gossip lanka

දෙයියන්ගෙ පිහිටෙන් මට තවම හොඳට සින්දු කියන්න පුළුවන් – ඩෙස්මන්ඩ් ද සිල්වා

ඔබ පසු කළේ ඔබේ 75 වැනි උපන් දිනය?

ඔව්. ම​ගේ උපන් බිමේ, මගේ ආදරණීය රසික, රසිකාවෝ වටකරගෙන ඒ උපන්දිනය ගොඩක් සුන්දර විදිහට සැමරුවා. ඒ වගේම මගේ සංගීත දිවියට වසර 55ක් පිරීම සමරන්නත් එක්ක තමයි මේ ප්‍රසංගය කළේ.


ඔබේ උපන් දිනය?

1943 ජූලි 13

උප්පැන්නයේ සඳහන් නම ?

ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රාජිව ද සිල්වා

මව්පියන් ගැන මතකය අවදි කළොත්?

තාත්තගෙ නම ක්ලෙමන්ට් ආර්නල්ඩ් ද සිල්වා. ගෙදර කට්ටිය කිව්වේ කාලෝ කියලා. අම්මා ඔල්ගා කොරයා. බැන්දට පස්සේ ද සිල්වා වුණා. තාත්තා මාතර. අම්මා හලාවත. මම ඉපදුණේ මාතර.

සහෝදර සහෝදරියෝ හිටියද?

ඔව්. මගේ මල්ලියි, නංගියි, මල්ලි පදිංචි ඔස්ට්‍රේලියාවේ. නංගි ලංකාවේ ජීවත් වෙනවා.

තාත්තගේ රැකියාව වුණේ ?

තාත්තා පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. හැබැයි ඒ කාලේ කිව්වේ සැන්ටිපෝට් කියලා. සැන්ටිපෝට් ඉන්ස්පෙක්ටර්. දැන් කියන්නේ පී.එච්.අයි. කියලා. මගෙ අම්මා ටීචර් කෙනෙක්. ඒ දෙන්නම ඉතින් එඩියුකේටඩ්. හැබැයි දෙන්නගෙම කැමැත්තක් තිබුණා මියුසික්වලට.

එතකොට පුංචි කාලේ ගෙවුණේ මාතර?

නෑ. අපි බම්බලපිටියට ආවා. හරියට සෙන්ට් පීටර්ස් කොලේජ් එක ඉස්සරහ. අන්තිමට ගම වුණේ බම්බලපිටිය.

කොහෙද පාසල් ගියේ?

ඉස්සර වෙලාම ගියේ සෙන්ට් පීටර්ස් එකට. මම දඟ නිසා ඊට පස්සේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ බෝඩිං කළා. එතැනින් ආයේ සාන්ත පීතර විදුහලට දැම්මා. දඟ වැඩියි කියලා මාව මාතරට ගිහින් දැම්මා. තාත්තගෙ අම්මා තමයි මාව බලා ගත්තේ. මගේ පාසල් දිවිය අවසන් වුණේ මාතර සාන්ත තෝමස් විදුහලෙන්.

පාසලේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියද?

නෑ එහෙම දෙයක් තිබුණේ නෑ. අම්මයි, තාත්තයි ඉගෙනීම පැත්තට තමයි මාව තල්ලු කළේ. ඒත් මගෙ හිත ගියේ සංගීතෙට. හැබැයි එයාලා ඒකට විරුද්ධ වුණේ නෑ. ගෙදර තිබුණු සංගීතමය පරිසරය හින්දා ඉබේම ඒ පැත්තට තල්ලු වුණා. අම්මටයි, තාත්තටයි පුංචි සංගීත කණ්ඩායමකුත් තිබුණ ඒ කාලේ.

විස්තර ටිකක් කියමුකො?

ඒකේ නම මෙරි මේකර්ස්. ඒක ලොකු ප්‍රසිද්ධ Band නෙවෙයි. ඒත් ගම් පළාතේ ජනප්‍රියයි. ඉතින් පුංචි, පුංචි සාදවලට එයාලා මාවත් එක්කර ගෙන යනවා. අපි කට්ටියම සින්දු කියනවා. මට මතකයි බොල්ගොඩ සෙන්ට්මිචල් එකේ උත්සවවලට ඇවිල්ලා ඒගොල්ලො නිකම් Play කරනවා ආසාවට.

ඔහොම කාලය ගෙවෙනකොට?

මුලින්ම මම සම්බන්ධ වුණේ ෆයර් ෆයිල්ස් කියලා සංගීත කණ්ඩායමකට. ඒ කාලේ ගායනා කළේ බටහිර ගී. සිංහල සින්දු කියන්න හිතුවෙවත් නෑ.

කාගේ ගීතද එතකොට ගායනා කළේ?

ටොම් ​ජෝන්ස්, එංගල්බ(ර්)ඩ්,එල්විස් ප්‍රෙස්ලි. වැඩිපුර කිව්වේ එල්විස්ගේ සින්දු තමා. වැඩේ නැගලා ගියා. ඊට පස්සේ මම ජෙට්ලයින​ර්ස් කියන සංගීත කණ්ඩායමට එකතු වුණා.

ඔබේම සංගීත කණ්ඩායමකුත් තිබුණනේ?

ඔව්. මම ඒක හදනකොට ගායකයෙක් හැටියට ජනප්‍රිය වෙලා හිටියේ. Desmond and The Clan තමයි ඒ සංගීත කණ්ඩායම. මගේ නම රසිකයන් අතරට ගියා ඒ Band එකත් එක්ක.

ඔබ බයිලා ගීත කලාවට යොමු වුණේ වොලී බැස්ටියන්ගේ හමුවීමත් එක්ක?

මම ඔහුගේ ගීතවලට ගොඩක් කැමැතිවුණා. ප්‍රසංගවලදී මට වොලී මුණ ගැහෙනවා. ඒ ඇඳුනුම්කම උඩ මම දවසක් ඔහුට ආරාධනා කළා අපේ ගෙදර කෑමකට. එදා ​වොලී ඔහුගේ ගිටාරය වාදනය කරමින් ගීත කිහිපයක් ගායනා කළා. මමත් ඔහුගේ ගීත දෙක තුනක් කිව්වා.

මොකද වොලී කිව්වේ?

ඔහු සතුටු වුණා. පුතා පුළුවන් තරම් මගේ ගීත ගායනා කරන්න කියලා ඔහු එදා මට කිව්වා. කොටින්ම ඒක මට ඔහුගේ ගීත ගායනා කරන්න දුන්නු ලයිසන් එකක් වගේ.

ඔබ වොලී ගැන උපහාර ගීතයකුත් ගායනා කළා?

ඔව්. ඒක රසිකයෝ අතර ගොඩක් ජනප්‍රිය වුණා. ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්. බයිලවලින් රට හොල්ලපු බයිලා චැම්පියන් කියලා තමයි මම ඒ ට්‍රිබියුට් එක ඔහුට පුද කළේ.

මුළු රටම එකම රැයකින් ඩෙස්මන්ඩ් ද සිල්වා හඳුනා ගත්තේ ‘‘චූඩා මාණිකේ’’ ගීතයෙන්?

ඒ කාලේ කැසට් පට තිබුණේ නෑ. EP, LP තැටි තමයි තිබ්බේ. නිව් සවුන්ඩ් ලේබලයට මම ඔය ගීතය ගායනා කළේ. ඔයා කිව්වා වගේ ගීතය Super Hit එකක් වුණා. ඕක මම Record කරන්න ඉස්සර වෙලා පාටීස්වලදී කියපු ගීතයක්. කවුරුත් දන්නේ නෑ ඕක ඉස්සර වෙලාම කිව්වේ කවුද කියලා. හැබැයි දැන් ඒක මගේ අයිතියක් වගේ වෙලා තියෙන්නේ.

මේ ගීතයේ විශේෂත්වයකුත් තිබුණා?

‘‘චූඩා මාණිකේ’’ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාව Mix වුණු ගීතයක්. ඒ වෙනසට මිනිස්සු ගොඩක් කැමැති වුණා. සිංහල වචන දැම්මේ මට මතක හැටියට හඩ්සන් සමරසිංහ. ඉංග්‍රීසි ව(ර්)ස් එක ලිව්වේ මම. දෙමළ ව(ර්)ස් එකත් කවුද ලිව්වා. මට මතක නෑ. කොහොම හරි දෙමළ බසින් මම මොනවද කිව්වෙ කියලා අදටත් දන්නෙ නැහැ.

එතැනින් පස්සේ?

ඊළඟට මම පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො වගේ ගීත ගායනා කළා. කොල්ලො කෙල්ලො ඒවාට වහ වැටුණා. ගී පද රචකයෝ, සංගීතඥයෝ පෝලිමට මාව හොයාගෙන ආවා.

මුලින්ම ගීතයක් ගායනා කරලා ලැබුණු මුදල මතකද?

රුපියල් 25ක්ද කොහෙද.

ඉංග්‍රීසි, සිංහල කලවම් කරලා හරි අපූරු ගීත ශෛලියක් බිහි කළේ ඔබ?

ඒකට මුල්වුණේ ආනන්ද සෙනෙවිරත්න කියන ගීත රචකයා. එයා තමයි මුලින්ම ඔය සිංහලයි, ඉංග්‍රීසියි එකට දැම්මේ. ඊට පසසේ තමයි ‘‘සිංග්ලිෂ්’’ කියන වචනෙ හැදුණෙ. ඒ ගීත අහපු ගමන් මිනිස්සුන්ට හිනා යන ගතියක් තිබුණා.

රසික රසිකාවියෝ ඔබේ ගීතවලට වගේම රුවටත් වසඟ වුණා?

එහෙම දේවල් තිබුණා ඒකත් අපේ වාසනාවක් තමයි.

ඔබට තිබුණේ රසබර, විනෝදකාමී ජීවිතයක්?

අපොයි ඔව්. හොඳට කෑවා බීවා. ජොලි කළා. මගේ සින්දුවල තියෙන්නෙත් ඒ ​ජොලි ජීවිතේනේ. හැබැයි මම දැන් ඒ සේරම නවත්තලා. මම ඊළඟ ආත්මෙටත් එක්ක බීපු කෙනෙක්. ඒත් බීම නවත්තලා දැන් අවුරුදු තිස් හතක්. සින්දු කියලා තමයි මට මේ සේරම ලැබුණේ. ඉතින් ඒක හරියට කරන්න ඕනෑ නිසා අනෙක් ඒවයෙන් වැළකුණා.

මේ තරම් දුරක් ආවේ ඒ කැපකිරීමෙන්?

ගායන දිවියේ මට දැන් අවුරුදු පනස් පහක්. දෙයියන්ගෙ පිහිටෙන් මට තවම හොඳට සින්දු කියන්න පුළුවන්. අනෙක මේ ෆීල්ඩ් එකේ කවුරුත් නෑ මගෙ තරහකාරයෝ. කා එක්කවත් තරගයක් නෑ.

තරගෙට කිව්වේ වාද බයිලා විතරයි?

ඔව්. මම වාද බයිලා කිහිපයක් ගායනා කළා. ඒ කාලේ පෝල් ප්‍රනාන්දු එක්ක කියපු වාද බයිලාව ගොඩක් ජනප්‍රිය වුනා. බයිලා පොළේ ගෝරි නැතුව එහාට වෙයන් ෆර්නැන්ඩු කියලා මම කිව්වම පෝල් බයිලා රජා කවුද බලමු ඇයි ඩෙස්මන් මුරණ්ඩු කියලා අහනවා. ඒ වගේම ජිප්සීස් සුනිල් එක්ක කියපු ‘මිඤ්ඤමයි රෝස කැෆර් බයිලා’ ගීතයක් නැගලා ගියා.

ඩෙස්මන්ඩ් කියන්නේ ලෝකල් එල්විස් ප්‍රෙස්ලි කියලා ඒ කාලේ ​ගොඩක් අය කිව්වා.?

ඔව්. ඔව්. එල්විස්ට මාව සමාන කරපු එක මට ලොකු ගෞරවයක්.

ඔබේ ප්‍රාසාංගික කලාවට ඔහුගේ දේවල් එකතු කර ගත්තද?

ඒක නිකං ඔටෝමැටිකලි එනවා. මොකද මම එයාට ආදරේ නිසා එයා වගේ ටිකක් වෙන්න හැදුවා.

70 දශකයේ මැද ඔබ ගායනා කරපු සමහර ගීතවලට ලොකු විවේචන එල්ල වුණා.?

‘‘කකුල කකුල කකුල මගේ’’, එතකොට ‘‘රෑ දොළහට ලයිට් ගියා’’ වගේ ගීතවලට ලොකු විවේචන එල්ලවුණා. මේවා ඒ කාලේ හැටියට කියපු සින්දු. ඕවා ඉතින් එච්චර ගණන් ගන්න ඕන නෑ. ඔයිට වඩා කොච්චර වනචර හින්දි සින්දු තියනවද? සිංහල සින්දුත් තියෙනවනේ. මගේ ගීතවල වචන දෙක තුනක් තිබ්බට ඒකෙන් මම හිතන්නේ නෑ රසිකයන්ට වැරදි අදහසක් දුන්නා කියලා. මම හිතන්නේ ඒ ගීත අහපු ගමන්ම මිනිස්සුන්ට පොඩි හිනාවක් යනවා.

එහෙම ගීත ගැයුවා කියලා ඔබට කවුරුත් දොස් කියලා නැද්ද?

මාව හරියටම නොදන්න කාලේ ‘කවුද පිස්සෙක් සින්දු කියනවා. හැබැයි ටිකක් හොඳයි වාගේ’ කියලා කියන්නත් ඇති. ඒත් මූණටනම් කවුරුත් මොකුත් කියලා නෑ.

ඔබේ විවාහය සිදුවෙන්නේ?

අවුරුදු විසි එක ලබන කොට මම විවාහ වෙලා ඉවරයි. පළමුවැනි විවාහය. ඒකෙන් තමයි මට ළමයි තුන්දෙනෙක් ලැබුණේ. මගේ ෆස්ට් වයිෆ්ගේ නම ඩියනා. මගේ ලොකු පුතා ස්ටීව්, ෂෝන් දෙවැනි පුතා. බාලයා දුවක්. එයා ජැකලීන්. ස්ටීව් අන්තරා වුණා.

ඒක ඔබේ ජීවිතයේ ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක්?

මාව වළ දාන්න හිටපු කෙනාව වළලන්න වුණේ මට. ස්ටීව් මියගියේ කොඳු ඇට පෙළේ පිළිකාවකින්. ඔහොම තමයි ඉතින් ජීවිතේ.

එතැනින් පස්සේ?

මම ආයේ විවාහ වුණා. එයා නිලාමනී විජේරත්න. අපි විවාහ වුණේ එංගලන්තෙදී. ඇය වෛද්‍යවරියක්. ඊට පස්සේ මට පිලික්ස් වැන්හවුටන් කියලා නෝනා කෙනෙක් හම්බ වුණා.

එයත් එක්ක තමයි මම දැන් ජීවත් වෙන්නේ. අපි බැඳලා ඉන්නේ. එයත් ලංකාවේ එක්කෙනෙක්. එයා ලන්දේසි සම්භවයක් තියෙන කෙනෙක්. දැන් අවුරුදු දහයක ඉඳලා අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල.

පහුගිය කාලේ ලෝකේ වටේම ගියා නේද ඔබේ ප්‍රසංගය එක්ක?

ඔව්. Journy කියලා ප්‍රසංගයක් පැවැත්වුවා රටවල් කිහිපයක. ඒ නම දුන්නේ මගේ වයිෆ්. මගේ සංගීත දිවියට අවුරුදු පනහක් ලබනකොට තමයි ඒ සංචාරය පටන් ගත්තේ.

සංචාරය ඇරඹුණේ ලංකා​වෙන්?

මාතර තිබුණු ප්‍රසංගයෙන් තමයි ඒ ගමන ආරම්භ කළේ. ඊට පස්සේ මැද පෙරදිග, ඩුබායි, ඊට පස්සේ කැනඩාව, ඇමෙරිකාව. එතැනින් එංගලන්තෙට ආවා. අයර්ලන්තයට ගියා. ඉතාලියට ගියා. එතැනින් ප්‍රංශයේ ප්‍රසංගයකට ගියා. ඊට පස්සේ ඉතින් ලංකාවට එන්නත් ඕනනේ. මගේ උපන් බිමට.

කොහොමද ලැබුණු ප්‍රතිචාර?

මට මම ගැන එච්චර කියන්න බෑ. නමුත් දෙවියන්ගේ පිහිටෙන් ඒ හැම ප්‍රසංගයකටම සෙනග ආවා. ලංකාවේ විතරක් නෙවෙයි පිටරටවල අයත් ඒ ප්‍රසංග නරඹන්න ආවා. ඒ හැමෝම ආපහු ගියේ ලොකු සතුටකින්.

රසිකයෝ වඩාත්ම ප්‍රිය කරන ඔබේ ගීතය?

මම හිතන්නේ ‘‘යන්න රට ව​ටේ’‘ තමයි. බාල, තරුණ, මහලු මේ හැමෝම ගෑනු පිරිමි භේදයක් නැතුව රස විඳින ගීතය ඒක තමයි.

ඒ වගේම සුමිහිරි පානේ පදමට ගහලා කියන ගීතයට බොහෝ දෙනෙක් කැමැතියි. ඒක දැන් කල්ට් සින්දුවක් වෙලා. එතැනින් පස්සෙ බලපුවාම ඉතින් මගෙ අනෙක් හැම ගීතයකටම වගේ රසිකයෝ කැමැතියි.

ඔබේ ගීත රස විඳින්න එක් එක් යුගවලදී වඩාත්ම පෙළ ගැසුණේ තරුණ, තරුණියෝ. අදටත් ඒ ආකර්ෂණය ලැබෙනවා?

ඇත්තටම මටම පුදුමයි. තමන්ගේ 21 වැනි උපන් දිනයේදී ගීත ගායනා කරන්න එන්න කියලා මට තාමත් දුරකථන ඇමතුම් ලැබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී ඒ වගේ විශේෂ උත්සව අවස්ථාවලට මම නිතරම සහභාගි වෙනවා. අවුරුදු පනස් පහක් තිස්සේ මට නොඅඩුව ලැබෙන මේ රසික ප්‍රසාදය නිසා තවදුරටත් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ හරිම තෘප්තියකින්.

අසංක දේවමිත්‍ර පෙරේරා
gossip lanka