gossip lanka

"කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා... තමාටත් සමාජයටත් ප්‍රයෝජනයක් නැතිනම් ඒ ජීවිතයෙන් වැඩක් නැහැ."- අගරදගුරු හිමිපාණෝ කල සංවේදී කතාව මෙන්න

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමත් සමඟ මිනිසුන් ආගම්වලින් අෑත්වීමේ ප්‍රවණතාවක් ඇති වුණා’ යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පසුගියදා කළුතර කලමුල්ලේදී ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ කළුතර කලමුල්ල දේවමාතා දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද දැවමය පුදසුන ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට සහභාගි වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණෝ මෙසේද කීහ.

එදා මිනීමරුවන්ට, අපරාධකරුවන්ට නියම කළ දරුණුම දඬුවම වූ මරණ දඬුවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නියම වුණා. උන්වහන්සේ කැමැත්තෙන්ම ඒ යාගය පුදන්නට භාර ගත්තා. ඒ පාපයේ වහල්කමෙන් ජනතාව ගලවා ගැනීමේ මාර්ගය ලෙසයි. ඒ කුරුසියේ මාර්ගයයි.

යමකු මා අනුව ඒමට කැමැත්තෙන් නම් තම කම ත්‍යාජ කර පැමිණිය යුතු බව උන්වහන්සේ කියා තිබෙනවා. අපට ඇති ලොකුම අභියෝගය ආත්මාර්ථකාමීත්වයයි.

අන්තිම රාත්‍රි භෝජන අවස්ථාවේදී උන්වහන්සේ ඒ යාගය සදාකාලික සිහිකිරීමක් බවට පත් කළා. ඒ අවස්ථාවේදී පූප තම ශරීරය ලෙසත් මිදි රස තම රුධිරය ලෙසත් සංකේතවත් කළා.

කතෝලික සභාව එදා සිට අද වනතුරුත් මේ යාගය සිදුකරනවා. එය කළේ අල්තාරයක් ඇති ස්ථානයකයි. අල්තාරය, පුදසුන වටේ කිතුනු සංඝය රැස්වුණා. අල්තාරයක් නැතිව කතෝලික දේවස්ථානයක් නැහැ. කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික බැඳීම එකිනෙකා සමඟ ප්‍රේමයෙන් බැඳීම ලබාගන්නේ ඒ මාර්ගයෙන්. කතෝලික සභාව යනු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වටා ගොනු වූ සංඝයක්. එසේ නැතිව එක එක පාස්ටර්වරුන් අප්පුඩි ගහල ශබ්ද කරලා කරන දේවල් නෙවෙයි කිතුනු ජනතාව ආත්ම පරිත්‍යාගය වෙත යොමු කරන යාගයක්.

ආගමික ජීවිතයක් අවශ්‍ය නැත කියන තැනට සමාජය ගමන් කරමින් සිටිනවා. සමහරු ආගම පලඳනාවක් හැටියට භාවිත කරනවා. ඒ තමාට අවශ්‍ය විටෙක යමක් ලබාගැනීමේ මාර්ගයක් හැටියට. ආගම හරියට කෝට් එකක් වගේ. අවශ්‍ය නැති විටෙක ගලවා තබනවා.

ආගම පිළිවෙත්වලට පමණක් සීමා විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත ජීවත්වීමයි.

කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා... හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියන සංකල්පයට ඔවුන් ආවා. කන බොන පාරිභෝගික සමාජයක් නිර්මාණය වුණා. අපි කවුරුවත් අවුරුදු සියයක් ජීවත් වන්නේ නැහැ. ඒ කාලයෙන් තමාටත් සමාජයටත් ප්‍රයෝජනයක් නැතිනම් ඒ ජීවිතයෙන් වැඩක් නැහැ.

යාගය තිබෙන තැන පරිත්‍යාගය තිබිය යුතුයි. යාගය පරිත්‍යාගයක් බවට පත් කරගත යුතුයි. ඒ යාගය සිදුකරන තැන අල්තාරය නැත්නම් පුදසුන කිතුනු ජනතාවගේ ජීවිතයෙන් කොටසක්.

කළුතර - සුජිත් මාරියෝ
gossip lanka