gossip lanka

"මාව මහන්සි නොකර පන්දුව ළඟටම ගෙනැල්ලා දෙනවා" - වේග පන්දු යවන ලහිරු කුමාර කණ්ඩායමේ සහයෝගය ගැන හෙළිකරයි

මගේ ගම මහනුවර අලවතුවල. පාසල් ගමන පටන් ගත්තෙ මහනුවර සුමංගල විද්‍යාලයෙන්. ඉන්පසුව ගියේ ත්‍රිත්ව විද්‍යාලයට. පාසල් කාලයේ දී ලොකුවට ක්‍රිකට් ගහලා ජාතික කණ්ඩායමට එන්න ඕනෑය කියන අරමුණ තිබුණෙ නැහැ. මුලින්ම ක්‍රිකට් ගැහුවෙ නැහැ. හොකී ක්‍රීඩාව කළේ. ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණේ ඉන් පසුවයි.


පවුලේ විස්තර සඳහන් කළොත්?

පවුලේ අප්පච්චියි, අම්මයි, අයියලා දෙන්නයි මමයි. ලොකු අයියා ක්‍රිකට් ක්‍රීඩා කළා. දැන් නම් එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙ නැහැ.

ලහිරුට ක්‍රිකට් ක්‍රීඩාවට එන්න හිතුණෙ?

විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. ඉගෙනීමට අමතරව ක්‍රීඩාවක් කරන්නත් ඕනෑ නෙ. ඒනිසා ආසාවෙන් පටන් ගත්තා.

වේග පන්දු යැවීමට වගේම ඉගෙනීමටත් හපනෙක්ද?

සාමාන්‍ය පෙළ හොඳින් සමත්. විභාගයේ ප්‍රතිඵල ලැබීමත් සමග ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එක්ක එංගලන්තයේ සංචාරයකට යාමට අවස්ථාව ලැබුණා. එතැනින් පටන් ගත් ගමන නිසා ඉගෙනීමෙන් ඊට එහා යාමට වඩා ක්‍රිකට් වෙනුවෙන් කැප වෙන්න පටන් ගත්තා.

ඉගෙනීම් කළේ මොන වගේ අරමුණක් ඇතිව ද?

හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරද්දි උපරිමයෙන් එය කරන්න ඕනෑ කියලා හිතුවා. 19න් පහළ කණ්ඩායමට අවස්ථාව ලැබුණා. තව තවත් ධෛර්යක් ලැබුණා. ඒත් එක්කම ක්‍රිකට් වෙතින් ජීවිතය හොඳ පැත්තට හරවා ගත්තා.

ඇයි වේග පන්දු යැවීමටම ආසා කළේ?

13න් පහළ කණ්ඩායමට තේරුණු දවසේ ඉඳලාම මට ලැබුණෙ වේග පන්දු යැවීමේ අංශය. ඒ ඉරියව්වෙම දිගටම නිරත වුණා.

දකුණතින් වේග පන්දු යැව්වත් වමතින් ඔබ පන්දුවට පහර දෙන්නෙ. ඒ දක්ෂතාවය ඇති වුණේ කොහොමද?

පොඩි කාලයේ ඉඳලාම ඇති වූ පුරුද්ද තමයි.

ක්‍රිකට් පිටියේ ඔබගේ වීරයා වුණේ?

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඬේල් ස්ටයින්.

කුඩා කාලයේ ඉඳලාම වේගයෙන් පන්දු යැවීම කළා ද?

මම වේගයෙන් පන්දු යවනවා කියලා ඒ කාලයේ මට තේරුණේ නැහැ. 19න් පහළ තරගයක දී වේගය මනිද්දි පැයට කිලෝමීටර 135ක වේගයෙන් යවන වග දැන ගත්තා. එදා ඉඳලා තවත් වේගය වැඩි කර ගන්න උත්සාහ ගත්තා.

ජාතික කණ්ඩායමට තේරේවි කියන අරමුණ තිබුණ ද?

මට ජාතික කණ්ඩායමට අවස්ථාව ලැබුණෙ නොහිතපු විදියටයි. එතකොට මම 19න් පහළ එංගලන්ත සංචාරයට සහභාගි වී ඇවිත් හිටියෙ. ඕස්ට්‍රේලියානු සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග කළ එක්දින තරගයක් නරඹන්න මම ආර්. ප්‍රේමදාස පිටියට ගියා. ඒ තරගය ප්‍රේක්ෂකයෙක් ලෙස නැරඹූ මම ආපහු ගෙදර ආවා. එදාම රාත්‍රි 11ට විතර මට දඹුල්ලට එන්න කියා ක්‍රිකට් ආයතනයෙන් කතා කරලා කිව්වා. ඒ විදියට එම තරගාවලියට තේරුණත් තරග කරන්න ලැබුණෙ නැහැ. ඒත් ඒ අවස්ථාව මට ලොකු අත්දැකීමක් වුණා.

ලහිරු වේග පන්දු යවනවා වගේම සැබෑ ජීවිතයේදීත් සැර චරිතයක් ද?

ටිකක් විතර තරහා නම් යනවා තමයි.

ලහිරු මොන වගේ කෙනෙක්ද?

නිදහසේ හුදෙකලාව තනියම ඉන්න ආස කෙනෙක්.

මොන වෙලාවටද කේන්ති යන්නෙ?

දිගටම බෝල් කරද්දි විකට්ටුවක් එහෙම ගන්න බැරි වුණාම.

තවමත් පදිංචිය නුවර ද?

ඔව්.

රැකියාව?

එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ

ක්‍රිකට් හැර වෙන මොනවට ද දක්ෂ?

ක්‍රිකට් ක්‍රීඩාවම තමයි. ඒ හැර වෙන දෙයක් ගැන හිතුවෙ නැහැ. පාසල් කාලයේ දී නැටුම් එහෙම කළා.

ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ නිසා සංගා එහෙමත් හමුවෙලා ඇති නේද?

එක්වරක් දෙවරක් විතර මට හමුවෙලා තියෙනවා. එයා කණ්ඩායම නියෝජනය කරද්දී මම පොඩියි.

ලහිරු විවේකය ගෙවන්නෙ කොහොමද?

විවේකයක් ලැබුණු විගස නුවර යනවා. අම්මා තාත්තා අයියලා දෙන්නා එක්ක මහ ගෙදර ඉන්න ආසයි. අද එයාලා මා ගැන හරියට සතුටු වෙනවා.

ඊටත් වඩා පෙම්වතිය සතුටු වෙනවා ඇති?

තවම පෙම්වතියක් නැහැ.

ඔබ වගේ කඩවසම් ක්‍රීඩකයකුට තරුණියන්ගෙන් යෝජනා එහෙම එනවා ඇති?

ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නෙ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අය ඔබ අමතන්නෙ ගෑස් මෑන් කියලා නේද?

හයියෙන් බෝල් කරන නිසා ඒ නම කියනවා. ඊට අමතරව ලයියා, කුමී කියලත් කියනවා.

කොහොමද කණ්ඩායමෙන් ලැබෙන සහාය?

හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙන්නෙ පන්දු යවද්දි. මාව මහන්සි නොකර පන්දුව ළඟටම ගෙනැල්ලා දෙනවා.

හොඳම යාළුවෝ කවුද?

ඔක්කෝමලා හොඳම යාළුවෝ. දික්වැල්ල ත්‍රිත්වයේ නිසා ගමේ නිසා නිතර හමුවෙනවා.

ෆැෂන් කරන්නත් ආසලූ නේද?

ආසයි.

රඟපෑමට ආරාධනා ලැබුණොත්? නිරූපණයට ආරාධනා ලැබුණොත්?

කතා කරන වැඬේ අනුව සලකා බලනවා.

"ලංකාදීප"
සඳුන් ගමගේ
gossip lanka