gossip lanka

පාස්කු ප්‍රහාරය සිදුවී දින 136 කට පසු මව්සෙනෙහස අහිමිවූ දියණියන් තිදෙනෙකු ගැන කටුවපිටියෙන් ඇහෙන සංවේදී කතාව - (video)

පාස්කු ප්‍රහාරය සිදුවී දින සති මාස ගෙවී ගියත් මේ ප්‍රහාර මාලාව නිසා ජීවිතයේ අදුරු සෙවණැලි අතර සිරවූවන් අදටත් අප සමාජයේ සිටිනවා.

මෙම කුරිරු ප්‍රහාරයෙන් දිවි ගළවාගත් නමුත් ඉන් මව්සෙනෙහස අහිමිවූ දරුවන් තිදෙනෙකු අද නැවත සිය පාසල් ගමන ආරම්භ කළා.

ඒ හරියටම ප්‍රහාරය සිදුවී දින 136 කට පසුවයි.

මේ කටුවපිටිය ප්‍රදේශයේ ජීවත්වන සිතුකි,නෙතුලි සහ තෙනුජගේ කතාවයි.


බර්නඩිත් නෙතුලි - වැඩිමහල් දියණිය
"මමයි නංගිලා දෙන්නයි අම්මායි ගිහිල්ලා පුජාවට සහභාගීවෙලා අන්තිමටම ඒ ස්පීච් එකවෙලාවේ තමයි බෝම්බේ ගැහුවේ. මම එතැන ඒ බංකුවක් යට හිටියා කියලා නංගි කිව්වා මට. නංගි කිව්වා අම්මා වැටිලා හිටියා කියලා එයා දැක්කා කියලා"

අප්‍රේල් 21වනදා උදෑසන මවගේ අතේ එල්ලී කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට ගිය මේ පැංචියන් තිදෙනාට ඒ ආදරණීය අත සදහටම අත්හරවන්නට තරම් එදා ඒ බෝම්බ ප්‍රහාරය කුරිරු වුණා.

ඒ අමිහිරි සිදුවීම පිලිබදව මේ දියණියන් තිදෙනාගේ පියා, අප හා පැහැදිලි කළේ මෙලෙසින්.

උදිත සඳරුවන්- පියා
"මට එදා පල්ලි යන්න හම්බවුණේ නැහැ. මම පල්ලියට යන කොට මිනිස්සු කලබලෙන් එහාට මෙහාට යනවා දැක්කා. මමත් පල්ලිය වටේ කෑගහගෙන මම දිව්වා. කවුරු හරි එක්කෙනෙක් මගේ ලොකු දුවව උස්සාගෙන යනවා මම දැක්කා. එයාගේ ගවුමෙන් තමයි අදුර ගත්තේ එයාගේ මුණේ ලේ පිරිලා තිබ්බා".

අකාලයේ මව් සෙනෙහස අහිමි වූ තම දියණියන් තිදෙනාට මවකගෙන් හා පියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නට උදිත කටයුතු කරන්නේ තම ආදරණීය බිරිද දෙවියන් වහන්සේ වෙත භාර දීමෙන් අනතුරුවයි.

මේ අතරතුර, හයක් හතරක් නොතේරෙන පුංචි සිතුකිද තමන්ගේ අම්මා පිලිබදව අවසන් වරට හිතේ ඇදුණු ඒ සිදුවීම වචන ඇහිදිමින් අප හමුවේ පැහැදිලි කළේ මෙලෙසින්.

ඇනා සිතුකි - බාල දියණිය
මම කියන්නම්..?
හා පුතේ.
බබා කොහේද හිටියේ ඒ වෙලාවේ..?
නංගා අක්කිගේ ඇඟ උඩ.
අම්මි කොහේද හිටියේ පුතේ..?
අම්මි මං ගාව හිටියේ.

දවස පටන්ගත් මොහොතේ පටන් නින්දට යනතුරු තම දියණියන් තිදෙනාගේ ඕනෑ එපාකම් වෙනුවෙන්ම උදිත කැපවන්නේ ඒ අඩුව කිසිලෙසකින් හෝ තම දරුවන්ට නොදැනෙන ලෙසින්.

අද මේ දියණියන්ට විශේෂිත දිනයක්.

ඒ සිත්පිත් නැති කුරිරු බෝම්බ ප්‍රහාරය හමුවේ තම ආදරණීය මව, දෙව් මව්තුරුළේ සැතපෙද්දී, ඇගේ පතේ ඇති වූ දරුණු තුවාල ක්‍රම ක්‍රමයෙන් සුවපත් කරගනිමින් තම පාසල් අධ්‍යාපන කටයුතු අද සිට නැවත ආරම්භ කිරීම හේතුවෙන්.

ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර පාසලේ විදුහල්පති පියතුමා,ගුරුවර ගුරුවරියන්,යහළු යෙහෙළියන් ඇතුළු සියල්ලෝම සිතුකි,නෙතුලි සහ තෙනුජි වෙනුවෙන් ලබා දුන්නේ උණුසුම් පිලිගැනීමක්.

මේ දරුවන්ගේ ගතේ ඇතිවූ තුවාල ක්‍රමක්‍රමයෙන් සුවපත්වුවත් සිතේ ඇති වූ තුවාල කවදා කවුරුන් හට සුවපත් කරන්නට හැකියාව ලැබේවිද..?
gossip lanka