gossip lanka

උපතින්ම දෑස් නොපෙනෙන මවක් හා දියණියක් ගැන කෑගල්ලෙන් ඇසෙන කඳුළු කතාව

උපතින්ම ඇස් දෙකම නොපෙනෙන තමන්ටත්, වයෝවෘද්ධ මවටත් සිය නිවෙසේ ජීවත්වීමේදී කිසිම ආරක්ෂාවක් නොමැති බවත් තවදුරටත් නිවසේ සිටිය නොහැකි බවත් මව සමඟ සතුටින් ජීවත්වීමට හැකි වැඩිහිටි නිවාසයකට දෙදෙනාම ඇතුළත් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන දෘශ්‍යාබාධිත අවිවාහක කාන්තාවකගේ අනුවේදනීය කතාවක් අපට වාර්තා වූයේ කෑගල්ල පොලිස් වසමේ දමුණුපොළ, අටුගොඩ ඉහළගම, ග්‍රාමයෙන්ය.


119 හදිසි දුරකථන අංකයට මීට දින කිහපයකට ඉහතදී දුරකථන ඇමතුමක් ලබාගෙන යම් කිසි පුද්ගලයෙක් දන්වා ඇත්තේ කෑගල්ල පොලිස්වසමේ දමුණුපොළ, අටුගොඩ ඉහළගම, දෙඹටලන්ද ප්‍රදේශයේ උපතින්ම ඇස් දෙකම නොපෙනෙන තරුණ කාන්තාවකුත් ඇගේ වයෝවෘද්ධ මවත් ඉතා අසරණව ජීවත්වෙමින් සිටින බවත් ඔවුන්ගේ දුක සැප සොයාබලා ආරක්ෂාවක් සපයාදීමට කිසිම කෙනකු නොමැති බවත් ඉතා ඉක්මනින්ම මෙම අසරණ මවත් දියණියත් පිළිබඳ සොයා බලා ගත හැකි ක්‍රියා මාර්ගයක් සලස්වන ලෙස කෙටියෙන් දන්වා තිබුණි.

පසුව මෙම සිද්ධිය කෑගල්ල මූලස්ථාන පොලිස්යේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාට ක්ෂණිකවම දන්වා තිබිණි.

ස්ථානාධිපතිවරයා මේ පිළිබද සොයා බලන ලෙස කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මිය වෙත පැවරීමක් කළේය.

ඒ අනුව ඇය ඉකුත් සිකුරාදා (30දා) කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (5597) නිලධාරිනිය සමඟ පොලිසියේ වාහනයකින්ම මේ අසරණව ජීවත්ව සිටින අම්මයි දුවයි පදිංචිව සිටින නිවාස සොයා දමුණුපොළ, අටුගොඩ ඉහළගම, දෙඹටලන්ද ග්‍රාමය වෙත ගොස් තිබිණි.

අදාළ නිවෙසට ගිය පොලිස් නිලධාරිනියන් දෙදෙනාට දෘශ්‍යාබාධිත තරුණිය වන ආර්.පී. ලක්ෂිකා ශිරෝමි (අවු. 40) සිය මව ආර්.පී. සෝමාවතී (අවු. 78) සමඟ අසරණව ජීවත්වන ආකාරය පිළිබඳවත් කිසිවකුගේ පිහිටක් ආරක්ෂාවක් නොමැති බවත් පැවැසුවාය.

එහිදී දෘශ්‍යාබාධිත තරුණිය පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මියට ප්‍රකාශ කර ඇත්තේ තම පියා තමා මවගේ කුස තුළ පිළිසිඳ ගෙන සිටින අවස්ථාවේදී නිවෙසේ ඉඩමේ තිබූ කොස් ගසක ගෙඩියක් කැඩීමට ගිය අවස්ථාවේදී ගසෙන් වැටී වසර හතරක පමණ කාලයක් එකතැන්ව සිටියදී මියගිය බවත්ය.

තමන්ට වැඩිමල් සහෝදරයෙක් සිටින බවත් ඔහු කෑගල්ල නගරයේ රේඩියෝ අලුත්වැඩියා කර උපයා ගන් සුළු මුදලින් අඹුදරුවන් සමඟ ඇකිරියගල ප්‍රදේශයේ බිරියගේ නිවෙසේ ජීවත්වෙමින් සිටින බව ප්‍රකාශ කළාය.

ඔහුගේද මේ වනවිට තරමක් ඇස් නොපෙනෙන තත්වයක් උදාවී ඇත.

දැනට තම වයෝවෘද්ධ මවට මසකට රුපියල් 1000ක සමෘද්ධි දීමනාවක්ද රුපියල් 250ක මහජන ආධාරයක්ද වයස අවුරුදු 70ට වැඩි ජේ‍යෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන රුපියල් 1900ක ආධාර මුදලක් ලැබෙන බවත් එම මුදල්වලින් තම මව සමඟ ජීවත්වෙමින් සිටින බවද ලක්ෂිකා පැවැසුවාය.

මව්බිම
gossip lanka