gossip lanka

ගෝඨාට මගේ අකමැත්තක් නෑ... සජිත් බෞද්ධ නායක යෙක්... මෛත‍්‍රි ගැන මට තියෙන්නෙ ගෞරවයක්... බොදු බලයේ තීන්දුව ඥාණසාර හිමියෝ පවසති

උන්වහන්සේට අතිශය කාර්යබහුල දිනයක ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ උන්වහන්සේව බැහැදැක්කෙමු. ඒ පසුගිය (12 වැනිදා) බ‍්‍රහස්පතින්දා ය. බොදුබල සේනා සංවිධානයේ තරුණ සමුළුවට දින දෙකක් මෙපිටදී වුවද අපගේ සම්මුඛ සාකච්ඡාව සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉඩ වෙන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරණය මෙන්ම තවත් කරුණු කාරණා ගැන ද කුඩා සාමණේර දෙනමට පහරදීමේ සිදුවීම ද අපි උන්වහන්සේගෙන් විමසා සිටියෙමු. පහතින් පෙළ ගැසෙන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

  ප‍්‍රශ්නය - අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පසුගිය සමයේ වැඩි සද්දයක් බද්දයක් නැතුවා හිටියා වගේ තමයි දැනෙන්නේ...

 පිළිතුර - සද්ද බද්ද කෙසේ වෙතත් ඉතාම අවිවේකී දින ගණනාවක් තමයි ගෙව්වේ. අගෝස්තු මාසයේ කොළඹ හිටියේ දවස් දෙක තුනක් විතරයි. අපි රට වටේ ධර්ම දේශනා, බොදු සමුළු පවත්වමින් ජනතාවට කතා කළා. මාධ්‍යවල පෙනී නොසිටියත් අපි වැඩ ගොඩක් කළා.

 ප‍්‍රශ්නය - ඇත්තටම ජනතාව කතා කරන්නෙත් ඔබවහන්සේ මාධ්‍ය තුළ පෙනී නොසිටීම යන කාරණයයි. ඇත්තටම මාධ්‍යවල පෙනී නොසිට වැඩ කළාද? එසේ නොමැති නම් මාධ්‍යවල වැඩි ඉඩකඩක් ඔබවහන්සේට නොලැබුණාද?

 පිළිතුර - මේ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු කොට්ඨාශයක්නේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද වෙද්දී මොකක්දෝ අමුතු ඇටයක් වෙලා. ධර්මපාලතුමා කිව්වා වගේ වැඩිපුර කතා කළත් බණිනවා. කථා නොකර හිටියත් බණිනවා. වැඩ කළත් බණිනවා. වැඩ නොකර හිටියත් බණිනවා. මේක ඉවසන්න පුළුවන් නම් විතරයි රටට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. මාධ්‍ය ඉඩ දෙන මෙන්ම නොදෙන අවස්ථාත් තිබෙනවා. කෙසේ නමුත් අපි හැම දෙයක්ම ඉවසා දරාගෙන රට ආගම ජාතිය වෙනුවෙන් කැපවී අපට පැවරී ඇති වගකීම අකුරටම ඉටු කරනවා.

 ප‍්‍රශ්නය - පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් ගැන ඔබවහන්සේ සෑහීමකට පත්වෙනවද?

 පිළිතුර - මෙහෙමයි. අපි පැති ගණනාවකින් ඒ ගැන බලන්න ඕනෑ. අපිට සියයට සියයක් සෑහීමකට පත් වෙන්න බැරි වුණත් සතුටුවිය හැකි කාරණා තිබෙනවා. නමුත් අපට ඇති ප‍්‍රශ්නය තමයි තහනම් කළ යුතු සංවිධාන පනහක් විතර තවම තහනම් නැහැ. මේ ඔක්කෝම එකම අයිඩියෝලොජ් එකක්. සැවොම කතා කරන්නේ වහාබ්වාදය ගැනයි. එය විතරක් නෙමෙයි. සලභිසම්, වහාබිසම්, ඊහුවාන් මුස්ලිම් සහ ජමානේ ඉස්ලාම් මේවා තමයි උම්මත්තක අංගවිකලයන් බිහිකරන මතවාද හතර. මේ හතරම රට තුළ ක‍්‍රියාත්මකයි. එකම පාන්පිටිවලින් එක එක කෑම හදනවා වගේ තමයි මේවා. මේවා වළක්වන්න ආණ්ඩුව තවම අසමත්. අපි අවුරුදු ගණනාවකට කලින් සාක්‍ෂි සාධක සහිතව කියූ දේවල් අද චිත‍්‍රපටයක් වගේ සිදුවෙමින් තිබෙනවා. මෙතරම් විනාශයක් වෙලා තිබියදීත් දේශපාලනඥයෝ ඒ අමිහිරි සිදුවීම් තමන්ගේ වාසියට හරවා ගනිමින් ඉන්නවා. මෙය කොච්චර කැතද? මෙතරම් විනාශයක් රටට වෙලා තිබියදීත් මේ අන්තවාදී උවදුර නසන කිසිදු වැඩසටහනකට, රැස්වීමකට, විද්වත් සභාවකට අපිට ආරාධනාවක් නැහැ. ඒ මොකක් නිසාවත් නෙමෙයි. ඒ කුහකකම නිසයි. මොනවා වුණත් අපි ජාතිය වෙනුවෙන් තැබූ පියවර ආපස්සට ගන්නේ නැහැ. කවදා හරි අපිට අපේ ඇස් දෙකෙන් දකින්න නොලැබුණත් අපේ අපේක්‍ෂා ජයග‍්‍රහණය කර ගන්න අපි අධිෂ්ඨානයක් සමග වැඩ කරනවා.

 ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරයත් සමග මුස්ලිම් සමාජය තුළ පැවැති ඇතැම් ක‍්‍රියාකාරකම් යටගිය බවක් දක්නට ලැබුණා. නමුත් දැන් ඒවා නැවත ටිකින් ටික ක‍්‍රියාත්මක වන බවට දකින්නට පුළුවන්.

 පිළිතුර - සුළු ජාතික බලවේගවලට බයේ අපිට ජීවත් වෙන්න බැහැ. අනිත් එක අපි මේ උද්ධච්චකමට බියවිය යුතු නැහැ. මෙය හලාදාන්න පුළුවන් වගේම එය තලා දාන්න ඕනෑ. 2050 දී හරි මේක කවුරු හරි අල්ලන්න ඉන්නව නම් අපි කියනවා එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. හූල්ල හූල්ල ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනෑ. කටින් බතල නොසිටුවා කොයි කවුරුත් තම තමන්ගේ ජාතික වගකීම ඉටු කළ යුතුයි.

 ප‍්‍රශ්නය - ඒ සඳහා වන කාර්යයේදී රජයේ මැදිහත්වීම පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?

 පිළිතුර - අඩු වැඩි වශයෙන්, අතීත සිදුවීම් වලින් හිත පාරවා නොගෙන හෙට දවස ආරක්‍ෂිතව ගොඩනඟා ගත හැකි වැඩපිළිවෙළක් ගැන කල්පනා කළ යුතුයි. ඒ වැඩපිළිවෙළ අපි දැන් ගොඩනඟාගෙන තිබෙනවා.

 අපේ භික්‍ෂුන් වහන්සේලා දේශපාලනඥයන්ගේ අකුණු සන්නායක නොවිය යුතුයි. මෙච්චරකල් කඬේ ගියා ඇති. ජාතියට ඉල්ලන්නේ දේශපාලන පක්‍ෂවලට රැකවරණය සලසන හාමුදුරුවරු නෙමෙයි. මිනිස්සුන්ට ඕන ජාතියට රැකවරණය සැලසිය හැකි හාමුදුරුවරු වගේම ජාතික වැඩපිළිවෙළක්. ඒ සඳහා රටේ නායකයන් ගොනුකර ගන්න නම් අපේ හාමුදුරුවරු උජුපටිපන්න ලෙස සංඝ සාමග‍්‍රියට පත් වී විවෘතව මේ ප‍්‍රශ්න කථා කළ යුතුයි. එහෙම නැතිව අරූ මිනීමරුවා අනිත් එකා නිධන් හොරා කිය කිය ඉඳලා වැඩක් නැහැ. වචනයක් නාහන නායකයෙක් රටේ නැහැ. මුළු සමාජයම කුණුවෙලා, රටේ තරුණ පිරිස් ඇතුළු හැමෝම හරි තීරණය ගත යුතුම වෙලාව මෙයයි. ඉදිරි ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක එකක්.

 ප‍්‍රශ්නය - ජනාධිපතිවරණය තීරණාත්මක බව ඔබවහන්සේ සඳහන් කරනවා. ඒ සඳහා ඔබවහන්සේ ඉදිරිපත් වන්න සූදානමක් තිබෙනවාද?

 පිළිතුර - ඒ ගැන අපි 14 වැනිදා (සෙනසුරාදා) රටට කියනවා. මිනිස්සු විකල්පයක් ගැන සොයනවා.

 ප‍්‍රශ්නය - සෙනසුරාදා තිබෙන වැඩසටහන කුමක්ද?

 පිළිතුර - අපේ තරුණ සමුළුව 14 වැනිදා තිබෙනවා. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී එය පවත්වනවා. එදාට අපි අපේ මතය කියනවා. මෙම සමුළුවේදී ශබ්ද විකාශන යන්ත‍්‍ර වෙනුවට බෆල් පමණක් යොදා ශබ්දය අඩු කිරීමට කටයුතු කරනවා. ඒ අපි ශබ්ද දූෂණයට විරුද්ධ නිසයි. අපි ආදර්ශයක් ලබාදෙනවා. ඇත්තටම මහා සද්දෙන් පිරිත් දානවටවත් මම එකඟ නැහැ. ඒ වගේම අපි පොලිතින් භාවිත කරන්නෙත් නැහැ. හැමගෙන් අපි ඉල්ලා සිටින්නේ පරිසර හිතකාමීව කටයුතු කරන ලෙසයි. එදිනට ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී අප කළ යුත්තේ කුමක්ද යන්න මත විමසුමක් කරනවා. ඒ ප‍්‍රශ්නාවලියක් ලබා දීමෙන්. මේ යුගයේ අපට ගොඩනඟන්න පුළුවන් ඉහළම ජාතිකවාදී බලවේගය අපි ගොඩනඟනවා. එහි වැදගත් වෙන්නේ නායකයෝ නෙමෙයි වැඩපිළිවෙළයි. හුදකලා සටන් මේ වෙලාව් අවාසිදායකයි. සිංහලයට 1815 - 18 හැම අවස්ථාවකම වැරදුණේ තමන්ගේ දුර්වලකම නිසයි. වැඩ කරන්න ඕනේ අපිව බෙදන්න පිරසක් ඉන්න බව දැනගෙනයි. ඒ වගේම තම තමන්ගේ සීමාවන් දැනගෙනයි. දැන් බලන්න ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට ජාතිය ඉලක්කගත කරනවා වෙනුවට එක එක අය සංවිධාන හදනවා. දැන් තියෙන්නේ සංවිධාන තරගයක්. වැඩපිළිවෙළක් ඇති සංවිධානයක් ශක්තිමත් කරන්න කටයුතු කරනවා වෙනුවට කරන්නේ වෙන වැඩයි. බුදුහාමුදුරුවොත් කියනවනේ ‘‘නස්සන්ති බහු නායක’’ කියලා. නායකයෝ ගොඩක් හිටියහම විනාශ වෙනවා. හරක් රැළකටත් නායකයෙක් ඉන්නවානේ.

 ප‍්‍රශ්නය - හොඳයි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සහ ජනාධිපති අපේක්‍ෂකයකු වන නාගහනන්ද මහතා එකට සිටන ඡායාරූපයක් සමාජ ජාලා මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. ඇතැමුන් ඒ ගැන චෝදනා කරන්නේ ඔබවහන්සේ හා ඔහු අතර ඞීල් එකක් තිබෙන බව කියමිනුයි. ඇත්තටම එය ඞීල් එකක් ද?

 පිළිතුර - වර්ධරාජා පෙරුමාල් එක්ක මහින්ද මහත්තයට කතා කරන්න පුළුවන්. කරුණා අම්මාන් එමිල්කාන්තන් එක්කත් පුළුවන්. නමුත් ඇයි එහෙම කළේ කියලා මහින්ද මහත්තයාගෙන් අහන්නේ නැහැනේ. ලෝක මුස්ලිම් ලීගයේ නායකයෝ පසුගියදා ලංකාවට ආවා. අපේ හැම නායකයම ගිහින් හරි අපූරුවට ඔවුන් සමඟ කථා කළා. කවුරුත් ඒ අයගෙන් ප‍්‍රශ්න කරන්නේ නැහැනේ. ඇයි මේ අපිට විතරක්. අපිට මිනිස්සු එක්ක කතා කරන්න බැරිද? ආරාධනාව ආවහම ඒකට සහභාගි වෙන්න බැරිද? එය අපරාධයක් ද? මිනිස්සු තේරුම්

 ගන්න පුළුවන් වෙන්නේ ආශ‍්‍රය කිරීමෙන්. මම නම් ඕනම කෙනෙක් එක්ක කතා කරනවා. භික්‍ෂුන් වහන්සේලා ලෙස අපිට කා එක්කවත් තරහ වෙලා ඉන්න බැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ‘අවිරුද්ධං විරුද්ධේසු’’ කියලයි. විරුද්ධ වූ අය අතරින් විරුද්ධ නොවී සිටින කෙනයි භික්‍ෂුව.

 ප‍්‍රශ්නය - හාමුදුරුවනේ, තවත් සඳහන් වන චෝදනාවක් තමයි, ඔබවහන්සේ එක පාර්ශ්වයකගේ ඡුන්ද කඩන්න කටයුතු කරමින් සිටින බව. එක පාර්ශ්වයක් කියන්නේ ගෝඨාභය මහත්තයාගේ. එය ඇත්තක්ද?

 පිළිතුර - මට තවම නැත්තේ මිනීමරු චෝදනාවක් විතරයි. 2012 සිට ඔය කතාවම කිව්වේ. අදත් ඕකම කියයි. මට කියන්න තියෙන්න් නත්ථි ලොකෝ අනන්දිනෝ යන බුදු වදනම තමයි, මේ ලෝකේ නින්දා හෙළවෙන්නෙත් නැහැ. අපිව ඔච්චර විවේචන කරන්නේ අපිට දැනිච්ච නිසානේ. මේ මිනිස්සුන්ට බුද්ධාගම කොහේද තියෙන්නේ. වසර 70 ක් රට නැතිවුණේ මේ නිසයි. කොහොම වෙතත් තරුණ පරපුර ප‍්‍රමුඛ රටේ ජනතාව අලූත් අලූත් විකල්පක් හදනවා. අපි ඉන්න පුළුවන් රටක් හදන්න ඕනෑ. ඒ සඳහා අපට වැඩපිළිවෙළක් තිබෙනවා. අලූත් අවස්ථාව සොබාදහම විසින්ම මතු කරමින් තිබෙනවා.

 ප‍්‍ර‍්‍රශ්නය - ඔබවහන්සේට ජනාධිපති සමාව දුන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි. මෙවර ජනාධිපතිවරණය සඳහා ඔහු ඉදිරිපත් වුණොත් කෘතගුණ දක්වන්න එතුමාට සහාය දෙන්න බලාපොරොත්තු වෙනවද?

 පිළිතුර - 2015 දී අපි එතුමාව විවේචනය කළා. ඉන් පසුත් විවේචන කළා. එතුමා ගැන මට ලොකු ගෞරවයක් තිබෙනවා. ඒ ගෞරවය මට දෙන්න බැරි නම් මම කථා කරන එකේ වැඩක් නැහැ. මම එතුමාට ගරු කරන්නේ අපිව පාවිච්චි නොකිරීම පිළිබඳවයි. අඩුම ගානේ එක ඉඟියකින් හෝ දූතයකු මගින් හෝ අපෙන් උදව්වක් ඉල්ලලා නැහැ. ඒ ගැන මට තිබෙන්නේ පුදුම ගෞරවයක්.

 මේ වෙලාවේ රට සුද්ධකරන්න පුළුවන්. ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න පුළුවන්. සෘජු තීරණ ගන්න පුද්ගලයාව රට තෝරා ගත යුතුයි. අපේ වෑයම වෙන්න ඕනත් එයයි. හාමුදුරුවරු වුණත් කළ යුත්තේ එයයි. අපි පිල් බෙදනවට වඩා එක පිළකට ඇවිත් මෙයාව නායකයා කළ යුතු බව කියන්න ඕනෑ.

 ප‍්‍රශ්නය - ඔබවහන්සේගේ හිතේ එහෙම නායකයෙක් ඉන්නවද?

 පිළිතුර - දැන් ක‍්‍රිකට් ටීම් එකට කරගත්ත වැඬේ කරගන්න නරකයි. එක පැත්තකින් දැන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇවිත් ඉන්නවානේ. මම හිතන්නේ මිනිස්සු වඩා ඒකට කැමතියි. දේශාපාලකයෙක් නොවන ගෝඨාභයට මිනිස්සු කැමැතියි.

 ප‍්‍රශ්නය - කෙළින් උත්තරයක් දෙන්න හාමුදුරුවනේ. ඔබවහන්සේ ඔහුට කැමැතියිද?

 පිළිතුර - මගේ පුද්ගලික මතය මමත් කැමැතියි. ඒක මගේ පුද්ගලික මතය. හැබැයි අපේ සංවිධානය තාම කථා කරලා තීන්දුවක් ගෙන නැහැ. අපි බොරු කථා කරන්න ඕන නැහැ. අපි හාමුදුරුවරු. අපි ගාව හිඞ්න් ඇජෙන්ඩා (සැඟවුණු න්‍යාය පත‍්‍ර) නැහැ. අනිත් පැත්තෙන් සජිත් මහත්තයා ඉන්නවා. හරි අමාරුයි මෙය තේරුම් ගන්න. එයත් සිංහල බෞද්ධ. ඔහු වටාත් බලවේග පෙළගැහිලා තිබෙනවා. අපි බලන්න ඕන වඩා හොඳ කවුද කියලා. හාමුදුරුවරු සියයක් සමඟ කථා කළොත් ඔවුන්ගේ මතය මොකක්ද කියලා තේරෙනවනේ. හෙට දවසේ මොකක්ද වෙන්නේ කියලා කියන්න බැහැ. ඒ ගැන අදහසක් දක්වන්න වේලාසන වැඩියි.

 ප‍්‍රශ්නය - හොඳයි මෛත‍්‍රී මහත්තයා ඔබවහන්සේ පාවිච්චි නොකළ බව සඳහන් කළා. එ.ජා.ප. පාර්ශ්වයෙන් එහෙම පාවිච්චි කිරීමේ උත්සාහයක් තිබෙනවාද?. මම එසේ විමසුවේ සමාජ ජාලා තුළ එහෙම චෝදනාවක් සැරිසරන නිසයි.

 පිළිතුර - අනේ ඉතින්...... මම ගොපල්ලෙක් වෙන්න උවමනයිද? අපිව අල්ලේ නටවන්න කාටවත් බැහැ. අපට දර්ශනයක්, වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ අනුව අපි වැඩ කරනවා.

 ප‍්‍රශ්නය - රටේ නායකත්වයට ඕන කොයි වගේ මිනිහෙක් ද හාමුදුරුවනේ.

 පිළිතුර - රෝගී වූ මේ මුළු සමාජ දේහයම සුවපත් කරන්න පුළුවන් මිනිහෙක් තමයි රටට ඕනෑ. ඔහුට දර්ශනයක් තිබෙන්න ඕනෑ. පවුල් ගොඩනොනඟන, කේලාම් අහන්නේ නැති, ප‍්‍රවේශමෙන් වැඩ කරන, මහල්ලෙක් නොවන කෙනෙක් රටට ඕනෑ. මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස කරන්න ගිහින් අත්දැකීම් නැති කට්ටියක් දාලා ක‍්‍රිකට් මැච් එක පැරදුණා වගේ රට පරද්දන්න වට්ටවන්න බැහැ. එය තේරුම් ගත යුතුයි. ඒ නිසා කුසලතා පූර්ණ අඩුම තරමේ පශ්චාත් උපාධියක්වත් තිබෙන මිනිහෙක් රටේ නායකයා විය යුතුයි. මේ සඳහා ජාතික කතිකාවතක් අවශ්‍යයි.

 ප‍්‍රශ්නය - ඔය කියන කුසලතා පූර්ණ මිනිහෙකුට මේ රටේ ජයග‍්‍රහණය කරන්න ඉඩක් තිබේවි යැයි හිතනවද?

 පිළිතුර - ඉඩක් නැත්නම් ඉඩක් හදා ගත යුතුයි. අපිට බැහැ කියල දෙයක් නැහැ. සිංහලයෝ ටික එකතු වුණොත් ඒ දේ කළ හැකියි.

 ප‍්‍රශ්නය - ඒ ගැන විශ්වාසයක් තිබෙනවද?

 පිළිතුර - මේ බලමුළු ගොඩනැෙඟන දිහා බැලූවාම එය අසීරු නැහැ. එය කරන්න පුළුවන්. අපට එය කළ හැකියි.

 ප‍්‍රශ්නය - හොඳයි අපේ හාමුදුරුවනේ. අපි දේශපාලනයෙන් මඳක් මෑත් වී වෙන දෙයකට යොමු වෙමු. කුඩා සාමණේර හිමිවරු දෙනමකට ගිහි පුද්ගලයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් රටම කම්පාවට පත් කළා. මෙම සිදුවීම ඔබවහන්සේ දකින්නේ කොහොමද?

 පිළිතුර - ඔය එක සිදුවීමක් පමණයි. අපි නොදකින ඔය වගේ සිදුවීම් කොපමණ ඇතිද? ඒ පුංචි උන් දෙන්නගේ කඳුළු කථාව මේ පිරිහෙමින් ඇති සංඝ සමාජයේ කඳුළු කථාවයි. ඉතින් අපි ඒ ගැන විවෘතව කථා කළ යුතු නැහැ. ඒ ශාසනික ප‍්‍රශ්න පොහොය ගෙවල්වල කථා කළ යුතු දේවල්. රටේ සියල්ල පිරිහෙද්දී හමුදුරුවරු එසේ නොවී සිටින්න බැහැනේ. සියල්ල පිරිහිලා. ශාසනෙත් පිරිහිලා. ඇත්ත එයයි. හුඟක් හාමුදුරුවරු බුද්ධාගමේ නැහැ. දර්ශනය තුළ නැහැ. ෆිලසෝපි එක ගැන කී දෙනාද ෆලෝ කරන්නේ. විශාල කඩාවැටීමක් තිබෙනවා. ජාතියට වගේම ශාසනයටත් නායකයකු නැහැ. එය රුවල් බිඳුණු කැප්ටන් කෙනෙක් නැති නෞකාවක් වගේ. නිකායවලට නායක හාමුදුරුවරු ඉන්නවා. පොදුවේ ශාසනයට වගකියන්නෙත් නැහැ. මේ ගැන සංඝායනාවකට හොඳම කාලය මෙයයි. මේ තරම් පිරිහුණු වෙලාව වුණත් අපේ භික්‍ෂුන් වහන්සේලාට ජාතිය වෙනුවෙන් තිබෙන වගකීම පැහැර හරින්න බැහැ. අපේ අතින් වරදක් අඩුපාඩුවක් වුණත් ජාතික වගකීම ඉටුකළ යුතුයි. ජාතිය බේරගන්න ඒ වෙනුවෙන් වරදක් කර අපායේ ගියත් හොඳයි කියලයි මට හිතෙන්නේ. පාපයෙන් ලැබෙන විපාකය දුක්බර වුණත් ජාතිය වෙනුවෙන් ඒ දුක උහුලගෙන අප රට, මේ බුද්ධ භූමිය ආරක්‍ෂා කර ගන්න කටයුතු කිරීම හොඳයි කියලයි මට හිතෙන්නේ.

 සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
දිවයින
gossip lanka