gossip lanka

"අද තියෙන්නේ පාරේ යන මිනිහාත් නළුවෙක් බවට පත්වෙන යුගයක්" - පාලිත සිල්වා

මේ දවස්වලට ටිකක් විතර වැඩ අධිකයි. උදයාකන්ත වර්ණසූරියගේ චිත්‍රපටයක වැඩකළා.ඊයේ පෙරේදා තමයි ඒකෙ ඩබින් කරලා ඉවරවුණේ. තව අලුත් චිත්‍රපට දෙකක විතර වැඩ කළා. තව රංගනය පිළිබඳ වැඩමුළු මාලාවකටත් සම්බන්ධවෙලා කටයුතු කරනවා.


පාලිත සිල්වා කියන්නෙ අපිට ඉන්න දක්ෂයෙක් නෙමේ අති දක්ෂයෙක්.එයා නිර්මාණ විඳීමේ පරාසයත් ගොඩක් පුළුල්. ඒකත් අපි හොඳට දන්නවා. ඇස් දෙකෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු නිර්මාණයක් ගැන. පොඩ්ඩක් කතාකරමුද?

ඇස් දෙකෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු නිර්මාණයක් ඇහුවාම. එකපාරටම මටත් මතක් වුණේ බ්‍රර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ පුන්තිලා කියන නාට්‍යය. බ්‍රෙෂ්ට් පින්ලන්තෙදී අහපු කෙටිකතාවක් ඇසුරෙන් තමයි මේ නාට්‍යය ලියන්නෙ. මේ නාට්‍ය දිගහැරෙන්නෙ පුන්තිලා කියන ධනවත් පුද්ගලයෙක් වටා. ඔහු හරිම කෲර චරිතයක් වගේම හරිම ආඩම්බර කෙනෙක්. නමුත් ඔහු බේබද්දෙක්. බිව්වට පස්සේ ඔහු සමාජවාදියෙක් වෙනවා. බීමතින් ඉන්නකොට දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නෑ. පර්ස් එකෙන් ඇදලා සල්ලි විසිකරනවා. ඔවුන් වෙනුවෙන් හඬනගනවා. කොටින්ම කියනව නම් බිව්වට පස්සේ ඔහුගේ රියැදුරැගේ කරට අතදාගෙන ඉන්නවා. පුන්තිලා කියන්නෙ දෙබිඩි චරිතයක්. ධනවාදී කෲර චරිතයක් සහ සමාජවාදී චරිතයක්. මේ චරිත දෙක විටින් විට මාරුවෙනවා. ඒක තමා මේ නාට්‍යයේ ස්වභාවය. මෙවැනි ස්වභාවයක් තියෙන කලාකෘති හරි අඩුවෙන් තමයි ලෝකයේ තිබෙන්නේ. මේ නාට්‍යය ලංකාවේ නිෂ්පාදනය වෙන්නෙ 1983-1984 වසරවලදී. හෙලේනා ලෙහ්තිමකී මහත්මිය තමයි මේ නාට්‍යය සිංහලෙන් නිර්මාණය කරන්නෙ. නිහාල් සිල්වා තමයි මේ නාට්‍යය ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. තව මහේන්ද්‍ර පෙරේරා, කාන්ති ෆොන්සේකා, ලින්ටන් සේමගේ වගේ තව ගොඩක් අය රංගනයෙන් දායක වුණා. පුන්තිලා නාට්‍යය ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරපු නාට්‍යයක්. ඒකට හේතුව තමයි සාමාන්‍ය සම්ප්‍රදායි වේදිකාවක නෙමෙයි මේක රූගත වෙන්නෙ. මුළු ශාලාව පුරාම මේ නාට්‍යය රඟපෑම් සිද්ධවෙනවා. එවකට හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු වගේම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මේ නාට්‍යය හැඳින්නුවේ නාට්‍යය ක්ෂේත්‍රයේ කඩඉමක් හැටියට. මහාචාර්ය සරච්චන්ද්‍ර, ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහත්වරුන්ගේ ඇගයීමට ලක්වුණු නාට්‍ය තමයි පුන්තිලා කියන්නෙ. අනිත් විශේෂම කාරණාව තමයි පුන්තිලා කියන නාට්‍ය නිර්මාණයේ නිෂ්පාදනය පැත්තෙන් සම්බන්ධවෙන්න මට අවස්ථාවක් ලැබුණ නිසා දර්ශනවාර සෑහෙන ප්‍රමාණයක් මට නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මට මේ නාට්‍ය සෑහෙන්න විඳින්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම නිහාල් සිල්වාගේ රංඟනය ගැන කියන්නම ඕනෙ. ඔහුගේ රංගනය ජාත්‍යන්තර මට්ටමේ තිබුණු රංගනයක්. අපේ වගේ රටවල හරි අඩුවෙත් තමයි ජාත්‍යන්තර මට්ටමේ රංගනයන් දකින්න හම්බවෙන්න. ඒ කීපදෙනාගෙන් ඉදිරියෙන්ම මේ නාට්‍ය රංගනයේ යෙදුනු නිහාල් සිල්වා ඇතුළු කණ්ඩායම ඉන්නවා. මේ නාට්‍ය සංගීතයත් හරිම විශේෂයි. මේ නාට්‍ය සංගීතය නිර්මාණය කරන්නෙ සරත් ෆර්නෑන්ඩෝ, සංගීත අධ්‍යක්ෂණය කරන්නෙ කලනි පෙරේරා. මම අහලා තියෙන විදියට යුද්ධයෙන් පස්සේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජර්මනියට ඇවිල්ලා, බර්ලින් ඉන්සෝබල් කියන තැන ඔහුගේ නාට්‍ය කලාව ආරම්භ කරනකොට මුලින්ම කරලා තියෙන්නෙ මේ නාට්‍යය තමයි. අද කාලෙට වඩා වටින නාට්‍යයක් මේක. අවාසනාවක් මේ නාට්‍යය මේ කාලේ බලන්න නොලැබීම.

පාලිත සිල්වා කියන්නෙ නිර්මාණ බහුල වශයෙන් පරිශීලනය කරන කෙනෙක්... මේ වේදිකා නාට්‍යයට මෙච්චරම ඇලුම් කරන්නෙ ඔබගේ ජීවිතයට කෙහෙන් හරි මේ නිර්මාණය සමීප නිසාද?

එහෙම එකක් නෑ. මගේ ජීවිතයට පෞද්ගලිකව සම්බන්ධ කාරණාවක් නිසා නෙමේ, මේක සමාජයේ පොදු අත්දැකීමක්... මේ චරිතයේ තිබෙන දෙබිඩි ස්වභාවය ගත්තාම ධනපතියාගේ තිබෙන සමාජවාදී අදහස් සහ සමාජවාදීයාගේ තිබෙන ධනපති අදහස් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ලංකාවේ පුන්තිලාලා මේ වකවානුවේ අපිට ඕනතරම් දකින්න පුළුවන්. වාමාංශික ව්‍යාපාරවල නිරතවෙලා ඉන්න සමාජවාදීන්ගේ ධනපති ස්වභාවයත්, ධනපතියන් වගේ ඉන්න අයගේ සමාජවාදී ස්වභාවයත් අපිට අත්දකින්න ලැබුණා. බ්‍රර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ට වුවමනා වුණේ නෑ ධනපතියා ඇතුළෙ ඉන්න සමාජවාදීයාව එළියට ගන්න. එයා සමාජවාදී පැත්තේ හිටපු නිසා වෙන්න ඇති. හැබැයි බ්‍රෙෂ්ට් අද හිටියා නම් ඒ ගැන කතාකරන්න බොහෝදුරට ඉඩ තිබ්බා. සමාජවාදය ඇතුළේ ධනපතියකුත්. ධනපතියා ඇතුළේ සමාජවාදියෙකුත් ජීවත්වෙනවා කියලා තමයි මට හැඟෙන්නෙ.

පුන්තිලා නාට්‍ය රසවිඳිද්දී පාලිතට සමීපම වෙච්ච චරිතය පුන්තිලා වෙන්න ඇති නේද?

ඇත්ත වශයෙන්ම ඔව්. මම විතරක් නෙමේ. මේක බලපු ඕනෑම කෙනෙක්ගේ අදහස ඒක තමයි. නිහාල් සිල්වාගේ විශිෂ්ට රංගනයත් ඒකට බලපෑවා. හරියාකාරව පුන්තිලාට රංගනයෙන් අර්ථකතනය දුන්නේ නිහාල් සිල්වා තමයි. පුන්තිලාගේ තිබුණු දෙබිඩි ස්වභාවය හරි අපූරුවට රඟපෑවා. එවැනි රංගනයක යෙදෙන්න හොඳ රංගන ප්‍රතිභාවක් වගේම නම්‍යශීලිත්වයත් තිබිය යුතුයි. අද වගේ කාලෙක ලොකු අඩුවක් ඒ වගේ රංගනයන් දකින්න නොලැබීම. අද පාරේ යන මිනිහාත් නළුවෙක් බවට පත්වෙන යුගය. විශිෂ්ට නාට්‍යයක් ගැන මතක් කර කර ඉන්න එකත් සැපක්.

ඔබට පුන්තිලාගේ චරිතය රඟපාන්න හම්බවුණොත් මොන වගේ වෙයිද?

ඇත්තටම පසුකාලීනව මට ඒ අවස්ථාව ලැබුණා. නමුත් මම ඒක බාරගත්තේ නෑ. ඒකට හේතුව තමයි, මට රඟපාන්න හම්බවුණේ නව නිෂ්පාදකවරයෙක් යටතේ. ඔවුන් අර පරණ විදියට මුළු ශාලාව පාවිච්චි කරමින් නෙමෙයි නාට්‍යය කරන්න සැලසුම් කළේ. එතකොට ඒ නාට්‍යයේ තිබුණු ඒ පුළුල් පරාසය නැතිවෙලා යනවා. ඒ නිසාම මට ලොකු ඇල්මක් ඇතිවුණේ නෑ. රංගනයෙන් දායකවෙන්න.නළුවෙක් විදියට පරණ පුන්තිලා නාට්‍යය හිතින් විඳින එකත් නැතිවෙයි කියලා බයක් හිතුණා.

මේ නිර්මාණය ඇතුළේ පාලිතව වැඩිපුරම සංවේදී කරපු තැන මතකද?

මම රංගන ශිල්පියක් විදියට කැමැති තැන තමයි පුන්තිලා. එහෙමත් නැත්නම් නිහාල් සිල්වා බීමතින් ඉඳලා පහුවෙනිදා උදේට බීමත් බව නැතිවුණාම ඔළුව රිදෙනවා කියලා කෑ ගහනවා. ඔහුගේ ඉරියව්වලින්, මූණේ හැඟීම්වලින් ඇත්තටම අපිට හිතෙන්නේ ඔහු ඊයේ රෑ බීලා කියලා. ඒ ස්වභාවය සාමාන්‍ය නළුවෙකුට ගන්න අමාරුයි. බීමතින් ඉන්න රංගනයන්වල ගොඩක් අය අධි රංගනවල යෙදෙනවනේ.නිහාල් සිල්වා අධි රඟපෑම් කරන්නෙ නැතිව බීමත් ස්වභාවයෙන් මිදිලා පහුවදාට දැනෙන ඔළුව කැක්කුමත් එක්ක. ඔහු හොයාගන්නවා ඔහුගේ පසුම්බිය බීමතින් ඔහුගේ රියදුරාට දුන්නා කියලා ඊටපස්සේ රියැදුරාට බණිනවා, උඹ මහා හොරෙක් කියලා.ඔහුට ඊයේ රෑ වෙච්ච කිසිදෙයක් මතක නෑ. මිනිසෙකුගේ හැසිරීම් ස්භාවයන් තුනක් එක මොහොතක රඟදක්වනවා. අපි මේකට කියනවා. යම්කිසි චරිතයක පරිවර්තන ස්වභාවය. මම හරි කැමති අන්න ඒ අවස්ථාවට.

පාලිත. අවසාන ප්‍රශ්නය විදියට මම මෙහෙම අහන්නම්. මේ ආකාරයේ නිර්මාණයකින් ජීවිතයට එකතුකර ගත්තෙ මොන වගේ දෙයක්ද?

ඇත්තටම කියනවනම් මේ නිර්මාණයෙන් දැක්ක දේ තමයි සාමාන්‍ය ආකෘතියෙන් මිදිලා. වෙනමම හැඩයක් අරගෙන තිබුණා. සම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගිහින් තිබුණා. ඒක මේ නාට්‍ය පිටපතේ වගේම නාට්‍ය නිෂ්පාදනයෙත් දැක්කා. හෙලේනා ලෙහ්තිමකී මහත්මියගේ මේ නිෂ්පාදනය අපේ හිතීමේ සීමාවන් පුළුල් කරා. ඒක මගේ ජීවිත කාලයට බලපෑවා.

ධනුෂ්ක විජේසිරි
gossip lanka