gossip lanka

රු.කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ….

මීට මාස කිහිපයකට උඩදී සහරාන් නම් අන්තවාදියා තවත් කිහිප දෙනකු හා එක්ව මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් දියත් කළහ. අන්තවාදය ගැන හෝ ම්ලේච්ඡුත්වය ගැන හාංකවිසියක්වත් නොදන්නා අහිංසකයන් බොහෝ පිරිසක් එම ප‍්‍රහාරයෙන් මරු දුටහ.


සහරාන් පුපුරුවා හැරි බෝම්බ වැලෙන් පසු තවත් අමුතුම වර්ගයේ බෝම්බ කිහිපයක් පිපිරිණි. ඒවා රටේ මිනිස්සු හඳුනා ගත්තේ රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා යන නම්වලිනි. මේවා එසේ මෙසේ බෝම්බ නොව නිතිපතා පුපුරා යන අන්දමේ ඒවාය. කොටින්ම කීවොත් අන්තවාදය පෝෂණය කිරීම සඳහා කළ හැකි සියලූ දේ කරන්නට පෙළගැසී සිටින මේ උදවිය කරන කියන දෑ සී4 පුපුරන ද්‍රව්‍යවලටත් වඩා භයානකය. මේ ගැන අපි බොහෝ සේ කතා කර ඇත්තෙමු. ඉදිරියේදී ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරන්නට ඇති ඉඩකඩ ද වැඩිය. මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. පාස්කු ප‍්‍රහාරයෙන් පසු රටේ ආන්දෝලනයක් ඇති කළ අර්බුදයක් වූයේ ‘‘නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලයයි.’’ බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගමේ මැදිහත් වීමෙන් එම විශ්වවිද්‍යාලය ඉදිකරගෙන යමින් තිබිණි.

බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනයට (Batticaloa Campus (PVT) (LTD) සෞදි අරාබිය හරහා ලැබී ඇති බිලියන හතරකට අධික මුදලක් මෙරට ප‍්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවකට බැර කර තිබිණි. එහෙත් මේ වනවිට එම ගිණුමෙහි ඉතිරිව ඇත්තේ රුපියල් 36,000 ක මුදලක් පමණි. මේ බව අනාවරණය කරගෙන තිබුණේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයයි.

ආණ්ඩුකාරවරයකු වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මේ ගනුදෙනුව කළ ආකාරය බරපතළ සැකකටයුතු බව එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ පාර්ලිමේන්තු කාරක සභාවද මීට පෙර අවස්ථාවක පවසා තිබිණි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පසුගිය 26 වැනිදා දැනුම් දී ඇති ආකාරයට 2016 ජනවාරි මස 14 වැනිදා සිට 2019 මැයි මස 31 වැනිදා දක්වා කාලසීමාවේ අවස්ථා 206 කදී එම ගිණුමට රුපියල් කෝටි 444 ක් බැරවී තිබේ. එම මුදලින් අවස්ථා 825 කදී මුදල් ඉවත් කරගෙන ඇති අතර මේ වනවිට එම ගිණුමේ ශේෂය වන්නේ රුපියල් 36,298,47 කි.

සල්ලි ආවේ කොහෙන්ද?

මෙම මුදල් සවුදි අරාබියේ ෂෙයික් අල් රෂාඞ් අබ්දුල් අෂීස්, ෂෙයික් හලීඞ් ඩාවුඞ්, අබු සාලිත්, ෂෙයික් ෂෙරාස් නසීර්, ෂෙයික් ලිමාන් අලි අල් ජූෆාලි හා ෂෙයික් අලි අබ්දුල්ලා අල් ජුෆාලි යන පුද්ගලයන් අවස්ථා හතරකදී පොලී රහිත ණය මුදල් ලෙස ලබා දුන් බව ඒ ගැන විමර්ශන කණ්ඩායම් විමසීමේදී හිස්බුල්ලා ප‍්‍රකාශ කර තිබිණි. ශී‍්‍ර ලංකාවේ නීතිය අනුව දරුණු ගණයේ මුල්‍ය අපරාධයක් මෙහිදී සිදුව ඇති බව සිහිබුද්ධිය ඇති ජනතාවගේ දැන ගැනීම පිණිස අප සටහන් කළ යුතුව ඇත. ඒ, හිස්බුල්ලා එම ණය මුදල් පිළිබඳව අදාළ බැංකුව හෝ ශී‍්‍ර ලංකා මහ බැංකුව කිසිදු ආකාරයකින් දැනුම්වත් කර නොතිබීම නිසාය. එපමණක් නොව එම විදේශ මුදල්වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 කට ආසන්න මුදලක් බැටිකලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී තිබේ.

මේ මුදල් බැංකු පද්ධතිය හරහා පැමිණියේද, නොඑසේ නම් මේ තරම් විශාල මුදල් ප‍්‍රමාණයක් කවර ආකාරයකින් මෙරටට පැමිණියද යන්න පුළුල්ව සොයා බැලිය යුතු කාරණයකි. අනෙක් අතට එම මුදල් යොදවා ඇත්තේ කවර ව්‍යාපෘති සඳහා ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු බව අපේ විශ්වාසයයි.

අදාළ ගිණුමට බැරවී ඇති මුදල් අතුරින් රුපියල් කෝටි 364 ක් අවස්ථා හතරකදී සෞදි අරාබියේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා අල්ජුෆාලි ජෙඩා නමැති ආයතනය විසින් බැර කර ඇතැයි කියති. මෙම ගිණුමට අදාළ මුදල් ලැබීම සිදුවී ඇති ආකාරය සහ එම මුදල් වියදම් කර ඇති ආකාරය ගැන වැඩිදුරටත් විමර්ශනය කරමින් පවතින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය බී වාර්තාව මගින් අධිකරණයට කරුණු සඳහන් කර තිබිණි.

අධිකරණයෙන් ලබා ගත් නියෝගයට අනුව ‘බැටිකලෝ කැම්පස් පෞද්ගලික සමාගම’ නමින් අදාළ බැංකු ශාඛාවේ බැංකු ගිණුමකට අදාළ ගිණුම් ප‍්‍රකාශන හරහා බැරපත් චෙක්පත් මැන්ඬේට් පත‍්‍ර අත්සන් කාඞ්පත් ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලබාගත් බවත්, එම තොරතුරු පරීක්‍ෂා කිරීමේදී ඉකුත් 2016 ජනවාරි මස 04 වැනි දින එම සමාගම විසින් ශී‍්‍ර ලංකා රුපියල් මගින් ගනුදෙනු කළ හැකි ජංගම ගිණුමක් ආරම්භ කර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව එම ගිණුම ආරම්භ කිරීම සඳහා එහි සභාපති මොහොමඞ් ලෙබ්බේ අලි මොහොමඞ් හිස්බුල්ලා යන අයද එහි අධ්‍යක්‍ෂවරයා වන හිරජ් හිස්බුල්ලා යන අයකු ද සම්බන්ධ වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණය කර තිබිණි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර ඇති පරිදි බැටිකලෝ කැම්පස් පෞද්ගලික සමාගම නමින් මඩකලපුව ප‍්‍රදේශයේ ඉදිකරන එම විශ්වවිද්‍යාලය සඳහා අදාළ ඉඩම බදු පදනම මත ලබාදී ඇත්තේ ශී‍්‍රලංකා මහවැලි අධිකාරියයි. එම බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි 2018 වර්ෂයේ අත්සන් තබා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාය.

‘‘ටෙක් එක්’’ කැම්පස් වූ හැටි

අදාළ ආයතනය වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස 2014 වර්ෂයේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගනිමින් ආරම්භ කර ඇත්තේ ‘හීරා ෆවුන්ඬේෂන්’ නම් ආයතනයි. එහි සභාපතිත්වය දරා ඇත්තේ ද එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාය. හීරා පදනම හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත්තේ වසර තුනකටය. ඒ අතරවාරයේ ‘වෘත්තීය පුහුණු ආයතනයක්’ ලෙස නම් කළ අදාළ ආයතනය විශ්වවිද්‍යාලයක් බවට ඉතා සූක්‍ෂ්ම ලෙස නැතහොත් කපටි ලෙස මාරු කරන්නට අදාළ පාලකයන් (හිස්බුල්ලා ද ඇතුළුව) කටයුතු කර ඇත්තේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට පවා නොදන්වාය. ඒ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සහ ශී‍්‍ර ලංකා සමාගම් පනත යටතේ මෙම විශ්වවිද්‍යාලය උපාධිය ප‍්‍රදානය කිරීමේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක කිරීමටය. ඒ 2015 ජුනි 03 වැනිදා සිටය. 2015 ජනවාරියේ පත්වූ යහපාලන ආණ්ඩුව හැමදේම වරද්දාගත් ලෙස මෙවරද වරද්දාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම, වඩාත් බරපතළ කාරණය වන්නේ එම කි‍්‍රයාවලියේද අවලස්සන වරදක් සිදුව තිබීමයි. එනම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්ව මෙහෙයුම් කටයුතු සිදු කළ යුතුව තිබුණ ද ඊට ඉඳුරාම වෙනස් ඇමැති ධුරයක් දැරූ මුස්ලිම් ඇමැතිවරයකුට පැවරුවේ ඇයිද යන්නය. එමෙන්ම බැටිකලෝ කැම්පස් ආයතනයට නීත්‍යනුකූලව දී තිබූ අක්කර 35 ට අමතරව අක්කර අටක භූමි ප‍්‍රදේශයක් නීත්‍යනුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැඟිලි ඉදිකර ඇති බවත්, තව අක්කර 15 ක් විවිධ ඉදිකිරීම් සඳහා හෙළි පෙහෙළි කර තිබූ බවත් මීට පෙර අනාවරණය වී තිබිණි.

විනිමය පනතත් රවට්ටලා

සියලූ කාරණා එකින් එක ගත් විට පැහැදිලිව කිව හැක්කේ බැටික්ලෝ කැම්පස් (නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය) ආයතනය මේ රටේ නීති රීති තඹයකට මායිම් නොකර ඉදිකරන්නට කටයුතු කර ඇති බවය.

බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන්නේ හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඞ් හිරාස් හිස්බුල්ලා පිය – පුතුය. මේ දෙදෙනා සෞදියෙන් ලැබුණු මුදල් ගැන කරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පරය. එය මේ ගැන අනාවරණය වූ මුල් දිනවල ප‍්‍රවෘත්ති වාර්තා අධ්‍යයනය කළ විට වටහා ගත හැක.

බරපතළ ගැටලූව වන්නේ මෙවැනි අන්තවාදීන්ට, වංචනිකයන්ට අවශ්‍ය පරිදි මේ රටේ නීති පද්ධතිය පවා සැකසී තිබීමය.

1953 වර්ෂයේදී විදේශ විනිමය පාලන පනත නමින් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලදී. එම පනත ගෙන එන ලද්දේ විදේශ විනිමය ආරක්‍ෂා කිරීමේ වගකීමට ආණ්ඩුවක් ඉතා දැඩි ලෙස බැඳී සිටින බැවිනි. විදේශ විනිමයේ වැදගත්කම සළකමින් එය ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යටතේ පාලනය විණි. මහ බැංකුවේ ‘‘විදේශ විනිමය පාලන දෙපාර්තමේන්තුව’’ ලෙස වෙනම අංශයක් ගොඩනැගෙන්නේද ඒ අනුවය. ඒ අනුව කිසිවකුට වුවමනා ආකාරයට විදේශ විනිමය ගෙන එන්නත්, විදේශවිනිමය ගෙන යන්නත් හැකියාවක් තිබුණේ නැත. 2001-2003 වර්ෂයේ එවක පාලන බලයේ සිටි ආණ්ඩුව විනිමය පාලන පනත අවලංගු කිරීමට පනතක් ගෙන ආවේය. කෙසේ හෝ රටට ආදරය කරන නීතිවේදීන්ගේ මැදිහත්වීමෙන් එම පනත සම්මත කර ගැනීම වැළකිණි. එහෙත් 2003 බැරිවුණු දේ 2017 ගෙන ඒමට වත්මන් ආණ්ඩුව සමත් විය. 2017 අංක 17 දරණ විදේශ විනිමය පනත ලෙස හැඳින්වෙන්නේ එම පනතයි.

අප විශ්වාස කරන්නේ මෙම පනත පැරණි පනත තරම්ම ශක්තිමත් නොවන එකක් බවයි. පසුගිය දිනවල, සහරාන්ලාට, හිස්බුල්ලාට මුදල් ගලාගෙන ආ ආකාරය ගැන බරපතළ ගැටලූ මතුවිණි. පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු අධිපතිගෙන්ද මේ ගැන ප‍්‍රශ්න කළේය.

එහිදී මහ බැංකු අධිපතිවරයා කීවේ, බොහෝ ගනුදෙනු බැංකු හරහා සිදු නොවන බවය. එහෙත් පෙර පැවැති තත්ත්වය වෙනස්ය. එම තත්ත්වය තුළ විදේශ විනිමය ගෙන ඒම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අනුමැතියෙන් සිදුවිය යුතුව තිබිණි. එමෙන්ම විනිමය පාලන අධිකාරියේ අනුමැතියද ඊට අවශ්‍ය වී තිබිණි. කිනම් බැංකුවකින් ගනුදෙනු කළද එම මුදල් කවරෙකු විසින් එවනු ලැබූවක්ද, කොහොමද ආවේ, කවුරුන් විසින් ද යන තොරතුරු ද වාර්තා විය යුතුව තිබිණි.

ශී‍්‍ර ලංකාව ඉතාම නරක ආර්ථික ප‍්‍රපාතයකට ගමන් කරමින් සිටියදී අපි විහිළු සපයන පාලකයන්ට හුරේ දමමින් සිටිමු. හිස්බුල්ලා වැන්නවුන් පිනුම් ගසමින් අන්තවාදය වපුරන්නේ මෙවැනි පසුබිමකය.

‘බැටික්ලෝ කැම්පස්’ පිළිබඳව පසුගිය ජුනි මාසයේ 12 වැනිදා අතුරලියේ රතන හිමියෝ මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලයට ගොනු කළ පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එම පැමිණිල්ල යොමු කර තිබිණි. අතුරලියේ රතන හිමියන් පවසන්නේ වහාම මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත යුතු බවය. එය ප‍්‍රායෝගික ඉල්ලීමකි. එහෙත් එය තවත් ‘සයිටම්’ කතාවක් බවට පත් විය යුතු නැති බව අපි අවධාරණය කර සිටිමු.

Divaina
gossip lanka