gossip lanka

ටික දවසක් ගියාට පස්සෙ ෂෙරීන්ගේ ගෙදර තිබුණු පාටියකටත් මට එන්න කිව්වා. මමත් ඒකට ගියා - ජීවන් කුමාරතුංග

ටික කාලයක සිට මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කියලා සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගෙන් ආරාධනාවක් තිබුණා. නමුත් මගේ කාර්යබහුලකමත් එක්ක මම ඒකට යොමු වුණේ නැහැ. පහුගිය කාලයේ දී චිත්‍රපටයක් කරන්න අපි සූදානම් වුණු වෙලාවක එතන හිටපු නිෂ්පාදනයට කැමැත්ත පළ කරපු සුනිල්, මම අධ්‍යක්ෂණය කරනවානම් ඔහු චිත්‍රපටය නිෂ්පාදනය කරන්නම් කියලා කිව්වා. ඒ ඉල්ලීම අනුව තමයි මම ජීවා  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බාරගත්තෙ.


ජීවා මොන වගේ නිර්මාණයක්ද..?
මෙය වාණිජ චිත්‍රපටයක්. මෙහි වාණිජ චිත්‍රපටයක ගුණාංග තමයි තියෙන්නෙ. පහුගිය කාලෙ මම රඟපාපු පුතණ්ඩියා චිත්‍රපටය නිසයි මෙවැනි චිත්‍රපටයක් කරන්න ඕනෙ කියලා හිතුණෙ. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමඟම මේ චිත්‍රපටය නැරඹූ අපේ පැරැණි ප්‍රේක්ෂකයන්ට මේ තුළින් ලොකු උනන්දුවක් ඇති වුණා. මෙවැනි චිත්‍රපට කරන්නෙ නැත්තෙ ඇයි කියලා ඒ බොහෝ දෙනා මගෙන් ඇහුවා. ඒ හින්දම එවැනි අපේකම ඉස්මතුවෙන, අලුත් තාක්ෂණයත් ඇතුළු කරගෙන චිත්‍රපටයක් කරන්න ඕනෙ කියලා මට හිතුණා. ප්‍රේක්ෂකයො අපිත් එක්ක, අපේ සිනමාව එක්ක තවම ඉන්නවා කියලා මට හිතෙනවා. සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයාගෙන් දුරස් වෙලාද කියන සැකයත් මා තුළ තියෙනවා. චිත්‍රපටවල තියෙන අපේකම අද බොහෝ නිර්මාණවලින් දුරස්වෙලා කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා අපේ දුරස්ව සිටින ප්‍රේක්ෂකයන් නැවත යම් මට්ටමකට හෝ සිනමාශාලවලට ගෙන්වා ගැනීමයි අපේ අරමුණ වෙන්නෙ. ජීවා ඒකට හොඳ අවස්ථාවක් වේවියැයි මම විශ්වාස කරනවා.

ඔබ රඟපෑ මුල්ම චිත්‍රපටය වුණේ තනි තරුව චිත්‍රපටයයි. ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද..? රංගනයට සම්බන්ධ වෙන්න කුඩා කල සිටම කැමැත්තක් තිබුණද..?
මට වෘත්තීය නළුවෙක් වීමේ අදහසක් තිබුණේ නැහැ. නමුත් පාසල් යන කාලේ ඉඳන් රඟපෑමේ කැමැත්ත තිබුණා. මම ඉගෙන ගත්තෙ කේරි විද්‍යාලයෙන්. පාසල් යන කාලෙදීම පාසල් වේදිකාවේ රඟපෑවා. නාට්‍ය පුහුණුවීම් කළා. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ සරසවි කලා කවය කියලා කලා කමිටුවක් හදාගෙන අපි ගමේ නාට්‍ය කළා. ගමේ තරුණයෝ එක්ක නාට්‍ය කළා. මේ නිසා රංගනයට සම්බන්ධ වෙන්න වුවමනාව වගේම හැකියාව ඒ කාලේ ඉඳන්ම මට තිබුණා.

පාසල් වේදිකාවේ, ගමේ වේදිකාවේ රඟපාපු ජීවන් සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද..?
මගේ වසන්ත කියන යාළුවා නිසා තමයි මට කොළඹ ඇවිත් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ඕනෙ කියන අදහස ඇති වුණේ. එතකොට බාප්පා (විජය කුමාරණතුංග) සිනමාවේ ජනප්‍රිය චරිතයක්. පාසල් යන කාලෙදී චිත්‍රපට බලන්න ලොකු උනන්දුවක් නොතිබුණාට තරුණයෙක් වුණාට පස්සෙ චිත්‍රපට බැලීමේ ආසාවක් ඇති වුණා. බාප්පා, අපි හැමෝම අපේ ගෙදර එකටයි ජීවත් වුණේ. ඒ නිසා මට සිනමාවට තිබුණු සම්බන්ධකම නිසාම ඒ ආසාව තදින්ම දැනෙන්න ඇති. ගමේ නාට්‍ය කර කර ඉඳිද්දී වසන්ත කොළඹ ප්‍රසිද්ධ වේදිකාවත් එක්ක සම්බන්ධකමක් තිබුණා. සුදර්ශි ආයතනය ගැන ඔහු මට කිව්වා. ඒ නිසා මමත් සුදර්ශියට ඇවිත් නාට්‍ය කිහිපයකට සම්බන්ධවෙලා කටයුතු කළා. ඔය කාලෙදීම තනි තරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා දවසක් සුදර්ශියට ඇවිත් මාව මුණගැහුණා. ඒ කාලේ තනි තරුව කියන ජනප්‍රිය චිත්‍ර කතාවේ හිටපු චරිතයට සමාන රෑපයක් ඔහු සොයමින් ඉඳලා තිබුණා. ඒ රූපයට ගැලපෙන රූපයක් මගේ තිබුණා. ඉතින් මාව ඒ චරිතයට තෝරා ගත්තා. බාප්පාගේ හැඳුනුම්කමත් ඒක හේතුවක් වෙන්න ඇති.

ඔබ රංගනයට දායක වීම සම්බන්ධයෙන් විජයගේ තිබුණු ප්‍රතිචාර කොහොමද..?
රංගනයට එන්න කලින් ඒ අවදියෙම මගේ අම්මගේ මාර්ගයෙන් මටත් රඟපාන්න අවස්ථාවක් අරගෙන දෙන්න. කියලා මම බාප්පට කියලා තිබුණා. හැබැයි මම ඒක බාප්පට කිව්වෙ නැහැ. මට ඕන වුණේ වෘත්තියක් විදිහට රඟපාන්න නෙමේ. ආසාවක් විදිහට රඟපාන්නයි. ඒ වෙලාවෙදී බාප්පා ඔයාව මම අතින් ඇඳගෙන යන්නෙ නැහැ. මම පාර හදලා දීලා තියෙනවා. ඔයාගේ හැකියාව පෙන්නලා ඔයාට ඉස්සරහට එන්න පුළුවන්. කියලා කිව්වා. හැබැයි බාප්පා මට එහෙම කිව්වට යසපාලිත නානායක්කාර, සෝනියා දිසා වැනි කිහිප දෙනෙකුට මම ගැන කියලා තිබුණා. ඒ අය මාව ඒ අයගේ චිත්‍රපටවලට සම්බන්ධ කර ගත්තා. ජය අපටයි, නැවත හමුවෙමු, ජය සිකුරුයි චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න මට මුල් කාලෙදීම අවස්ථාව ලැබුණා. ඇත්තටම මගේ සිනමා ජීවිතේ දී බාප්පා මට ලොකු සෙවණැල්ලක් වුණා.

පාසල් යන කාලෙදී ජීවන්ගෙ වැඩිපුරම හිත ගියේ කවුරු වෙන්නද..?
පාසල් යන කාලෙදී මට එහෙම ඉලක්කයක් තිබුණෙ නැහැ. සහතිකලත් අධ්‍යාපනයට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට තමයි මගේ වැඩි දක්ෂතාවය තිබුණෙ. ඒ හැම එකකදීම මම නායකත්වය අරගෙන වැඩ කළා. ක්‍රීඩා කණ්ඩායමක හිටියත් ඒ කණ්ඩායමේ නායකයා වුණේ මමයි. බාලදක්ෂ කණ්ඩායමේ නායකයා වුණා. රගර්, බොක්සින් වගේ ඇඟට වෙහෙස දෙන ක්‍රීඩා තමයි මම වැඩිපුරම තෝරාගත්තෙ. ඒ වගේම වජිරා චිත්‍රසේන කලායතනයේ සාමාජිකයෙක් වුණා. පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ නායකයා වුණා. සමහර වෙලාවලදී ඒ ගුරුවරු නැති අවස්ථාවලදී මම තමයි ඒ දේවල් ඉගැන්වුවේ. නායකත්ව ගුණාංගය හැම වෙලේම තිබුණා. මම ඉහළ පන්තිවල ඉගෙන ගනිද්දී ගුරුවරු කතා කරලා ප්‍රාථමික පන්තිවල ළමයින්ට නාට්‍ය පුහුණු කරන්න මට බාර දුන්නා. ඒ වගේ හැම දේකදීම මම ඒවාට සම්බන්ධවෙලා කටයුතු කළා.

කාලයක් ඔබ සිනමාවේ පෙම්වතා වුණා.. එදා කාර්යබහුලත්වය ගැන අද හිතෙන්නෙ කොහොමද..?
මුල් කාලෙදීනම් මම සම්බන්ධ වුණේම දුෂ්ඨ චරිතවලටයි. මට හිතෙන විදිහට දුෂ්ඨයාගේ චරිතය චිත්‍රපට දොළහක පහළොවක විතර රඟපෑවා. ඔය අතරේදී ඒ රාමුවෙන් මිදෙන්න මට ඕන වුණා. මට වීරයා කියන චරිතය රඟපාන්න ඕන වුණා. හැබැයි මට ඒකට කාලයක් යනතුරුම අවස්ථාව ලැබුණෙ නැහැ. මට රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් කියන චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒක සාර්ථක වුණා. නමුත් ඊට වඩා දෙයක් මට කරන්න ඕන වුණා.

ඒ වෙනස ඇති කරන්න හිත හොඳ චණ්ඩියා ලොකු හේතුවක් වුණා නේද..?
ඔව්.. ඇත්තටම හිත හොඳ චණ්ඩියා නිෂ්පාදනය කළේ මමයි. ඒ වෙද්දී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තරම් ලොකු මුදලක් මගේ අතේ තිබුණේ නැහැ. හැබැයි ඒක මගේ ලොකු වෙනසක් ඇති කරන්න හේතු වුණා. ඒ නිසා මගේ ළඟ තිබුණු ජිප් එක රුපියල් පනස් පන්දාහකට විකුණලා ඒ මුදලින් තමයි මම හිත හොඳ චණ්ඩියා චිත්‍රපටය නිෂ්පාදනය කරන්න පටන් ගත්තෙ. එහෙම අමාරැවෙන් කරපු ඒ චිත්‍රපටය වසරේ හොඳම ආදායම් ලබපු චිත්‍රපටය බවට පත් වුණා. එතනින් පස්සෙ මට වීරයාගේ චරිත ගලාගෙන එන්න පටන් ගත්තා. මේ වන විට මම චිත්‍රපට එකසිය පනහකට ආසන්න ගණනක රඟපාලා තියෙනවා. හිත හොඳ චණ්ඩියා තමයි මාව වීරයාගේ ඉලක්කය කරා අරගෙන ගියේ.

සිනමාවේ පෙම්වතා සැබෑ ජීවිතේ දී ෂෙරීන් කියන ඔබේ බිරියගේ පෙම්වතා වගේම සැමියා වුණා. ඇයව ඔබට මුණගැහුණෙ කොහොමද..?
ෂෙරීන් මට මුණගැහුණෙ හරිම අහම්බෙන්. මගේ යාළුවෙක් වුණු ශ්‍රීනාත්ගේ යාළුවෙක් තමයි ෂෙරීන් කියන්නෙ. දවසක් මමයි ශ්‍රීනාතුයි පාරේ යද්දී ෂෙරීන් වාහනයේ යනකොට නවත්තලා ශ්‍රීනාත් එක්ක කතා කළා. ඒ වෙලාවේ ශ්‍රීනාත් ෂෙරීන්ට මාව හඳුන්වලා දුන්නා. ටික දවසක් ගියාට පස්සෙ ෂෙරීන්ගේ ගෙදර තිබුණු පාටියකටත් මට එන්න කිව්වා. මමත් ඒකට ගියා. මුලදී හිතවත් වුණු අපේ ආදරය විවාහය දක්වා දුරදිග ගියා. අපිට දූවරු දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව මල්ෂා. දෙවැනි දුව මලීෂා. ඒ දෙන්නම ඒ අයගේ අධ්‍යාපන කටයු,තු උපාධි කටයුතු අවසන් කරලා තියෙන්නෙ. දෙන්නම විවාහකයි. මල්ෂා දේශපාලනය පැත්තට ටිකක් සම්බන්ධ වුණා. මලීෂා ගුරු වෘත්තියේ නියැලිලා ඉන්නවා.

කලාවේ හිටපු ජීවන් දේශපාලනයට යොමු වෙන්නත් ඔබේ බාප්පගේ ක්‍රියාවන් හේතුවක් වුණාද..?
ඔව්.. ඇත්තටම මගේ තරුණ කාලයෙදීත් මම බාප්පා එක්ක දේශපාලන කටයුතුවල නිරත වුණා. ඒ වගේම පවුලෙන් ලැබුණු දේශපාලන පරිසරය තුළ තමයි අපි හැදුණෙ වැඩුණෙ. මගේ තාත්තාත් ගමේ දේශපාලනය කළා. මගේ සීයාත් දේශපාලනය කළා. ඒ නිසාම මාත් කොළඹට ඇවිත් බාප්පා එක්ක දේශපාලනය කරන්න පටන් ගත්තා. බාප්පා ඝාතනයට ලක් වුණාට පස්සෙ ඒ ඇතිවුණු කම්පනයත් එක්කයි මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වුණේ.

ඔබ වැඩිපුරම කැමති සිනමාවටද..? දේශපාලනයටද..?
මම වැඩියෙන්ම කැමති සිනමාවටයි. රටේ තිබුණු දේශපාලන වාතාවරණයත් එක්ක තරැණයෝ හැටියට ඒ කාලේ අපිට වගකීමක් තිබුණා. බාප්පගේ ඝාතනයත් එක්ක රටට යමක් කරන්න ඕනෙ කියන හැඟීමක් මට ඇති වුණා. ඊට පස්සෙ මම දැක්ක දේශපාලනය තුළ මට ලොකු වගකීමක් පැවරුණා. ඒ වගකීම නිසි ලෙස ඉටු කරන්න මට ඕන වුණා. එහෙම නැතිව මම ඇමැති වරප්‍රසාද භුක්ති විඳපු කෙනෙක් නෙමේ. කලාකරුවෙක් විදිහට මා කෙරෙහි තියපු විශ්වාසය මම රැක්කා. ජනතාව මා කෙරෙහි මුලින්ම විශ්වාසය තිබ්බේ දේශපාලනඥයෙක් විදිහට නෙමේ. කලාකරුවෙක් විදිහටයි. අදටත් මට කිසිම චෝදනාවක් නැහැ. මට විරුද්ධව අධිකරණයේ නඩු ගොනුවෙලා නැහැ. ඒ ගැන මම සතුටු වෙනවා. ජනතාව මම ගැන තබපු විශ්වාසයට මම අගෞරව කරලා නැහැ. ඉදිරියටත් ඒ වගකීම දරමින් මම කටයුතු කරනවා.

කලාවේ බොහෝ කාලයක් රැඳී සිටි ජීවන් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ප්‍රමාද වුණෙත් මේ දේශපාලනය නිසාද..?
ඔව්.. දේශපාලනයට ආවට පස්සෙ කලාවෙන් ටිකක් දුරස් වෙන්න සිදු වුණා. පහුගිය මැතිවරණයට මම සම්බන්ධ වුණේ නැහැ. එහෙම ටිකක් නිදහසේ ඉඳිද්දී තමයි මෙහෙම සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙන්න අවස්ථාව ලැබුණෙ. දැන් ආයෙත් මැතිවරණයක් එන්න සූදානම් වෙනවා. ඒ නිසා මේ සිනමා නිර්මාණය ඉක්මනින් අවසන් කරලා දවසින් දවස උණුසුම් වෙන බේරිල්ලක් නැති මේ මැතිවරණයත් එක්ක ආයෙත් පැටලෙන්න සිදු වෙනවා.

දිශානි ජයමාලී
gossip lanka