gossip lanka

"මගේ බරයි, පැරෂුට් බරයි මගේ ඉනෙන් පහළ කකුල් දෙකත් එක්ක කුඩේ කුඩු වෙලා යනවා..." - අඩි 15,000ක උසක සිට පැරෂුටයෙන් වැටුණු ගුවන් භටයෙකු එලොව ගිහින් මෙලොව ආ හැටි හෙළි කරයි

"මම ජීවතුන් අතර, මැරිල නෑ.... මැරිල නෑ..... පණ පිටින්... පණ පිටින්..." ඔහු තමාට ම කියා ගත්තේ ය. මරණය ඉදිරියේ සටන් කොට ජය ගන්නා හැම මිනිසකුට ම ඇති වන අන්දමේ බලවත් එහෙත් බිය මුසු සතුටකින් ඔහුගේ හදවත පිනා ගියේය.


හිස බරපතල වේදනා සහිත හඬකින් පිරී තිබේ. විශාල ලෝහ ගුලි දෙකක් ගිනි පුළිඟු දමමින් හිස තුළ වේගයෙන් භ්‍රමණය වනු ඔහුට දැනෙයි. කිසියම් අදෘශ්‍යමාන බලයක් විසින් ඔහුගේ ඇස් වසා දමන්නාක් මෙනි.

අවට ඇති හැම දෙයක් ම හිරු එළියෙන් බැබළෙයි. එහෙත් කිසිවක් හඳුනා ගත නොහැකි අඳුරු කළු පැහැයකින් වැසී තිබේ.

තුනටියෙන් පහල කැඩී බිඳී සුන් වී ඇති බව දැනේ. ඒ වේදනාව පිට කොන්ද දිගේ ඉහළට නැග මොළයට වදින්නේ විදුලියක් මෙනි. කිසිත් කර ගත නොහැක. ඔහුට ඉබේට ම කෑ ගැසිණ....උපකාරශීලී මිනිසුන් ඔහු කරා දිව ආයේ ඒ නිසා විය හැකිය. අතිශය තියුණු වේදනාව ඔහුට සිහිසුන් නැති කරන තරම්ය...

මේ අඩි 15,000 ක් ඉහළ අහසේ සිට බිම පතිත පැරෂුට් ගුවන් භටයකුගේ මරණීය අත්දැකීමයි. ඒ හරියට ම 2002 අගෝස්තු 06 දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට නුදුරු තැනක ය. ඔහු දැන් මා ඉදිරිපිට සිටී. පුදුමයකි, ඇත්තට ම ඔහු එදාටත් වඩා හොඳින් සිටින්නේ දැයි මට සැක සිතේ.

දහස් ගණනක ගේ තියුණු සපත්තුවලට පෑගී තැලී පොඩිවී ගිය කලෙක මෙන් මොන යුද්ධයත් දරුණු ය. එය අවසානයක් නැති බිහිසුණු සිනමා පටයක් මෙනි. ඉන් ලබන ජයග්‍රහණ සීමා සහිත කරවන්නට ඒ විනාශයන් සමත් ය. ඒ ගැන කතා කරන්නට අප කැමැති නැත. එහෙත් මෙය යුද්ධය ගැන කතාවක් නම් නොවේ. පරමාදර්ශී යුද භටයකු පිළිබඳ කතාවකි.

මීට සති 2-3 කට පෙර අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුව ලබමින් සිටියදී ශ්‍රී ලංකාවට සිටි විශිෂ්ටතම විශේෂ කාර්ය බළකා නිලදරුවකු වූ චම්පික කුමාරසිරි දිවි පිදුවේ ය. ඒ ඉහළ ගුවනේදී පැරෂුටය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාය. මේ ඉසව්වේ හැම අංගයක් ම පරිපූර්ණ කළ රටට ම සිටින දෙතුන් දෙනාගෙන් පුදුමාකාර දක්ෂයකු වූ චම්පික අහිමිවීම පිරිමැසිය නොහැකි පාඩුවක් වී හමාර ය.

එහෙත් මිනිසුන් දෙදෙනකුගේ දෛවය විසැඳී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මා ඉදිරිපිට දැන් ජීවමාන ලෙසින් ඉන්නේ ද එවැනි ම මිනිසෙකි.

මේ සිදුවීම වූයේ 2002 ආසියානු මලල ක්‍රීඩා උළෙල පැවැති අවස්ථාවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය. එදා අඩි 15,000 ඉහළ අහසේ සිට පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා බිම පතිත වී දිවි ගලවා ගැනීමේ වාසනාව ලද ගුවන් හමුදා නිලදරුවා අපට හමු විය.

ඒ මරණීය අත්දැකීම පරාජය කරමින් ඔහු පෑ වීරත්වය, සුනුවිසුණු වී ගිය ශරීරය යළි ප්‍රකෘතිමත් කර ගන්නට කළ අප්‍රමාණ කැපකිරීම, අප්‍රතිහත ධෛර්යය හා නොපසුබස්නා වීර්යය පුදුම සහගතය. ඔහු අද බොහෝ දෙනකුට සිය අත්දැකීම් මගින් ජීවිතය පිළිබඳ වටිනා ධනාත්මක පාඩම් කියා දෙන අපූරුතම මිනිසකු ද වන්නේ ය. ඒ ගැන ලියා තැබිය යුත්තේ ඒ නිසාය. ඔහු ගුවන් හමුදාවේ බළ ගණ නායක කීර්ති කණහැරආරච්චිය.

"මං ඉපදෙන්නෙ ගාල්ලෙ යටගල. ගාල්ලෙ ඉඳන් සැතැපුම් 04 ක් විතර දෙනියාය පාරෙ යටගල සුන්දර ගම්මානයක්. යටගල රජ මහා විහාරය තියෙන්නෙ අපේ ගෙවල් ළඟ. තාත්ත සිංහල වෙද මහත්තයෙක්. මිනිස්සුන්ට නොමිලෙ තමයි අපේ තාත්ත ඒ කාලෙ බෙහෙත් කළේ. ගාල්ල ටවුන් එකේ ගම්පහ බෙහෙත් සාප්පුවක් දාගෙන හිටියෙ. අම්ම රස්සාවක් කළේ නෑ. මං ඒ දෙන්නගෙ එකම එක දරුව. එකම පුතා. පස්වැනි පන්තිය එනකම් ගියේ ගාල්ල සෙන්ට් ඇලෝසියස් එකට. ශිෂ්‍යත්වෙ පාස් වෙලා තමයි මම කොළඹ ආනන්දෙට එන්නෙ..."

"ඔය කාලෙ ආනන්දෙ හයේ පන්තිය තිබුණෙ තට්ටු 05 ක ගොඩනැගිල්ලෙ උඩම තට්ටුවේ. එතකොට ඕකෙ තියෙනව යකඩ වැටක් ජී. අයි. පයිප්ප ගහපු. ඉන්ටවල් එකට පුංචි අපි දුවන්නෙ පනින්නෙ සෙල්ලම් කරන්නෙ ඔය බැල්කනියෙ. ඉස්කෝලෙට ආපු අලුත එක දවසක් සෙල්ලම් කරන ගමන් මං ඔතනින් නිකමට වගේ පහළ බලනව. මට අදටත් මතකයි මේ බැලිල්ල මට එදා මාරාන්තික භීතියක් ගෙන දුන්න. කකුල් දෙක ගැහෙන්න ගත්ත. ඒක අනෙක් ළමයින්ට නොදැනෙන විශේෂ බයක් බව මට හොඳටම තේරුණා. හිමින් සීරුවේ මං ඔතන සෙල්ලම් කිරිල්ලයි පහත බැලිල්ලයි දෙකම නතර කළා. කරන සෙල්ලමක් පහළට ඇවිත් කරන්න පුරුදු වුණා. මං ඉස්කෝලෙ ආවෙ ඥාති ගෙදරක නැවතිලා. අම්ම තාත්තත් ගමේනෙ. කොහොමත් වැඩි පරිස්සම හොඳයි..."

"ඉතින් ඔහොම කාලෙ ගත වෙනව. මං ක්‍රමයෙන් ඕ ලෙවල් කරනව ඒ ලෙවල් කරනව. ඔය අතරෙ ක්‍රීඩා පැත්ත හොඳට ම කරනව. මං අනන්දෙ මලල ක්‍රීඩා නායකය වෙනව. ජාතික මට්ටමේ තරගවලටත් එනව. ඒවයිනුත් දිනනව. මං එක එක විදියෙ මලල ක්‍රීඩා ගොඩාක් රෙකෝඩ්ස් තියල තියෙනව. ජාතික මට්ටමේ පවා. පස්සෙ කාලෙක ඒව කැඩිල ගියා වෙන වෙන ශිෂ්‍යයො අතින්. තවමත් ආනන්දෙ වයස 17 මීටර් 800 රෙකෝඩ් එක තියෙන්නෙ මගේ...."

"ඉතින් ඒ කාලෙ ආනන්දෙ අපේ සිහිනයක් තමයි හමුදාවට යන එක. සීනියර් අයියල එක එක දේවලට යුනිෆෝම් ගහගෙන ඉස්කෝලෙට එන එක අපට එක විදියක ආශ්වාදයක්. 1984 මං උසස් පෙළ විභාගෙ කරල හමුදාවට බැඳෙන්න තීරණය කරනව. අම්ම තාත්ත දැන් කොයි විදියෙන් වත් කැමැති නෑ. ඒත් කොහොම හරි ඒ විරුද්ධත්වය මැද්දෙම මං එයාර් ෆෝස් ජොයින් වෙනව කැඩෙට් ඔෆිස කෙනෙක් විදියට..."

"පුහුණුවට යන්නෙ දියතලාව කඳවුරට. අවුරුදු 02 ක පුහුණුවෙන් පස්සෙ මං බැජ් ටොප් වෙලා පාස්අවුට් වෙනව. ඒ නිසාම මට ෆස්ට් එපොයින්මන්ට් එක ලැබෙනව අනෙක් කෙඩෙට් නිලධාරින්ව පුහුණු කරන්න දියතලාව කඳවුරේ....ඒ කාලෙ දියතලාව කඳවුර අද තරම් ලොකු නැහැ. මුළු කඳවුරටම වතුර දෙන්න අඩි 40 ක් විතර උසින් ටැංකියක් තිබුණ. ඒකට නගින්න යකඩ ඉනිමගකුත් හයි කරල තිබුණ..."

"එක දවසක් මම හවසක තව යාළුවො දෙන්නෙක් එක්ක ඔය වතුර ටැංකියට නගිනව. අවට තියෙන සුන්දර පරිසරය බලන්න කියල හිතාගෙන. පැත්තකින් හපුතලේ කඳුයාය. අනෙක් පැත්තෙන් තේ වතු යාය මැදින් දිවෙන කෝච්චි පාර හරිම ලස්සනයි..."

"ටිකක් වෙලා මේව නරඹල ඉනිමගට අත තියල බහින්න ලෑස්ති වෙනකොට මට එදා අර ආනන්දෙ හයේ පන්තියේ දි ඇතිවුණු බය නැවත දැනෙන්න පටන් ගත්ත. මට දැන් කලන්තෙයි. කැරකෙනව. ඒක අධික බයක්. කොටින්ම බැහැ ගන්න බැහැ. ඉතින් යාළුවො දෙන්න මට විහිළු කරනව. එයාෆෝස් කෙඩෙට් ඔෆිස කෙනෙක් ඉනිමගෙන් බැහැ ගන්න බෑ කියල. අන්තිමේ කොහොම හරි යාළුවො දෙන්න මාව වත්තන් කර ගෙන බිමට බස්සවනව..."

සිසු අවධියේ පටන් ම ගුවන් භටයකු වීමේ කීර්ති තුළ තිබෙන තදබල ආශාවට දැන් අභියෝගයක් එල්ල වී තිබේ. ඒ ඔහුට ඇති උස ජය ගැනීමේ නොහැකියාවයි. නැතහොත් බියයි. ඒ නිසාම අවසානයේ මරණය ජය ගෙන ආබාධිත බව පරාජය කිරීමේ පරමාදර්ශය මෙන් ම උස ජය ගැනීමේ අභියෝගය වෙනුවෙන් ඔහු තුළ තිබූ නොපසුබස්නා ‍ෙධෛර්යය හා කැපවීම ද මේ කතාවට අඩංගුය.

"අද වගේ ඒ කාලෙ ඉන්ටර්නෙට් නෑ. ඉතින් මං හොයල බැලුව මේ මට තියෙන භීතිකාව මොකක්ද කියල. මේක ෆෝබියා එකක්. ඉහළ සිට පහල බැලීමේ භීතිකාව. ඒකට ඉංගී්‍රසියෙන් කියන වචනය පවා මං හොයා ගත්තෙ පොත්පත් බලල....... ඊට පස්සෙ මං තීරණය කරනව මං මේ බිය ජීවිතේ සහමුලින්ම පරාජය කරනව කියල. අනෙක් මිනිසුන්ට වඩා උපරිම ලෙස උස ජය ගන්නව කියල... උස කියන බය පරාජය කරනව කියල තදින් හිතට ගන්නව...."

දැන් කාලය ගත වෙමින් යයි. මේ ගුවන් හමුදා පුහුණුව තුළම ඔහු උස ගල්වැටිවලට, කඳුමුදුන්වලට නගින්නට පටන් ගත්තේ ය. තෝර තෝරා උස තැන් තරණය කරන්නට පටන් ගත්තේ අර අධිෂ්ඨානයෙනි. ක්‍රමයෙන් ඒ වන විට ලංකාවේ වැඩිම උස යැයි සම්මත ගොඩනැගිලිවලට නගිමින් මේ භීතිකාව පරාජය කරන ක්‍රියාවල නිරන්තරව නියැලෙන්නට විය.

"දැන් මම එයාර් ෆෝස් ඉන්න ගමන් කඹයකින් බිමට බැසීමේ ක්‍රියාදාමය නිතර ම කරනව. මට දැන් ඕන උස ජය ගැනීමනෙ. අන්තිමේ මම එ.ඊ.ඛ්. ටවර් එකේ උඩ ඉඳන් ලණුවකින් බහිනව. එතැනින් නවතින්නෙ නැහැ. හෙලිකොප්වර්වලින් උඩ ඉඳන් ලණුවෙන් බහිනව. ගුවන් භටයෙක් විදියට මට ඒවට අවස්ථාව ලැබෙනව. මේ කාලය ගත වීමත් එක්ක ක්‍රමයෙන් මම නියමු නිලධාරි, පියාසර නිලධාරි, බළ පන්ති ලුතිනන් ඔය විදියට ඉදිරියට එනව.."

කඳු තරණය කිරීම පිළිබඳ පාකිස්තානයේ විශේෂ පුහුණුවකට සහභාගි වීමට කීර්තිට අවස්ථාව ලැබෙන්නේ ඔය අතර ය. ඒ පුහුණුව තුළදී ඔහු ආධාරක නැතිව ඒ ක්‍රියාන්විතවල අයිස් කඳු, ස්වාභාවික ග්ලැසියර කඳු හා විශාල ගල් වැටි තරණය කරන්නේ ය. පාකිස්තානයේ විශාල ම කඳුවැටිය යැයි සැලැකෙන හිමාලය කඳු වළල්ලේ කුන්ජිරාස් කඳුවැටිය ද ඔහු ජය ගන්නේ ඒ පුහුණුවේ දීය.

එදා ආනන්දයේ හයේ පන්තිය තිබුණු තට්ටු පහේ ගොඩනැගිල්ලෙන් පහළ බලන්නට බය හිතුණු පුංචි කොලුවා, දියතලාව කඳවුරේ වතුර ටැංකියෙන් බැහැ ගන්නට බැරිව දෙපා වෙව්ලූ ගුවන් භටයා අවසානයේ ලෝකයේ උසින් එවරස්ට් කන්දට පමණක් දෙවැනි වන පාකිස්තානයේ කේ 2 හෙවත් කිලෝ මවුන්ටන් කඳුවැටියේ ගිල්කිත් අයිස් බිත්ති නැගීමේ තරගයේ මුල් තැන දිනා ගෙන ලංකාවට එන්නේ ය.

"ඒ වෙන කොට ලංකාවෙ කොමාන්ඩෝස්ල පැරෂුට්වලින් පනිනව. මං ඒකටත් සම්බන්ධ වෙනව. හමුදාව ඇතුළෙ එහෙම අවස්ථාව තියනවනෙ. වේකන්සි 1-2 කට අවස්ථාව එනව. දක්ෂයො ගන්නව. තනිකරම ෆිසිකල් ටෙස්ට් එකක් තියන්නෙ. ඒකෙන් පාස් වුණාම ගන්නව. දැන් මං පැරෂුට්වලින් පනිනව..."

"ඔය වෙනකොට ලංකාවෙ නිදහස් උත්සවේට තියෙනව. ඒ කාලෙ ඒ භටයො එන්නෙ සිංගප්පූරුවෙන්. අඩි 14,000 ක් උඩ ඉඳන් පැනල අහසෙ එන අතරෙ ගුවනෙදි එක එක රටා මවනව. පහලට එනකොට නිදහස් පිම්ම. අහසෙදි පැරෂුට් එක දිගහැර ගන්න අතර තුර කරන දේවල්. ඒකෙදි කුරුල්ලෙකුට කරන්න පුළුවන් හැම දෙයක් ම කරන්න පුළුවන්. තනියෙන් බිම ඉඳන් ඉගිලෙන්න විතරයි බැරි. තත්පරේට අඩි 150 ක් 200ක් වැටෙන අතරෙ තමයි මේව කරන්නෙ. ඉදිරියට පිටුපසට උඩට පහළට හැම දෙයක් ම ඩ්‍රිල් එකක වගේ කරන්න පුළුවන්. මට ආසාවක් ඇති වෙනව ස්කයි ඩයිවින් කරන්න. සිංගප්පූරුවේ ට්‍රේනින් ස්කූල් එකක් තියෙනව. මට අවස්ථාව ලැබෙනව ඒ පුහුණුවටත් සම්බන්ධ වෙන්න..."

"ඊට පස්සෙ ගුවන් හමුදාව හදපු මුල්ම ස්කයි ඩයිවින් කණ්ඩායමේ මම සාමාජිකයෙක් වෙනව. ඒ සියලු දේවල් කරනව. අඩි 14,000 ක් ඉහළ අහසෙදි දෙන්නෙක් එළියට පැනල අනෙක් කෙනාව අල්ලන එක තමයි ලොකුම පිම්ම. ඒ හැම ස්කිල් එකක් ම මං කරනව. වැඩි හරියක් ම පුහුණුවීම් කළේ ඔය පහුගිය දවසක ලුතිනන් චම්පික මැරුණු අම්පාර කඳවුරේ. මගෙ ඛ්.ර්ණී. හිටියෙ වින්ග් කමාන්ඩර් හෂීම්......"

ලුතිනන් කීර්ති ගේ ජීවිතයේ ඔය කියන අඳුරු දවස උදා වූයේ ඔය අතර ය. ඒ 2002 අගෝස්තු 06 සුගත් තිලකරත්නලා එහෙම සහභාගි වූ ආසියානු මලල ක්‍රීඩා උළෙල සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති දාය.

"මතක ද එදා ස්කයි ඩයිව කෙනෙක් වැටිල මාරාන්තික වෙනව. අන්න එයා තමයි මම. එදා හරි බෑඩ් වෙදර් දවසක්. නැෂනල් ගේම් එකක් හින්ද කරන්න ඕන. අපි අඩි 14,000 ක් ඉහළ අහසෙදි පැනල එහාට මෙහාට වෙනව. මමත් පනිනව. මගේ පැරෂුට් එක ඇකිලෙනව. බාගෙට දිග ඇරෙන්නෙ. සුගතදාස ස්ටේඩියම් එකෙන් වෙන පැත්තකට දැන් මාව වැටෙනව. පැරෂුට් එක වැඩ කරන්නෙ නෑ. වෙන කරන්න දෙයක් නෑ. මේ පහුගියදා කොමාන්ඩෝ ලුතිනන් චම්පිකට වෙච්ච දේමයි. පැයට කිලෝමීටර 70 - 80 ක විතර වේගයක් වෙන්න ඇති. මං උත්සාහ කරනව ස්ටේඩියම් පැත්තට එන්න. අඩි 14,000 න් පැනල දැන් අඩි 3500 විතර ඇවිත්. පැනල තියෙන්නෙත් ගොඩක් අෑතින්. මං කිව්වෙ එදා බෑඩ් වෙදර් දවසක්. මං බලනව මට ලෑන්ඩ් කරන්න තැනක්. කැලණිතිස්ස බලාගාරෙ විදුලි කේබල් පේනව. පාරවල්වල වාහන යනව පේනව. ස්ටේඩියම් එකට එන්න තමයි මම ට්‍රයි කරන්නෙ. එන්න විදියක් නෑ. දැන් දැන් මං පොළවට ළං වෙනව. මට පේනව විශාල තාප්පයක්. ස්ටේඩියම් එකට කිට්ටුව තැනක. වේගය කොයිතරම් ද කිව්වොත් මට දැනෙන්නෙ මං වැටෙනව නෙවෙයි අර විශාල තාප්පය මං ළඟට එනව. බිම වැටෙන්න ආසන්නයි. මං ඔලුව උඩට අරන් කකුල් දෙක හරියට ම තාප්පෙට තියනව. දෙදරනව. මගේ බරයි, පැරෂුට් බරයි මගේ ඉනෙන් පහළ කකුල් දෙකත් එක්ක කුඩේ කුඩු වෙලා යනව..."

"සාමාන්‍යයෙන් ස්කයි ඩයිවින් කරන කොට ඇම්බියුලන්ස්, ඩොක්ටර්ස්ල ඔක්කොම ඉන්නව. ඒ වුණාට මං වැටිල තියෙන්නෙ වෙන කොහේවත්. මං හිතන්නෙ කොටහේන කොන්වන්ට් එකේ බාස්කට් බෝල් කෝට් එක ළඟට. මිනිස්සු මාව වාහනේක දාගෙන ජෙනරල් හොස්පිට්ල් අරන් ඇවිත්. ඊට පස්සෙ තමයි ආරංචියට අපේ අය ඇවිත් තියෙන්නෙ..."

ඔහු බියකරු මරණයෙන් ගැලවී තිබේ. එහෙත් මේ දෙපාවලින් දැන් වැඩක් නැත. ඉනෙන් පහළ සියල්ල අකර්මණ්‍යය. දෙපා නැති ජීවිතය මොන තරම් දුෂ්කර එකක් වනු ඇති ද? අට හැවිරිදි ආදරණීය එකම දියණිය, දයාබර බිරිය, අම්මා තාත්තා තරුණ ජීවිතය ඒ සියලු සෙවණැලි ඔහු වටා භ්‍රමණය වන්නා සේ ඔහුට දැනිණ.

"ඩොක්ටර්ස්ලගෙ තීරණය වුණේ මගේ කකුල් දෙක ම ඉවත් කරන්න වෙනව කියන එක. ඊට පස්සෙ ක්‍රමයෙන් නිගමනය වෙනව කකුල් දෙක කපන්න වෙන්නෙ නෑ ඒත් සදාකාලික වීල් චෙයාර් එකේ අබ්බගාතයෙක් විදියට ජීවිතය ගෙවන්න සිද්ධ වෙනව කියන එක..."

"මුල් මාස 5-6 ඉනෙන් පහළ කිසි දෙයක් වැඩ කරන්නෙ නෑ. ඒ නිසාම මාංශ පේශි සියල්ල දිය වෙනව. කුඩු වෙච්ච ඇට, මස්, නහර දිය වෙනව. ඉනෙන් පහළ කකුල් දෙක සහමුලින් නිකම් ම නිකම් මස් වැදැලි දෙකක් බවට පත් වෙනව..."

"මට විටින් විට ශල්‍යකර්ම 09 ක් කරනව. ඊට පස්සෙ ක්‍රමයෙන් මගේ කුඩු වෙචච් ඇට හදනව. ෆිසිඔතරපිල ඇවිත් මට ඉතා සුළු සුළු ව්‍යායාම දෙනව. මාව ක්‍රමයෙන් ආමි හොස්පිට්ල් එකට දානව. මුලින් ම අඟලක් විතර කකුල උස්සනව. ඊට පස්සෙ යාන්තම් අඟල් 2-3 ක් විතර උස්සනව. දැන් මාස 6-7 ගෙවෙනව. ග්‍රෑම් 100 වගේ පුංචි වැලි කොට්ට තියල ක්‍රමයෙන් කකුල උස්සනව. කියන්න බැරි තරම් වේදනාව. මම කොට්ටෙ බදාගෙන අඬනව. කලන්තෙ දානව..."

"දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් ගත වෙලා. කිලෝ 1- 2 පටවල කකුල උස්සනව. අර දිය වෙච්ච මාංස පේශි ටික ටික වැඩ කරන්න පටන් ගන්නව. කකුල ටික ටික උස්සන්න පුළුවන් වෙනව. දැන් කකුල් දෙක උස්සන්න පුළුවන්. ඒ වුණාට දණිස් නැවෙන්නෙ නෑ. වැඩ කරන්නෙ නෑ. මගේ හිප් එකෙන් කපල ඇට කෑලි බද්ද කරනව. ඒත් දණිස් දෙක නැවෙන්නෙ නෑ....ෆිසියෝතෙරපිල ටික ටික නවනව. වේදනාවෙන් මං කලන්තෙ දානව. මූණට වතුර ටිකක් ගහල ආයෙ සිහිය ගන්නව. එතකොට හිටිය කුමාර පතිරණ, ඩොක්ටර් තුසිත කියලා ෆිසියෝතෙරපිලා දෙන්නෙක්. මා වෙනුවෙන් ගොඩක් වෙහෙසුණා. මාව හැමදාම උදේ 8.00 වෙනකොට ෆිසියෝතෙරපි යුනිට් ගෙනියනව. වීල් චෙයාර් එකේ කකුල් දෙක දිගඇරල ක්‍රචස්වලට තියල බැඳල අරන් යන්නෙ දික් කරල. එහෙමම උස්සල ඇඳට ගන්නව. දැන් ටික ටික නවනව. අංශක 20-30 විතර. ඒ හැකියාව එනකොට මාව ඇඳේ මුණින් අතට හරවල ෆිසියෝතෙරපි මගේ ඇඟ උඩ නැඟල කකුල නවනව. පුදුමාකාර වේදනාවක්. මං කොට්ටය මූණට හිර කරගෙන අඬනව....වෙලාවකට මට කලන්තෙ හැදෙනව..."

මේ විදියට අවුරුද්දකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. කීර්තිගේ තාත්තා මිය යන්නේ මේ කාලයේදීය. පුංචි සන්ධියේ හොඳින් හදා වැඩූ දෙපා ඇතිව අතින් අල්ලා ගෙන ඇවිද්ද පුතා මේ විදියට සයනයේ වැතිරී සිටින විට ඉවැසිය හැක්කේ මොන අම්මා කෙනකුට ද? මොන තාත්තා කෙනකුට ද? දැන් ඔහුට කාලය හා වේලාව අමතක වී ඇත. හැම වේදනාවක්ම එකට මුසු වී එය අවිච්චින්න පරිශ්‍රමයකට, වීර්යයකට, අධිෂ්ඨානයකට පරිවර්තනය වී තිබේ.

එය මිනිසකු විසින් ඉගෙන ගත යුතු පාඩමක් මෙනි. විටෙක නින්ද ජය ගනී. විටෙක වේදනාව ජය ගනී. කාලය ගත වී යයි. මේ අවධිය වන විට මිතුරකු මඟින් ඔහුගේ අතට පත් වන්නේ එක්තරා අපූරු පොතකි. එය දෙවැනි ලෝක යුද්ධයේදී නාසි හමුදා ප්‍රහාරයෙන් මහා ගන වනාන්තරයකට ඇදවැටී දෙපා සහමුලින්ම බිඳී යන සෝවියට් ගුවන් නියමු ඇලෙක්සේයි මෙරේස්යෙව්ගේ කතාවයි.

දෙපා බිඳී ගිය සෝවියට් ගුවන් නියමුවා අනන්ත දුෂ්කරතා මධ්‍යයේ මාසයකට කිට්ටු කාලයක් බිම දිගේ බඩගාමින් ගොස් මිතුරු හමුදා කඳවුරකට සේන්දු වී ජීවිතය ජයගන්නා අන්දම එහි විස්තර වෙයි. සෝවියට් ලේඛක බරිස් ප්ලෙවොයි ගේ ‘සැබෑ මිනිසකුගේ කතාවක්...’ ඒ පොතයි.

ඉතාම දුෂ්කර ලෙඩ ඇඳක වැතිර සිටින ලුතිනන් කීර්තිට සෝවියට් නියමුවාගේ මේ කතාව පුදුමාකාර ශක්තියක්, ධෛර්යයක් ගෙන දුන්නේ ය. රුසියානුවකුට පුළුවන් නම් ඇයි මට බැරි? ඔහු එය මුල සිට අගටත් අග සිට මුලටත් කියැවූයේ පුදුමාකාර ප්‍රාණවත් බවකිනි.

"ටික ටික දණහිස් නවනව. මට දැන් වීල් චෙයා එකේ විතරක් දණහිස් නවාගෙන යන්න පුළුවන් වෙනව. ඊට පස්සෙ අර ජිම්නාස්ටික්වලට ගන්න අතට වැර යොදල ඇවිදින පැරල් බාර් එකෙන් මං ඇවිදින්න පටන් ගන්නව. කකුල් දෙකට බර නොදී අත් දෙකෙන් කාලයක් ඇවිදිනව. දැන් ඒක ඉවර වෙලා කිහිලිකරුවලින් මං ඇවිදින්න පටන් ගන්නව. කාලය අවුරුද්ද පනිනව. අවුරුදු එකහමාර පනිනව. මං ඒත් උත්සාහය අතඅරින්නෙ නෑ...."

"දැන් මං තනි කිහිලිකරුවෙන් ඇවිදින්න පටන් ගන්නව. ඊට පස්සෙ ඒක අයින් කරල හැරමිටියෙන් ඇවිදින්න පටන් ගන්නව. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 38 ක් වෙනව. හැරමිටියෙන් පස්සෙ නිකං වෙව්ළ වෙව්ළ බිත්ති අල්ලගෙන ඇවිදිනව. මං උත්සාහ කරනව. උත්සාහ කරනව. දැන් මං සාමාන්‍ය දුර්වල කෙනෙක් ඇවිදින විදියට හිමින් හිමින් තනියෙන් ඇවිදිනව. කාලය ගතවෙනව. ඊට පස්සෙ ටිකක් හයියෙන් ඇවිදින්න පටන් ගන්නව...පස්සෙ මං හයියෙන් ඇවිදිනව....අවුරුදු 02 ක් වගේ කාලය තුළ මං ඒ සියල්ල ජයග්‍රහණය කරනව...."

"ඔබ විශ්වාස කරනවද අද වෙනකොට මට හොඳ නිරෝගී ශක්තිමත් කෙනෙක් පෙන්වන ඕනෑම හැකියාවක් පෙන්වන්න පුළුවන්. මං දැන් ජිම් කරනව. දුවනව. ආත්මාරක්ෂක සටන් ක්‍රම, අංගම්පොර සටන් කලාව පවා හොඳින් කරනව...."

"ඒ බරපතළ ඛේදවාචකය පරාජයට පත් කරල මම 2004 හමුදාවෙන් විශ්‍රාම යනව. ඊට පස්සෙ මම මගේ දුවයි, භාර්යාවයි එක්ක ඇමෙරිකාවෙ යනව. ටික කලක් එහෙ අපි දෙන්නම රැකියා කරනව. ඒත් මට ඒ ජීවිතය ප්‍රිය නෑ. සතුට නෑ. ගැළපෙන්නෙ. නැවත ලංකාවට එනව..."

"අද වෙනකොට මං ලංකාවෙ ඉතාම ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ සමාගමක ඉතා විශාල වැටුපකට රැකියාව කරනව. මට ඒ අංශය පිළිබඳ කිසිම දැනුමක් තිබුණෙ නෑ. ඒත් මගේ යටතේ මං ඒ සමාගමේ පසුගිය අවුරුදු කීපය තුළ ලොකුම අලෙවිය වාර්තා කළා විතරක් නෙවෙයි වැඩිම මාර්කට් ෂෙයාර් එක ගත්ත....මාසයෙන් මාසය දැන් ඒක සාර්ථක ලෙස අබිබවා යනව...."

ඔබ හඳට යන්න උත්සාහ කරන්න. එය නොහැකි වුණත් ඔබ තරු අතර හෝ නවතීවි යැයි කතාවක් තිබේ. මෙය ලුතිනන් කීර්ති කණහැරආරච්චි කියන තමන්ගේ කතාව වුව ද එය මුළු මිනිස් සමාජයට ම ආදර්ශ සම්පන්න කතාවක් වන්නේ ය.

"මං මේකෙන් කියන දේ තමයි කිසිම විදියකින් ජීවිතය අතඅරින්න එපා. මිනිසකුට බැරි දෙයක් නෑ. උසට බයේ හිටපු මම උසට බයේ හිටිය නම් කිසිදාක ස්කයි ඩයිවර් කෙනෙක් වෙන්නෙ නෑ. වෛද්‍යවරු කියපු විදියට කවදාවත් ඇවිදින්න බෑ කියල ඒ විදියට ම හිටිය නම් මං තාමත් වීල් චෙයාර් එකේ. එහෙම නැත්නම් කකුල් දෙක කපල අබ්බගාතයෙක්. මං ඒව බොරු කරල තියෙනව...."

"මේ ලෝකෙ හැම මිනිහෙක් ම සාමාන්‍යයි. ලෝකයේ එක එක විදියට ශේ‍ර්ෂ්ඨත්වයට පත් හැම කෙනෙක් ම සාමාන්‍ය මිනිස්සු. ජීවිතය ජය ගන්න තියෙන ඕනකම මතයි එය තීරණය වෙන්නෙ. මං මිනිසුන්ට කියන්නෙ අතඅරින්න එපා. මේ අවකාශයේ ඕන තරම් ශක්තීන් තියෙනව. ඒව ග්‍රහණය කර ගන්න. ඒව තරංග විදියට තියෙනව. ඒ ශක්තීන් අල්ල ගන්න මනසින් උනන්දුවෙන්..."

"මං මගේ මේ කතාව දැන් දහස් ගණනකට කියල තියෙනව. පාසල්වල, ආයතනවල දේශනවලට ගිහින් කියල තියෙනව. ධනාත්මක දේශකයකු විදියට. මං අවසාන වශයෙන් මිනිසුන්ට කියන්නෙ මෙන්න මේ දේ. "නොහැක්කක් නොමැත...."

වටිනා ශේ‍ර්ෂ්ඨ දෙයක් සොයා ගත් විට එය අන්‍යයන් සමඟ බෙදාගැනීමේ සතුට පත්තරකාරයන් වන අපට තිබේ. මේ කතාව නිකම්ම නිකම් මිනිසකු ගැන නොවේ. ඔහු ගැඹුරු ප්‍රබෝධයෙන් සහ නව අරුතකින් පිරිපුන් විශිෂ්ට ජීවිතයකි. ඔහු ගැන ලියන්නේ ඔහු මුළු මහත් මිනිස් සංහතියට උත්කෘෂ්ඨ පාඩමක් කියා දුන් මිනිසකු නිසාය. ඒ ඔස්සේ අද දවස වන විට උණුසුම් සුහද හැඟීම් පළ කරන සුන්දර මිනිසකු ද වී සිටින නිසාය.

ඔහු ආධ්‍යාත්මික ශක්තිය කෙරෙහි විශ්වාසය තැබූවෙකි. ඒ හරහා සාර්ථකත්වය ඉල්ලා සිටියෙකි. විශ්වයේ මහා බලවේග නොඅනුමානව ම ඔහුට උපකාර කොට තිබේ. ඒ ජීවිතය පාඩමකට ගත යුත්තේ ඒ නිසාය.

තිස්ස කොරතොට
gossip lanka