gossip lanka

පැන්සල් තුඩින් අපූරු සිතුවම් මවන මුහුණු පොතින් බිහිවුණු අපේ කාලයේ තවත් තරුණ සිත්තරෙක් - (Photos)

රටේ හතර වටේම කරක් ගහල, නැගී එන අපේ කාලයේ කලාකරුවන්, කලාකාරිණියන් හොයාගෙන යන ගමනේ හිරු ගොසිප් අපිට නිට්ටඹුව ප්‍රදේශයෙන් හමුවුණා පැන්සල් තුඩින් කලා ලෝකය ජයගන්න හදන සිත්තරෙක්.


ඒ තමයි චිත්‍ර අඳින්න උපන් හපන්කම් දක්වන ඩොනල්ඩ් ගුණවර්ධන නම් තරුණ සිත්තරා. ගම්පහ, රන්පොකුණුගම මහා විද්‍යාලයෙන් ශිල්ප සතර හදාරලා දැන් මොහු තම වෘත්තිය හැටියට සිය ජීවිතයේ සිහින හඹා යමින් සිටිනවා.

2014 වසර තමයි ඩොනල්ඩ් ගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් ඇති වුණ වසර. ඒ වසරෙදී තමයි මුලින්ම මුහුණ පොත හරහා ඔහු තවත් හිතවතෙක් සමඟ චිත්‍ර අඳින්න පටන් අරන් තියෙන්නේ.

ඩොනල්ඩ් අපිට කියපු විදියට සාමාන්‍ය පෙළින් පස්සෙ ඔහු කිසිම දිනෙක චිත්‍ර කලාව ඉගෙන ගෙන නැහැ. නමුත් ඔහු චිත්‍ර කලාව හදාරන්න අපුරූ මාර්ගයක් සොයාගෙන තිබෙනවා.

ඒ තමයි යූ ටියුබ් වීඩියෝ නරඹමින් පැන්සලෙන් චිත්‍ර අඳින චිත්‍ර කලාව ගැන ස්වයං අධ්‍යනයක නිරත වීම. ඔහු අද වන විට ඉතාමත් පැහැදිලිව සහ අලංකාරව පැන්සල් තුඩින් සිතුවම් අඳිනවා.

ඔහු අපිට කියපු හැටියට නම් මේ වන විටත් ඔහු සිතුවම් අලෙවියෙන් මුදල් ඉපයීමටත් යොමු වෙලා තියෙනවා. ඒ වගේම හීන සැබෑ කරගන්න වෙහෙසෙන තරුණ‍‍යෙක් හැටියට චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න වෙහෙසෙනවා කියලා තමයි හිරු ගොසිප් අපිට කිව්වේ.

ඒ වගේම සිතුවම් ප්‍රදර්ශනයට ඔහුගේම අයියා සහ මල්ලීගේ (අයියා ප්‍රදීප් ගුණවර්ධන සහ මල්ලී නුවන් ගුණවර්ධන) සිතුවම් ද එකතු කරගෙන සහෝදරයන් තිදෙනාගේම සිතුවම් එකතුවක් හැටියට මේ ප්‍රදර්ශනය කරන්න තමයි ඔහුගේ බලාපොරොත්තුව.

අපි ඇහුවා ඩොනල්ඩ්ගෙන් තනියම ඉගෙනගත්ත මේ සිතුවම් කලාව උගන්වන්න එහෙම බලාපොරොත්තුවක් නැතිද කියලා. ඔහු දුන්න පිළිතුර තමයි දැනටමත් ඔහු නොමිලේම සමාජ ජාලා මාධ්‍ය හරහා වගේම නිවෙසට පැමිණෙන සිතුවම් කලාවට උනන්දුවක් දක්වන පිරිස්වලට නොමිලේම ඔහු දන්න දේවල් උගන්වන බවයි.

අපි ඔහුගෙන් ඇහුවා වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පැන්සල් සිතුවම්වලට තියෙන ඉල්ලුම ගැනත් ඔහු දුන්න පිළිතුර වුණේ විදේශිකයන් ලාංකිකයන්ට වඩා මේ කලාවට උනන්දුවක් දක්වන බවයි. එයට හේතුව හැටියට ඔහු පැවසුවේ මෙවැනි සිතුවම්වල මිල ඉහළ නිසා ලාංකිකයන් හමුවේ ඇති ආර්ථික අපහසුතාත් හේතුවෙන් නිර්මාණ මිලදී ගැනීමේ අඩුවක් දකින බවයි.

අවසන් වශයෙන් ඔහු අපිට පවසා සිටියේ ඔහුට මේ ගමන පැමිණෙන්නට උදව් කළ දුලාන් රාමනායක සහ අනුරාධ නිරෝෂන් දෙපලට ස්තූති කරන බවයි. එමෙන්ම ඔහු යහළුවන් පිරිසක් සමඟ එක්ව කළ පළමු චිත්‍ර ප්‍රදර්ශනයට උදවු කළ මංජුල බොලොග්නා කියන ඔහුගේ මිතුරාටත් ස්තූති කරන්න අමතක කළේ නැහැ.

සිතුවම් කලාවෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වන ඩොනල්ඩ් ගුණවර්ධන තරුණ සිත්තරාට  අපේ උණුසුම් සුබ පැතුම්!
gossip lanka