තය. අප‍්‍රමාණය. එහෙත් එහිදී අවම තරමින් සේවය නිමවී හුදකලාවේ නිවසට යන බන්ධනාගාර නිලධාරියා වෙනුවෙන් ලැබෙන කිසිදු ආරක්‍ෂාවක්වත් නැත. ඔවුහු දහසකුත් අපරාධකරුවන් සම`ග සිට අනාරක්‍ෂිතවම නිවසට යන්නාහ. එසේ හුදකලා වීමේදී හෝ රාජකාරියේදී ජීවිතයට හානියක් සිදුවුවහොත් ඔවුන් වෙනුවෙන් ලැබෙන මහා දෙයක්ද නැත. සේවයට පැමිණ වසර දහයක් සම්පූර්ණ වී නොමැති නම් විශ‍්‍රාම වැටුප පවා ලැබීමද අවිනිශ්චිතය. ඒ අනුව බලන කල මේ රටේ බන්ධනාගාර පද්ධතිය දූෂිත වීමේ අරුමයක්ද නැත.

අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියනි, බන්ධනාගාර තුළ අද සිදුවන කුඩු ජාවාරම සහ අපරාධ අවම කිරීමට නම් සිදුවිය යුතුව ඇත්තේ සිරකරුවන් මාරු කර රටට මෝඩ චූන් දී මේ අන්දමට බන්ධනාගාර නිලධාරීන්ට මරණ වරෙන්තු ලියා දීමද? එසේ නැතහොත් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නංවා ඔවුන් රාජකාරීමය වශයෙන් ශක්තිමත් කිරීමද?

දිවයින
gossip lanka