gossip lanka

"හොඳ අවධානමක් ගන්න කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්.." - නාසා ආයතනයේ ලාබාලතම අභ්‍යවකාශ ව්‍යාපෘති නාතාපතිවරයා ලෙසින් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය පුංචි මේඝ - (video)

විද්‍යාඥයින් ලෙසින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය බුද්ධිමතුන් ගණන අපේ ඉතිහාසයේ සුලභ නැහැ.

නමුත් නාසා ආයතනය හා සම්බන්ධවී සඳ තරණයේදී පවා අපේ රටේ නාමය සනිටුහන් කළ විද්‍යාඥයින් සිටිනවා.


මේ එවන් දිගු ගමනකට පියවර තබන දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුවෙකු පිළිබඳ තොරතුයි.

අහස,සඳ, තරු පිළිබඳව දෑස් අයා බලා සිටින්නට අපි කවුරුත් කැමතියි.

නමුත් ඒ අජීවි වස්තූන් අතර පවතින විද්‍යාත්මක සබඳතා පිලිබද සොයා බලා ඒ නොතිත් ආශාව සංසිඳුවා ගන්නට හැකිවන්නේ කීයෙන් කීදෙනාටද..?

මේ කුඩා වයසේදීම ඒ නොතිත් ආශාව සපුරාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය අවුරුදු 9ක් වන මේඝ මහීම විජේවර්ධන.

ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින ලාබාලතම ව්‍යවසායකයා විතරක් නෙවෙයි නාසා ආයතනයේ, ඕස්ට්‍රේලියාව සදහා පත් කර ඇති එකම ලාබාලතම අභ්‍යාවකාශ ව්‍යාපෘති තානාපතිවරයායි.

පුංචි මේඝ පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට අප හා සම්බන්ධ වුණා.

මේඝ, ඔයාට කොහොමද මුලින්ම අදහසක් ඇති වෙන්නේ අභ්‍යාවකාශය පිළිබඳව..?

"මම මුලින් අභ්‍යාවකාශ විද්‍යාවට කැමැත්තක් ඇති වුණේ මට වයස අවුරුදු 2දී බයිබලය ලෝකය බිහිවූ ආකාරය ගැන කියවද්දී. ඉතිං මම හිතුවා මම තවත් මේක ගවේෂණය කරන්න ඕන කියලා. අභ්‍යාවකාශයට මම ගොඩාක් ආස කළා. රොකට් ගුවන් යානයට මම ගොඩාක් කැමතියි. ඊට පස්සේ මම දැනගත්තා නාසා ආයතනය තමයි මේ රොකට් යවන්නේ කියලා. ඊට පස්සේ මම අධ්‍යයනය කරලා තවත් කැමැති වුණා..."

අභ්‍යාවකාශය පිළිබඳ මේඝගේ ඇති දැනුම් පිපාසය නිසා ඔහුගේ පියා, චරිත් විජේවර්ධන හා මව දොෂන්ත්‍රි රණතුංග තමන්ගේ පුංචි පුතුව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා භෞතික විද්‍යා රාත්‍රී දේශන සඳහාද සහභාගී කරවනවා.

නාසා ආයතනයේ, නාසා ස්පේස් ඇප් චැලේන්ජ් නම් ජාත්‍යන්තර තරගය සදහා ඉදිරිපත් වන්නට වසය අවුරුදු 7දී මේඝට අවස්ථාව ලැබෙන්නේ එම කණ්ඩායමේ සිටින ලාබාලතම කණ්ඩායම් නායකයා ලෙසද වරම් ලබමින්.

ඉතිං මේඝ මේ පුංචි වයසේදී නාසා ආයතනය එක්ක සම්බන්ධවෙන්න ඔයාට අවස්ථාව ලැබෙන්නේ කොහොමද..?

"මම නාසා ආයතනයේ අභ්‍යාවකාශ අභියෝගය නමැති පරීක්ෂණය කළා. වයස අවුරුදු 4 ඉඳන්ම මම ඒක කළේ මට වැඩිය ගොඩාක් වැඩිමල් අය එක්ක. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වැඩිහිටියන් පවා සිටියා. ඒකෙ මගේ මාතෘකාව වුණේ වායුගෝලය කියන එක. මම ඒ මාතෘකාව දිනුවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එක්ක තිබුණු. ඊට පස්සේ මම අභ්‍යාවකාශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හැදෑරුවා. මම ඒක කළේ එහි පාරදෘෂ්‍යභාවය හොයන්නේ කොහෙමද කියලා. මම නැවතත් නාසා එකේ අභ්‍යාවකාශ අභියෝගතාවය නම් පරීක්ෂණය කළා. එවර මම කළේ විද්‍යාව ගිලිහී යාම සම්බන්ධයෙන්. මම මගේ කාර්යය ටික ටික කරගෙන යද්දී මට කනිෂ්ඨ තානාපති ධුරයක් නාසා ආයතනයෙන් ලැබුණා. අලුත්ම දත්ත මට ලැබෙනවා. මම ඕස්ට්‍රේලියාව වටේම ගිහිල්ලා ඒ ගැන දේශන පවත්වනවා. ඉතිං එහෙම තමයි මගේ වගකීම මම ඉෂ්ඨ කරන්නේ..."

ඒ වගේම වසර 200කින් පමණ පෘථිවිය හා ගැටෙනු ඇති බවට සැලකෙන බෙනූ ග්‍රාහකය වැළැක්වීමේ මෙහෙයුමට 2018 වසරේදී සම්බන්ධවන්නටත් මේඝට අවස්ථාව උදාවුණා.

එමෙන්ම ඔසයිරස් රෙක්ස් ව්‍යාපෘතිය හෙවත් ග්‍රාහකයක සිට 2023දී පෘථීවියට එහි සාම්පල රැගෙන එමින් හා ග්‍රාහකයේ සිට පරීක්ෂණ සිදුකරන ඇමරිකාවේ පළමු ව්‍යාපෘතියේ ඕස්ට්‍රේලියානු සන්නිවේදකයා ලෙසින් කටයුතු කරන්නේ ද මේ පුංචි මේඝයි.

මේඝ ඔයා තවම වයසින් පුංචි වුණාට ඔයාගේ බලාපොරොත්තු නම් පුංචි නැහැ නේද..?

"ඔව් ඉතිං මම වයසින් අවුරුදු 9යි තමයි. මම හිතන විදහට මේඝ කියන්නේ කවදාවත් වීඩියෝ ක්‍රීඩා කරන කෙනෙක් නෙවෙයි. උදෑසන 5ට නැගිටලා පොත් කියවන කෙනෙක්. මම දන්නවා හොඳ අවධානමක් ගන්න කෙනෙකුට ඕන එකක් කරන්න පුළුවන් කියලා. මම දන්නවා කවදා හරි මගේ අරමුණට මම යනවා කියලා. එහෙම තමයි මම හිතන්නේ මම ගැන. මම අභියෝගයන්ට ගොඩාක් කැමතියි. කවදාක හරි අරමුණට යන්න පුළුවන්. මම කියන්නේ ඕස්ට්‍රේලියාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටමයි මම කියන්නේ. ඔසිරිස් රෙක්ස් මෙහෙයුමෙන් බේරගන්නේ ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි මුළු ලෝකයමයි..."
gossip lanka