gossip lanka

සුවහසක් කඳුළු බිව් සිපිරිගෙය බෝගම්බර සොඳුරු ඉසව්වක් වී නිවී සැනසෙන විසිතුර

සිරකරුවන්ට පමණක් සීමා වූ බන්ධනාගාර භූමිය අද සාමාන්‍ය ජනතාවට විවෘතව පවතී. එදා අප කවුරුත් පිවිසීමට අකැමැති බිම අද විවේකී උද්‍යානයක් වී තිබේ. එහි ගිය විට මට මතක් වූයේ අතීතයේ අපි මේ ප්‍රතාපවත් තාප්පය වටා ඇවිද ගිය අයුරුය. එදා එය දකින විට මතකයට ආවේ විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන “මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා” කියන ගීතයයි.


 අහම්බෙන් මට ද සිරගෙදරට ඇතුළුවීමට එක් අවස්ථාවක් ලැබිණි. ඒ වරදක් කර නොව මිතුරකුගේ ඉල්ලීමක් පරිදි පසු දින හිරෙන් නිදහස් වන අයකු හමුවී ඔහුගේ අවශ්‍යතාවන් අසා සපුරාලීමටය. එදා මා පරීක්‍ෂා කළ බන්ධනාගාර නිලධාරීන් මගේ නම, ගම, කාරණය ලියා ජංගම දුරකථනය, ගමන්මල්ල, පසුම්බිය ඇතුළු සියල්ල රැගෙන හැඳුනුම්පත එහි රඳවා ලොකරයක දමා ඇතුළට යෑමට අවසර දුන්නේය. ඒ සිරකරුවන් හමුවිය හැකි ස්ථානය දක්වා පමණි. එහි මා ගිය විට රැඳවියාගේ අංකය හා නම අසා ආ.... මේ මොරටුවෙන් ආ වඩු පාටියේ මල්ලිනේ යැයි පැවැසීය. මා නොහඳුනන සිරකරු මා සමඟ කීවේ “නොකළ වරදකට එන්න වුණා අයියේ... අපේ අයියට එන්න ලැජ්ජ හිතෙන්න ඇති නේද කියාය. මම හෙට නිදහස් වෙනවා. මට යන්න සරමක්, කමිසයක් හා බස් ගාස්තු උදේ 9.00ට ලැබෙන්න සලස්වන්න” කියාය. ඒ වන විට ඔහුගේ ඉල්ලීම් සියල්ල මගේ ගමන් මල්ලේ තිබිණි. “මම ඒවා ගෙනාවා නමුත් අද මෙහේ භාර ගන්න බෑ කිව්ව. මම සවස කොළඹ යනවා. හෙට උදේ කෙනෙක් ඇවිත් ඒවා ඔයාට භාර දෙයි.”

ඉන්පසු මට හිර ගෙදරට ඇතුළුවීමට ලැබුණේ 2014 බෝගම්බර සිරගෙදර පල්ලෙකැලේට ගෙන ගිය පසු එය මහජනතාවට නැරඹීමට විවෘත කළ විටය. එදා බෝගම්බර ගැන නොයෙකුත් කතා ගෙතී තිබිණි.

“ඔය පෙන්නන්නේ මිනිසුන්ගේ සැකේ අරින්න. ඊට පස්සේ වහල නිධන් ගනීවි” වැනි කතාය. කට කතා බොහෝ තිබුණත් සිරගෙදර ගැන බොහෝ දෙනාගේ මතය වූයේ නගරය මැද්දට මේ සිරගෙදර නොගැළපෙන බවකි. පූජා නගරයක් පින්බිමක් වූ මහනුවරින් පිටත පල්ලෙකැලේට හිරගෙදර ගෙන යෑමේ ක්‍රියාවලිය සිදුවුණත් පුරාවිද්‍යා ස්මාරකයක් නිසාත් ලෝක උරුම නගරයක් වන මහනුවර තිබෙන වසර 143ක් පැරැණි ගොඩනැඟිල්ලක් නිසාත් කඩා ඉවත් කිරීම තුළින් ලෝක උරුම ලැයිස්තුවෙන් මහනුවර ඉවත්වීමේ අවදානම ද තිබිණි. මේ නිසා මල්වතු-අස්ගිරි නාහිමිවරුන් ඇතුළු සංඝරත්නයත් රජයේ ප්‍රධානීන්ගේ එකඟත්වයෙන් මෙය තියෙන පරිදිම අලුත්වැඩියා කොට ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට අදහස් කෙරිණි. ඒ සඳහා විවිධ යෝජනා ආවත් පැරැණි ගොඩනැඟිලි තිබූ පරිදිම අලුත්වැඩියා කිරීම ප්‍රධාන කාර්යයක් විය.

 එහි පළමු පියවර ලෙස හිරගෙදර ඉදිරිපස එළිමහන් භූමිය මහජනතාවට විවේකීව කාලය ගත කිරීම සඳහා උද්‍යානයක් ලෙස සකස් කොට පසුගිය අගෝස්තු 24දා අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත කෙරිණි.

 බන්ධනාගාරයට පිටතින් විවෘත කොටසේ මහජන උද්‍යානයක්, උඩරටට ආවේණික කලා කටයුතු රඟදැක්වීම සඳහා එළිමහන් රංගපීඨයක් ඉදිකොට ඇති අතර සංචාරකයන්ට තොරතුරු දැන ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සංවර්ධන උපායමාර්ග වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ සිදුවන අතර එහි සම්බන්ධීකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකරන අතර උපදේශකත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද අධීක්‍ෂණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියෙන්ද කෙරෙන අතර ඉදිරි සැලසුම් සහ ඉදිකිරීම් ඉන්ජිනේරුමය කාර්යයන් සඳහා උපදේශක කාර්යාංශය / මධ්‍යම ඉන්ජිනේරු පුද්. සමාගම යටතේ සිදුකෙරෙන බව පැවැසීය.

 මෙහි දෙවැනි අදියරේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර මේ යටතේ පිටත බැම්මට ඇතුළතින් ඇති කොටස නවීකරණය සඳහා රු. මිලියන 1900ක් ඇස්තමේන්තු කර ඇති අතර දැනට මෙහි වැඩකටයුතු ආරම්භ කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් පරිශ්‍රය නවීකරණය කිරීම, භෝජනාගාරයක්, අවන්හල් සංකීරණයක්, හෝටල් පාසලක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර දේශීය කලා කටයුතු නිර්මාණ හා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට අලෙවි හලක් ඉදිකිරීමට ද කන්දඋඩරට සංස්කෘතිය විදිහා දැක්වෙන සාම්ප්‍රදායික කලා හා නර්තන ඉදිරිපත් කිරීම ස¼දහා රඟහලක් ඉදිකිරීමටද බලාපොරොත්තු වේ.

 තෙවැනි අදියර යටතේ බෝගම්බර පිට්ටනිය අසල ඇති කඳුකර කොටස පෞද්ගලික ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැලසුම් තිබේ. සංචාරක පුරවරයක් කර ගත හැකි මහනුවර සංවර්ධනයේදී හෙළ උරුමයට, දේශීයත්වයට මුල්තැන දෙමින් කටයුතු කරමින් සංචාරකයන් දිනා ගත යුතුයි. මේ යටතේ පිත්තල නිර්මාණ, ලී කැටයම්, අත්කම් නිර්මාණ හා ලාක්‍ෂා වැනි දේශීය නිර්මාණ කරන ආකාරය දැක බලා ගැනීමට අවස්ථාව සලසා දිය හැකි බවද කෙසේ වෙතත් මෙම කටයුතු සාර්ථකව නිම කර ගැනීමට ආයෝජකයන් සොයා ගත යුතු වන බව ද ආපනශාලා, සංචාරක නිකේතන සැකසීමේදී වුවද මෙහි තියෙන සැලැස්මට අනුව ඒවා පිළිසකර කළ යුතු අතර ඒ සුදුසු ආයෝජකයන් සොයා ගැනීමේ කාර්ය ආයෝජන මණ්ඩලයට භාර දී ඇති බවත් මහනුවරට පැමිණෙන සංචාරකයන්ට නැරඹීමට ඇත්තේ දළදා මාලිගාව, සතර මහා දේවාලයන් හා පේරාදෙණිය මල්වත්ත වැනි සීමිත ස්ථාන කිහිපයක් පමණි. තැනින් තැන කෞතුකාගාර පහක් පමණ තිබුණත් මේ සියල්ල නරඹන්නට ඔවුන්ට දැනුමක් නැත. මහල් තුනකින් මේ සුවිසල් ගොඩනැඟිල්ලේ කොටසක මෙම කෞතුකාගාර ස්ථාපනය කළොත් සියල්ලම එකම ස්ථානයකදී නැරඹිය හැකිය. එසේම දෙස්-විදෙස් සංචාරකයන්ට සිරගෙදර අවන්හලකින් කෑම වේලක් කා සිරමැදිරියක රැය පහන් කර අලුත් අත්දැකීමක් ලබා ගත හැකිය. මේවා තමා අපේ අනාගත සැලසුම්. මෙය සුද්දන් අපේ මිනිසුන් හිරකර තබා දඬුවම් දුන් ස්ථාන, ඔවුන්ටම පෙන්වා මුදල් උපයා ගැනීමකි.

 බෝගම්බර බන්ධනාගාරයේ අනාගතය එසේ වුවද අතීත මතකයන් මඳක් විමසා බලමු.

 ලක්දිව බන්ධනාගාර ඉතිහාසය පණ්ඩුකාභය රජතුමාගේ කාලය දක්වා දිව යන අතර රජ කාලයේ බොහෝ විට වරදකරුවන්ට හිමි වූයේ දෙතිස් වධ දී මරා දැමීමයි. මේ ක්‍රමය 1779 වසරෙන් පසු ක්‍රියාත්මක නොවුණ අතර ඉන් පසු ඉංගී්‍රසීන් 1820දී එල්ලා මැරීම ක්‍රියාත්මක කරමින් ඉංගිරියේ කළුඅප්පු නමැති අය වැලිකඩ සිට පෑලියගොඩට ගෙනැවිත් ප්‍රසිද්ධියේ එල්ලා මරන ලදී. මෙහිදී චූදිතයා විසින්ම තමා කළ වරද හඬනඟා කියවිය යුතු අතර ඉන්පසු ප්‍රසිද්ධ ස්ථානයක එල්ලා මරයි.

1815 මාර්තු 02 බි්‍රතාන්‍යය අප රට යටත් විජිතයක් කරගත් පසු ඔවුන්ට විරුද්ධව කැරලි ගැසූ කැප්පෙටිපොල, මඬුගල්ල, කිවුලේගෙදර මොහොට්ටාගල, හඟුරන්කෙත ඩිංගිරාල යන විරුවන් හිස ගසා මරා දැමීම හා වෙඩිතබා මරා දැමීම කරන ලදී. පසුව ඇහැලේපොළ ඇතුළු 53 දෙනකු 1818දී ඇහැලේපොළ වලව්ව බන්ධනාගාරයක් බවට පත් කර රඳවා තබන ලදී. ඊට ටික කලකට පසු ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි ගසන හා වැරැදි කරන පුද්ගලයන් රඳවා තැබීමට බන්ධනාගාර පද්ධතියක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ අනුව 1844 අංක 18 දරන පනත මඟින් බන්ධනාගාර ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර 1871 දී වැලිකඩ බන්ධනාගාරය, 1875 දී මහර බන්ධනාගාරය, 1876 දී බෝගම්බර බන්ධනාගාරය ඉදිකරන ලදී.

බන්ධනාගාරය ආරම්භ කිරීමට පෙර ඉංග්‍රීසීන් මරණ දඬුවම දුන්නේ දැන් මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිට තිබූ ‘හැන්ග්මන්ස් හිල්’ නමැති කුඩා කඳුගැටයක් මතය.

අප අද කතා කරන බෝගම්බර බන්ධනාගාරය ඉදිකිරීමට උඩුනුවර ලංකාතිලක ප්‍රදේශයේ කුඹුරුවල ගඩොල් කපා ඒවා මිනිසුන්ගේ කර මතින්ම නුවරට ගෙනවිත් සිරගෙදර ඉදිකළේය.  වර්ෂ 1844දී බෝගම්බර බන්ධනාගාරය ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් කරන ලදී. ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරන ලද බෝගම්බර වැවේ කොටසක් ගොඩකර මේ සිර ගෙදර ආරම්භ කළ බව කියවෙන අතර පසු කලෙක එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකර ඇත. එකල බොහෝ ගම් තිබූ පෙදෙස බෝගම්බර ලෙස නම් කළ බවද කියැවේ.

බැස්ටිල් හිරගෙදර ආකෘතිය හා රැජනගේ ඔටුන්නේ ආකෘතිය අධ්‍යයනය කරමින් සැලසුම් කරන ලද මෙම හිරගෙදර ඉදිකිරීමට මුල්වූයේ එවකට බන්ධනාගාර පරීක්ෂක ජනරාල් හා පොලිස් පරීක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ එන්.එස්. සෝන්ඩර්ස් මහතාය. එහි ඉදිකිරීම් කටයුතු සඳහා පිඹුරුපත් සකසන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ වයින් මහතා විසිනි. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සීමා සහිත නෙවිල් සහෝදරයන් කර ඇති අතර එදා ඇස්තමේන්තු මුදල රුපියල් 3,62,365කි.

අක්කර ‍ෙදාළහකට වැඩි බිම් පෙදෙසින් අක්කර පහක් බෝගම්බර සිරගෙදර සඳහා යටවී ඇති අතර එය දිගින් අඩි 556ක් ද පළලින් අඩි 244ක් හා උසින් අඩි 102කින් සමන්විතය. එකම පාදමක් මත ගොඩනැඟුණු මෙම ගොඩනැඟිල්ලට ඇතුළු වීමට හා පිටවීමට ඇත්තේ ‍ෙදාරවල් 2කි. වම්පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය යුතුය. නැතිනම් දකුණින් ඇතුළු වී වම්පසින් පිටවිය යුතුය. මෙහි සිරකුටි 43ක්, සිරමැදිරි 4ක් හා මරණ දණ්ඩනය ලද සිරකරුවන් එල්ලීමට එල්ලුම්ගස් 03කින් සමන්විතය.

ආරම්භයේදී සිරකරුවන් 250ක් සැකකරුවන් 64ක් ඇතුළු සිරකරුවන් 317ක් වසා තබන ලදී. ප්‍රථම ජේලර් ලෙස ඩෙරින්ග්ටන් මහතා සේවය කර ඇති අතර සිරකරුවන් අනූදෙනකු දිවා රෑ ඉදිකිරීම් සඳහා යොදවා ඇත. ‍ෙදාර ජනෙල්වලට අයත් අගුළු එංගලන්තයෙන්ම ගෙන්වන ලද අතර මෙහි සුවිශේෂම කරුණ වන්නේ මාස්ටර් කී නමැති (ථචඵබඥප ඬඥර) යතුර යොදා සියලු සිරමැදිරිවල ‍ෙදාරවල් එක යතුරකින් විවෘත කළ හැකි වීමය.  මෙය වසා දමන කාලය වන විට සිර කුටි 328ක් රැඳවියෝ 528ක් තැබීමට ප්‍රමාණවත් අතර එක් සිර කුටියක එක රැඳවියකු හෝ තිදෙනකු රඳවා තබන අතර කිසිවිට සිරකරුවන් දෙදෙනකු එක්  මැදිරියක රඳවා තබන්නේ නැත.

බෝගම්බර එල්ලුම් ගසේ අවසාන එල්ලා මැරීම 1975දී සිදුකරන ලද අතර ඒ තිස්මඩ ප්‍රේමලතා මුණසිංහ මරා දැමීමට වරදකරුවන් වූ ඩබ්.ඩී. රිචඩ් සහ ටී.එම්. ජයවර්ධන යන දෙදෙනාය. 1976 ජූලි 23දා යෝධකණ්ඩියේ චන්ද්‍රදාස “හොඳ පපුවා” වැලිකඩදී එල්ලා මැරීමෙන් පසු ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවිණි. මෙතෙක් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් මියගිය පිරිස 542කි. එකවර තිදෙනකු එල්ලා මැරීමේ හැකියාව තිබුණේ බෝගම්බර හිරගෙදර පමණි.

වර්ෂ 1878 පමණ වන විට බන්ධනාගාරයේ විනය පිරිහීමට ලක්වී ඇති අතර ප්‍රථම ජේලර් වූ ඩෙරින්ග්ටන් මහතාට පහර දෙන තරමට විනය පිරිහී ඇත. පසුව එම සිරකරුවන්ට කසපහර 25 බැගින් ගසා ඩෙරින්ග්ටන් මහතා ගාල්ලට මාරු කර ජේලර් වුඩ් මහතා බෝගම්බරට පත්කර එවා ඇත. එම වකවානුවේ රටේ ආහාර හිඟයක් ඇතිවීම නිසා බන්ධනාගාරයේ ආහාරවේල හොඳ තත්ත්වයේ තිබීම හේතුවෙන් බන්ධනාගාර ගතවන ප්‍රමාණය වැඩි වී ඇත. මෙය පාලනය කිරීම සඳහා පූර්ණ ආහාර වේලක් ලබා දිය යුත්තේ බරපතළ වැඩ කරන සිරකරුවන්ට පමණක් බවට නිරීක්ෂණ නිලධාරි ජනරාල් තොම්සන් යෝජනා කොට ඇත. මේ කාලයේ සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටත රෝහල්වල හා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්, ඇළවේලි කැපීම් වැනි වැඩ කිරීම තුළින් බන්ධනාගාරයට රු. 56,845.87 මුදලක් වාර්ෂිකව උපයාදී ඇති අතර වාර්ෂික වියදම වී ඇත්තේ රුපියල් 45,606.40කි.

සිරගෙදර යතුරු සොරාගෙන සිරකරුවන් නිදහස් කරගත් අයෝමය කත

සිර ගෙදර සියලුම ‍ෙදාරවල් විවර කළ හැකි එකම යතුර වන මාස්ටර් කී එක සොරාගෙන සබන් කැටයකට පිටපත් කර ගත් කුසුමා ගුණවර්ධන එය මාලඹේ කොලෝනියස් පියදාස නමැති කම්මල්කරුවාට දී හොරට යතුරක් සාදාගෙන රොබට් ගුණවර්ධන,  ඩොරික් ද සූසා යන තම සහෝදරයන් නිදහස් කරගෙන ගිය අතර එවකට සිරකරුවන් භාරව සිට ඇත්තේ සොලමන් නමැති ජේලර්වරයෙකි.

තෙවරක්ම පෝරකයෙන් බේරී ත්‍රස්තයන්ගෙන් මැරුම් කෑ සුමතිපාල

ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ සුමතිපාල මරණ දණ්ඩනයට නියම ව සිටි අයෙකි. සුපුරුදු පරිදි සිරකුටියෙන් සිරකුටියට මාරු වී හය වැනි සිරකුටියෙන් පසු උදෑසන  08.05ට මැරීමට නියම වී සිටියේය. ඔහුගේ බරට සමාන බරට වැලිකොට්ට සාදා ගෙලට දාන තොණ්ඩුවද සකස් කර තිබුණු අතර සිරකරුවන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වන තමන් කැමැති කෑමක් අනුභව කිරීමටද අවස්ථාව ලැබිණි. (එකල මරණ දඬුවමට ලක්වූ සිරකරුවකු සඳහා කෑම වේලකට රු. 15ක මුදලක් වෙන් කරන ලදී) පසුව ඔහු ස්වාමීන් වහන්සේ නමකගෙන් බණ ද අසා එල්ලා මැරීමට ආසන්න මොහොතේම රජගෙදරින් ලද පණිවුඩයක් නිසා මරණයෙන් බේරුණි. ඊට  මාස කීපයකට පසු දෙවැනි වරටද පෙර සේම ඔහු එල්ලා මැරීමට පෙරිදිම සියලු කටයුතු සූදානම්ව තිබියදී හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක් නිසා ඔහු එල්ලා මැරීමට නොහැකි වූ අතර ඉන් පසු දිනක සුමනපාල කෑම  කන පිඟානෙන් ගෙල සහ බඩ කපාගෙන සියදිවි නසා ගැනීමට ගත් උත්සාහයේදී අසාධ්‍යව රෝහල්ගත කෙරිණි. සියලු දෙනාම සිතුවේ හෙතෙම මරණ දඬුවමෙන් බේරෙයි කියාය. නමුත් තෙවැනි වරටත් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අණ ලැබුණු අතර එහිදී ඔහු භාර වෛද්‍යවරයා සුමතිපාල ඉදිරිපත් නොකිරීම නිසා තෙවැනි වර මරණින් බේරී ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වී සිටි අතර ඩොලර්ෆාම් කඳවුරට මාරුකර සිටියදී කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් වෙඩි වැදී ජීවිතයෙන් සමුගත්තේය.

වර්ෂ 1959 ශ්‍රී  ලංකාවේ අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූ අතර මාතර පාර්ලිමේන්තු මන්ත්‍රි මහානාම සමරවීර මහතා පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් මරණ දඬුවම අවලංගු කර තිබූ නිසා මරණ දඬුවම දීමට නොහැකි වූ අතර පසුව විජයානන්ද දහනායක මහතා 1960දී එල්ලුම් ගහට නැවත පණ දුන්නේය. 1962 ජූලි 06 බණ්ඩාරනායක මහතා ඝාතනය කළ තල්දූවේ සෝමාරාම එල්ලා මැරීමට නියම කෙරිණි. එවකට සැකකරු කතෝලික ආගම වැලඳගෙන සිටි නිසා තල්දූවේ සෝමාරාම හෙවත් රතුගම රාලලාගේ වේරිස් සිංඤෝ හට මැතිව් පීරිස් පූජක ආගමික වතාවත් ඉටුකළේය. පසුව ඔහුද තම බිරියට වැඩිපුර ඔෟෂධ ලබා දී මරණයට පත් කිරීමේ වරදට වරදකරු විය.

මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන් මෙන්ම නළුවන් සේම කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා වැනි වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයන්ද බෝගම්බර සිපිරි ගෙදර බත්පතේ රස විඳ ඇත.

එක බත්පතක අඩංගු දෑ මෙසේය.

දිනපතා ලැබෙන ආහාර (ග්‍රෑම්වලින්)

උදෑසන බත් ග්‍රෑම් 125, පොල් සම්බෝල අවු. 4, තේ හෝ සීනි ග්‍රෑම් 7ක්

දවල් බත් ග්‍රෑම් 225, මැල්ලුම් ග්‍රෑම් 28, මාළු ග්‍රෑම් 56

රාත්‍රි ආහාරය බත් ග්‍රෑම් 170, අල වර්ග ග්‍රෑම් 84, මස් ග්‍රෑම් 56

එළවළු ග්‍රෑම් 56 සමඟ රාත්‍රියට තේ ද ලැබේ.

නූගතාට සිර ගෙදර දන්සලක් වන අතර බුද්ධිමතාට සිර ගෙදර විශ්වවිද්‍යාලයකි. සිරගෙදර ක්‍රියාත්මක කරන්නේ දඬුවම් ක්‍රියාත්මක කිරීම, රඳවා ගැනීම, සිරගේ තුළ තනිකොට දමා සමාජීය වශයෙන් නිෂ්ක්‍රිය කිරීම, පුනරුත්ථාපනය කිරීමයි.

සිරගෙදර තුළ සෑම ආගමික සිද්ධස්ථාන ඇති අතර සෑම සිරකරුවකුටම තමන්ගේ ආගම ඇදහීමට නිදහස ද ඇත.

ඔවුන් යහපත් මඟට ගැනීම සඳහා බණ දහම් ඇසීමට, සිල් සමාදම් වීමට අවස්ථාව ලැබෙන අතර සිරගත වන බොහෝ දෙනකු සිරෙන් එළියට එන්නේ තවත් දරුණු අපරාධකාරයකු, කුඩුකාරයකු වෙලා නම් ඔවුන් සිර කිරීමද නිෂ්ඵල ක්‍රියාවකි.
gossip lanka