gossip lanka

ගෘහස්‌ථ හිංසනය ගැන ක්‍රිකට්‌ ක්‍රීඩක මොහමඩ් ශාමිට වරෙන්තු

ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශාමි ඉන්දීය අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇත. ඔහුට එරෙහිව එල්ල වී ඇති ගෘහස්‌ථ හිංසනය පිළිබඳ චෝදනා මත වරෙන්තු ප්‍රකාශයට පත් වී තිබේ. බටහිර බෙංගාල අධිකරණය විසින් මෙලෙස ශාමිට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ. මේ වන විට මොහමඩ් ශාමි බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින අතර එම සංචාරය අවසන් වීමෙන් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් විය යුතු බව අධිකරණය තීරණය කර ඇත.


 ඔහුගේ බිරිඳ හසීන් ජහාන් පසුගිය මාර්තු මාසයේදී සිය සැමියාට එරෙහිව මිනී මැරීමට තැත් කිරීම, කෲරත්වය, ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම යන චෝදනා එල්ල කළ අතර ඒ අනුව ඔහුට එරෙහිව බටහිර බෙංගාල අධිකරණයේ නඩු පවරා තිබේ. කෙසේ වෙතත් මොහමඩ් ශාමිගේ නීතිඥ සලීම් රහ්මාන් පවසන්නේ ඉහත චෝදනා කිසිවකට මොහමඩ් ශාමි සම්බන්ධ බවට වාර්තාවලින් හෙළිදරව් නොවන බවයි.

 මෙම ගැටලුව ඔහුගේ ක්‍රීඩා ජීවිතයට බලපාන්නේ නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙය ශාමිගේ පෞද්ගලික ගැටලුවක්‌ හෙයින් ඔහුට එරෙහිව ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය කිසිදු පියවරක්‌ නොගනු ඇති බව වැඩිදුරටත් වාර්තා වී ඇත.
gossip lanka