gossip lanka

මත්පැන් සාදයේදී ඇතිවූ සිගරට් එකේ ගැටුම ඇවිලීමෙන් තිදරු පියා අවසන් ගමන් යයි

සුරාව පානය කර සාදයක් පැවැති අතරතුර දී සිගරැට්ටුවක් උරමින් සිටි අයකුගෙන් එම සිගරැට්ටුව ඉරීමට ඉල්ලූ විට එය නොදුන්නා යැයි උරණ වූ පුද්ගලයකු සිගරැට්ටුව උරමින් සිටි පුද්ගලයා සමග බහින් බස් වීමෙන් අනතුරුව මන්නයකින් එම පුද්ගලයා කපා කොටා මරා දැමීමේ පුවතක් පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් බන්දාවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දිවුල්කුඹුර ග්‍රාමයේ පදිංචි බන්දාව ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපළක සේවය කළ හේරත් මුදියන්සේලාගේ සුනිල් තිලකරත්න (අවු 48) නමැති තිදරු පියා මෙසේ කපා කොටා ඝාතනය කර තිබූ බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසීය.

මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවූ දින පැවැති වර්ෂාව නිසා බන්දාවේ පිහිටි ලී මෝලේ සේවය කළ සේවකයන් සහ කොන්ක්‍රීට් වැඩපොළේ සේවකයන් එක් වී මත් වතුර පාවිච්චි කර සාදයක් පවත්වා ඇත. මේ මොහොතේ කොන්ක්‍රීට් වැඩපොළේ සේවය කළ මියගිය සුනිල් නමැත්තා උරමින් සිටි සිගරැට්ටුව මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ යැයි පවසන සැකකරු ඉල්ලා සිටියත් එය නොදුන් නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී තිබේ. මේ මොහොතේ අසල තිබූ මන්නා පිහියක් අතට ගත් සැකකරු සුනිල්ට පහර දීමට සූදානම් වෙද්දී ඔහුගෙන් බේරීමට දිව යද්දී ඔහු ලූහුබැඳ ගිය සැකකරු මීටර් 600 ක් පමණ දුරකදී සුනිල් නමැත්තා මන්නයෙන් කපා කොටා මරා ඇත. නාරන්ගහමුල වත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබේ. මෙම පහරදීමෙන් බරපතළ ලෙස තුවාල සිදුවූ සුනිල් නමැත්තා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවන ලදී. කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සුනිල් නමැති අය ජීවිතක්ෂයට පත් විය.

පොල්ගහවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් පද්මසිරි හේරත් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්‍ෂා කළේය. සිරුර පරීක්ෂා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර සැකකරු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කරන මෙන් පොලිසියට නියෝග කළේය.

පොල්ගහවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. පාලිත අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. රාජකරුණා සහ උ.පො.ප. ගාමිණි ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරීහු මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කළහ.

"දිවයින"
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
gossip lanka