gossip lanka

"දේශපාලනඥයෙකුත් ඒකට හවුල් වුණා, මැණික ගත්ත මුදලාලි අද කොටිපතියෙක්,අපි තවමත් දුක්විඳිනවා..." - ලොව ලොකුම මැණික හමු වූ ආරියදාස තවමත් දුප්පතෙක්

ධන නිධානයක් දෙපතුල මතට පතිත වුවද, වාසනාව නැති නම් එයින් ඵලක් නැත. කෝටි ගණන් ස්වීප් ටිකට් දිනුම් ලැබී අසීමිතව වියදම් කර අවසානයේ පිච්චිය නැතිව කුලීකරුවන් ගානට වැටුණු මිනිස්සු අප අතර සිටිති. විවිධාකාරයෙන් වස්තුව උරුම වී සුර සැප විඳ හිඟමනට වැටුණු අවාසනාවන්තයන් මේ සමාජයේ විරල නැත. දැන් අප කියන්න යන්නේ එසේ මෙසේ වස්තුවක් උරුම වූ කෙනෙක් ගැන නොවේ. ලෝකයේ වැඩිම වටිනාකමක් සහිත මැණික් සම්පත හිමි වූ පවුල ගැන කතාවක්ය.
එහෙත් එම මැණික් නිධානයේ හිමිකරුවන් අද කුලීකරුවන්ය. මැණික් ගල් පොකුර ප්‍රථමයෙන් දුටු ආරියදාස අදටත් අනුන්ගේ පතල්වල දුක් විඳින්නේය. මැණික් නිධානය ගැන හීනෙන් දුටු ආරියදාසගේ වැඩිමහල් සහෝදරයා තිලකදාස කොළඹ වඩු මඩුවක වැඩය. මැණික ගෙන ගොස් රත්නපුරේ ප්‍රබල දේශපාලනඥයකුට පෙන්වා ඔහු මාර්ගයෙන් ලෝක පූජිත මැණික් ව්‍යාපාරිකයකුට ගල විකුණු ආරියදාසගේ මස්සිනා (අක්කාගේ සැමියා) මේ වන විට කැලණියේ ලී මෝලක රැකියාව කරන්නේය. ඒ බව අපට කීවේ ලෝකයේ වටිනාම මැණික් ගල ප්‍රථමයෙන් අත ගෑ ආරියදාසමය.

පසුගිය දිනක වැසි බර හැන්දෑවක පතලේ වැඩ නිමා කොට නිවස බලා යමින් සිටි ආරියදාස අපට මුණගැසුණේ අහම්බෙනි. පැල්මඩුල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී හමු වූ ආරියදාසට ගමන් බිමන් යෑමට යතුරු පැදියක් හෝ නැත. මල කෑ පරණ පහේ පා පැදියකින් ගමන් කරමින් සිටි ආරියදාස කහට කෝප්පයක් බීමට තේ කඩයක් අසල නතර කළ අවස්ථාවේ ඔහු අපට හඳුන්වා දුන්නේ කඬේ මුදලාලිය.

ආරියදාස හතර රියන් පෙනුමැති පුද්ගලයෙකි. ඔහුගේ තාරුණ්‍යය වියපත් වී ඇත්තේ පතලටමය. වයස අවුරුදු හතළිස් හය සම්පූර්ණ වී ඇති ආරිගේ පළල් පපුව ඉදිරියට නෙරාවිත්, අත් ගොබ අසාමාන්‍ය ලෙස පිම්බි ඇත්තේ කායවර්ධන ව්‍යායමවල යෙදෙන තරුණයකු ලෙසටය. එහෙත් ඔහුට ‘ජිම්’වල යකඩ ඉස්සීමට වියදම් කිරීමට මිල මුදල් නැත. ඔහුගේ ශරීරය පෘෂ්ටිමත් වී ඇත්තේ ගැටයා සන්දියේ සිට පතල්වල වැඩ කිරීමෙනි. තළෙලූ මුවමඬල හිනාවකින් හැඩ කරගෙන ඔහු අප ඉදිරියේ අසුනකට බර තැබීය.

‘‘අපට අහිමි දේවල් ගැන මතක් කරන්නවත් මම නම් කැමැති නෑ. ඒත් ඒ කතාව මහත්තෙලාට වටිනවා නම් මම කියන්නම්...’’ හැඟීම්බර වූ ආරියදාස කහට උගුරක් බී සක්කර කෑල්ලක් හපමින් එසේ කීවේය.

‘‘ඒක ඉල්ලමක ගල් නෙමෙයි. අපිට හිතෙන විදිහට නිධානයක්. කවුද කෙනෙක් අපේ ලොකු අයියට හීනෙන් කියලත් තිබුණා ‘නිධානයක උරුමකම් තියෙනවා. කාටවත් කියන්න එපා ඒ නිධානයේ උරුමක්කරුව උඹයි’ කියලා. නිධානය තියෙන තැනත් අයියට කියලා තිබුණා. එතකොටත් අයියා පතල් රස්සාව කරනවා. අයියා ඒ කතාවට බය වෙලා. අයියා නිධානය ගන්න උත්සාහ කළේ නෑ...’’ දවස පුරා තෙත් කළ චුරු, චුරු වැස්ස පැල්මඩුල්ල දොරේ ගලන තරමට තද කෙරිණි. වැස්ස කඩාහැළෙන මහ ශබ්බදයට කතා කරන අපේ හඬ නොඇසෙන ගානය.

‘‘ඔය මැණික් ගල් ටික අපිට ලැබුණේ 1986 අවුරුද්දෙ දවසක. එතකොට අපිට තිබුණේ පුංචි මැටි ගෙයක්. දහයකට, දොළහකට ඒ ගේ කෑල්ල ඉඩ මදි. අපේ පවුලේ සේරම සහෝදර, සහෝදරියො දහදෙනයි. මම තමයි පවුලේ බාලයා. එතකොට මට වයස අවුරුදු නවයයි. ලොකු අයියට අවුරුදු තිහක් විතර ඇති. අක්කලා විතරයි කසාද බැඳලා ගෙදරින් ගිහින් හිටියේ. ගේ කෑල්ල ඉඩ මදි නිසා තමයි තව කාමර කෑලි දෙකක් බැඳගන්න ලකලෑස්ති වුණේ. දවසක් ලොකු අයියයි, පොඩි අයියයි, මමයි කැට ගල්වලින් කාමර කෑලි දෙක බඳින්න මැටි කපන්න ගත්තා. මුලින්ම මැටි කැපුවේ වත්ත පහළින්. මැටි වළ ටිකක් යටට බහිනකොට එහෙම්පිටින්ම මිනිස් ඇටසැකිල්ලක් මතු වුණා. ඒක දැක්කට පස්සෙ ඒ වළ වහලා අපේ ගෙට උඩින් මහ පාරට එහා පැත්තෙ කණ්ඩිය කපලා පස් ගත්තා. පාරට බෑවුම් වෙච්ච ලොකු කණ්ඩියක් නිසා මිනිස්සු පස් කපාගෙන ගිහින් තිබුණා...’’

‘‘අපි පස් කපන්න පටන් අරගෙන වරුවක් විතර යනකොට මම කණ්ඩිය උඩට නැගලා නික පඳුරකුත් කපලා පස් කණ්ඩියට ගල් ඉන්න ගැහුවා. ටාන් ගාල ශබ්දයත් එක්ක ගල් ඉන්න දෙදරුවා. අයියලාටත් කියලා ගල් ඉන්න වැදුණු තැන පස් ඉවත් කරලා ගල මතු කරගත්තා. මිරිස් ගලක් වගේ ගල් පොත්තක්. ඒ ලොකු ගල වටේට තව ලොකු, පොඩි ගල් ගොඩක් තිබුණා. ගල් පොකුරම එකම වගෙයි. බැලූ බැල්මට තිරිවාන ගල්ම තමයි. බිත්තිවලට තියලා මැටි ගහන්න පුළුවන් කියලා සේරම ගල් කෑලි ටික පහළට අරගෙන යමු කියලා ලොකු අයියා කිව්වා. තරමක ගල් කෑලි ටික පෝර උරයකට දාගෙන මම පහළට උස්සගෙන ආවා. ලොකු ගල අපේ ලොකු අයියටවත් තනියෙන් උස්සන්න බැරි වුණා. තුන්දෙනත් එක්කම උස්සල තමයි ලොකු අයියගේ කරට තියාගත්තෙ. මිරිස් ගලක් වගේ ගල් පොත්තක් නිසා අපිට පොඩි අමුත්තක් දැනුණා. කෝකටත් කියලා අපි හොදට ගල හේදුවා. තට්ටු කරලා ගල වටේ කොරසම ඇරලා බැලූවා. කොරසම ඇතුළෙන් තැනින්, තැනින් නිල් පාට පේන්න ගත්තා. තිරිවාන ගලක් නෙමෙයි, වටිනාකමක් ඇති ගලක් විත්තිය අයියට තේරුණා. ඒත් ගල ලොකු නිසා අයියා බය වුණා. පතලක වැඩ කරන කෙනෙක් ලොකු ගලක් විකුණුවා කියලා කට කතාවත් ගියොත් ඒක ලොකු ගැටලූවක්. අයියට තිබුණේ ඒ බය තමයි...’’

‘‘ඒත් අපි ඒ ගල් බිත්තියට තියලා මැටි ගැහුවේ නෑ. එතැනින් ගෙනාපු සේරම ගල් කෑලි ටික ගේ ඇතුළේ ඇඳක් යටට දැම්මා. සතියක් විතර ගල් කෑලි ටික ඇඳ යට තිබුණා. දවසක් අපේ ගෙවල් කිට්ටුව ගෙදරකට බඩු වගයක් ගේන්න කොළඹ යන්න මටත් කතා කළා. වාහනයක යන නිසා මමත් ආශාවට ගියා. ඒ යනකොටත් මම තාත්තට කියලා ගියා පිට කිසිම කෙනෙකුට ගල් කෑලි ටික පෙන්වන්න එපා කියලා. මම පොඩි වුණාට ඒ ගල් කෑලි ටික දැක්ක මොහොතේ ඉඳලා අමුත්තක් දැනුණා. ඒත් මම කියන දේ තාත්තා ඇහුවේ නෑ. අපේ ලොකු මස්සිනාට ගල් කෑලි ටික පෙන්නලා තිබුණා. ඒ පෙන්නපු දවසේ රාත්තිරියේම මස්සිනා වෑන් එකක් කතා කරගෙන ගලත් අරගෙන තාත්තාවත් දාගෙන දේශපාලනඥයකුගේ ගෙදරකට ගිහින් තිබුණා...’’ කහට උගුරක් තොල ගෑමට ආරියදාස කතාව නතර කළේය.

ආරියදාසගේ මස්සිනා ආරියසිංහය. ආරියදාස කියන විදිහට ආරියසිංහ මාමණ්ඩි සමඟ ගල දේශපාලනඥයාගේ නිවසට ගෙන ගොස් ඇත්තේ ගමේ ග්‍රාම සේවක මහත්තයාගේ වෑන් රථයේය. ඔහු ධර්මදාසය. ආරියදාස කියන කතාවේ සත්‍යතාව තක්කෙටම තහවුරු කරගැනීමට අපි ධර්මදාසව ද කතාවට සම්බන්ධ කරගත්තෙමු.

‘‘ආරි මගෙ හොඳ හිතවතා. ඕනෑම දෙයක් මට කියනවා. ඔය කියන දවස්වල ආරි මාව මුණගැහිලා ‘හවසට පොඩි හයර් එකක් යන්න තියෙනවා ගමන් බිමන් දාගන්න එපා’ කියලා කිව්වා. ඒ කිව්වා වගේම හවස පහට විතර මගෙ වාහනයෙන් ආරියි තව දෙන්නෙකුයි බටලන්දේ එයාගේ නෝනගෙ මහගෙදරට ඇවිත් මිරිස් ගලක් කියලා ගෝනියක දාපු ගලක් ගෙනත් වෑන් එකට දැම්මා. ආරිත් එක්ක ගිය කෙනෙක් හරිම අමාරුවෙන් ගල උස්සගෙන ආවේ. ඊට පස්සෙ කෙළින්ම ආවේ ආරිලාගේ ගෙදරට. ගල බාලා මම යන්න හදනකොට ආරි කිව්වා චුට්ටක් ඉන්න පොඩි බඩුවක් තියෙනව බලමු කියලා. ඊට පස්සෙ ගල එළියට අරගෙන කෑලි පහේ ටෝච් එකක් ගහලා බැලූවා. කිසිම දෙයක් පෙන්නෙ නෑ. මුළු ගලම කොරසමෙන් වැහිලා. මේ තඩි තිරිවානයක් කියලා මම වාහනයත් ස්ටාර්ට් කරගෙන ආවා. ඊට පහුවෙනිදා මට ආරංචි වුණා ඒ ගල මැණිකක්. දේශපාලනඥයකු මාර්ගයෙන් රත්නපුරේ ඉහළම මැණික් මුදලාලි කෙනෙකුට විකුණලා කියලා...’’

‘‘ගල කිරලා තිබුණේ තේ දලූ කිරන තාරදියේ. කිලෝ හතළිස් ගාණක් තිබිලා තිබුණා. ඒ ගලත් එක්ක තිබුණු කිලෝ හයක ගලක් පස්සෙ දවසක ආරිම ගෙනත් අර මුදලාලිටම විකුණුවා. අපේ ගෙදරදී ග්‍රෑම් දෙසිය පනහක තව ගලක් විකිණුවා. හැබැයි ඒ සියලූ ගල්වල කොරසම තිබුණා. කොරසම ඇරලා ගත්තට පස්සෙ නිල් පාටට දිලිසෙනවා. කොරසම පතුරු හරිනකොට ඒ පතුරුත් එක්ක ගැලවිලා ආපු මැණික් කෑලි ගෙනිහින් සුද්දෙකුට විකුණලා මම රුපියල් දහදාහක් ගත්තා. ඒ කාලෙ රුපියල් දහදාහක් කියන්නෙ ලොකු මුදලක්...’’ විශ්‍රාමික ග්‍රාම නිලධාරී ධර්මදාස මහතාගේ අදහස් දැක්වීම අවසාන වූ පසු ආරියදාස ද කැටුව ලොව වටිනාම මැණික් ගල් සහිත නිල් මැණික් පොකුර ලැබුණු ස්ථානයට ගියෙමු. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ බටලන්ද ප්‍රදේශයේ ස්ථානයකි. ආරියදාසලාගේ මහගෙදර පිහිටා ඇත්තේ ඒ මැණික් පොකුර ලැබුණු ඉඩම ඉදිරිපිටය. දැන් ඒ නිවසේ ජීවත් වන්නේ ආරියදාසය. ඒ නිවසට යාබද ප්‍රධාන පාර අද්දර තියෙන තේ කඩය ආරියදාසගේ අක්කාගේය.

‘‘අන්න අතන තිබිලා තමයි මැණික් ගල් ටික ලැබුණේ...’’ ආරියදාස තේ කඩය ඉදිරිපිට සිට ප්‍රධාන පාරට මූණත වැටුණු තරමක් උස පස් කණ්ඩියක් පෙන්නුවේය. කැලෑ ගාලකින් වැසුණු බෑවුමේ කිසිම දෙයක් නොපෙන්. පැල්මඩුල්ල බෝඞ් එකක් නම් ලොකුවට පෙනිණි.

‘‘මේ ඉඩමට කියන්නෙ යෝගගේ වත්ත කියලා...’’ ආරියදාස නැවත කතා කරන්නට පටන් ගත්තේය.

‘‘මේ මුළු ඉඩම අක්කර දහයක්. පාරට අක්කර දෙකක් ගිහින් තියෙනවා. අපිට මැණික් ලැබුණා කියලා ආරංචිය පැතිරිලා  ගියාට පස්සෙ මිනිස්සු ලයිසන් අරගෙන මුළු වත්තෙම පතල් හෑරුවා. තව සමහර අය හොරෙන් පතල් කැපුවා. ඒ සමහර පතල්වලින් නිල් පාට ගල් ලැබිලා තිබුණා. ඒත් පතලෙන් උඩට අරගෙන හොඳට හෝදලා බලනකොට ලූණු කැට වගේ පොඩි වෙලා ගිහින්. එහෙම කුඩු වෙලා යන ගල් අපිත් දැකලා තියෙනවා. අපිට ලැබුණු මැණික් ගල් ටික හැරෙන්නට මදටියා ඇටයක තරමේවත් මැණික් ගලක් යෝගගේ වත්තෙන් වෙන කිසිම කෙනෙකුට ලැබිලා නෑ. අපේ හැඟීම නම් අපිට ලැබුණේ නිධානයක් කියලයි. ලොකු අයියට හීනෙන් කියපු නිධානය ඕක තමයි. ඒත් දෙයියො දුන්නු නිධානයෙන් අපිට ඵල ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. තාත්තා හදිස්සි වෙලා ගෙදරින් එළියට ගල අරගෙන ගියාට පස්සෙ නැවත අපේ ගෙදරට ගල ආවේ නෑ. ඒ කාලෙ හැටියට මැණික් ගල් ටික විකුණපු ඇත්ත ගාන අදටවත් අපි දන්නෙ නෑ.

තාත්තට ලක්‍ෂ දාහතක් දීලා තිබුණා. තාත්තා ඒ සල්ලි අපේ සහෝදර, සහෝදරියන්ට බෙදා දුන්නා. මැණික් ගල් ටික ලැබුණු ඉඩමේ අයිතිවාසිකම් කියාගෙන ඇවිත් තව කිහිපදෙනෙක් තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන ගියා. මම පොඩි එකා නිසා රුපියලක්වත් මට ලැබුණේ නෑ. අපි ජීවත් වුණු මැටි ගේ වෙනුවට සිමෙන්ති ගඩොලෙන් හොඳ ගෙයක් නම් හදාගත්තා. පස්සෙ තමයි අපිට ආරංචි වුණේ තාත්තලා විකුණපු ලොකුම ගල කිලෝ හතළිස් පහක් බර නිල් මැණිකක් කියලා. ඒ මැණික් ගල් පොකුරෙ තිබුණු තරමක් ලොකු ගලක් අපේ ගෙයි මුල්ලක දාලා තියෙනකොට ගමේ කෙනෙක් අරගෙන ගිහින් කොරසම ඇරලා බලනකොට නිල් මැණිකක් තිබිලා තියෙන්නෙ. ඒ මැණිකෙ බරත් කිලෝ හයක්. ඒ මනුස්සයා ඒ මැණික විකුණලා අද කෝටිපතියෙක් වෙලා ඉන්නවා. ඒත් නිධානය ඒ මැණික් නිසා අපිට, අපේ ඔප්පු තිරිප්පු ටිකත් නැති වුණා...’’

‘‘මැණික් ගල විකුණලා අක්කලාගේ ගෙදර නතර වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු අපේ ගෙට පැනලා තව මැණික් ඇති කියලා හිතලා ටන්කා පෙට්ටි පිටින් උස්සගෙන ගිහින්. මැණික් නැති නිසා ඒ පෙට්ටි විසි කර දාලා. පෙට්ටිවල තිබුණු ලියකියවිලි අදටත් අතුරුදන්. අතට ලැබුණු නිධානයෙන් අන්තිමේ අපිට වුණේ විශාල පාඩුවක්. ඒ මැණික් ගල්වල ඵල ප්‍රයෝජන ගත්තෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. අදටත් ඒ මිනිස්සු අපේ මැණික්වලින් මුදල් උපයනවා. ඒත් අපිට අබමල් රේණුවක තරම් උපකාරයක් කරලා නෑ. අඩුම තරමින් අපේ තාත්තා, අම්මටවත් කිසිම දෙයක් දීලා නෑ. ඒ වුණාට අපේ මැණික විකිණීමට කපුකම කරපු දේශපාලනඥයාට නම් තවමත් මැණික් මුදලාලි සලකනවා කියලා ආරංචියි. අපේ නිධානය අරගෙන ඒ මිනිස්සු අදටත් සුරසැප විඳිනවා. අපි තවමත් දුක්විඳිනවා. මේ ඉන්නෙ මගේ ලොකු අක්කා. බලන්න හැටි. තවම කඩවල දුක්විඳිනවා. අපේ පවුලට ලැබුණු නිධානය හරියට මිල කර ගත්තා නම් මේ කොල්ලො ලිප් ළඟ ගින්දර කන්නෙ නෑ...’’ තේ කඬේ වඬේ බදිමින් සිටි තරුණයකු පෙන්නා ආරියදාස එසේ කීවේය.

ඒ ආරියදාසගේ අක්කාගේ බාල පුතාය. එම තේ කඩය කරගෙන යන්නෙ ඔහුය. අම්මා පුතාගේ සහායට කඬේ වැඩ කරන්නීය.

‘‘මමත් ගල උස්සන්න හැදුවා. මට හොල්ලන්වත් බැරි වුණා. අපේ තාත්තයි, මගේ මහත්තයි ගිහින් තමයි ගල විකුණලා තිබුණේ. අපි ළඟ තව ගලක් තියෙනව කියලා දැනගත්තට පස්සෙ අපිට වෑන් එකකුත් අරගෙන දුන්නා. ඊට පස්සෙ ඒ ගලත් අර මුදලාලිටම දුන්නා. අපේ මහත්තයා සල්ලි අතට ආවහාම සුද්දෙක් වුණා. වත්තෙ මුර ජොබ් එකත් නතර කරලා ඒ සල්ලිවලින් කලා බීලා විනෝද වුණා. සල්ලි ඉවර වීගෙන යනකොට වෑන් එක විකුණලා බස් එකක් ගත්තා. ඒ බස් එකෙන් තවත් එරුණා. අන්තිමේ බස් එක ෆිනෑන්ස් එකෙන් උස්සගෙන ගියා. අපි හිටපු තැනටම වැටුණා. මේ කඬේ දාගත්තෙත් දරුවො මහන්සි වෙලා...’’ ඒ කතා කළේ ආරියදාසගේ ලොකු අක්කා කමලාවතීය. වයස අවුරුදු පනස් නවයක් වන ඇය සැප කියන වචනයවත් අසා නැති තරම්ය. ඒ තරමටම ඇය දුක්විඳි කාන්තාවක් බව ඇයගේ වැහැරුණු ශරීර කූඩුවෙන් පෙනේ.

‘‘රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ කෝටි ගණන් සල්ලි ලැබිලා අපි ඒ මුදල් නැති නාස්ති කරගෙන අයට වැටිලා කියලා. අපිට ලැබුණු නිධානයට වෙච්ච දේ ගැන දන්නෙ අපේ පවුලෙ අයයි, උඩ ඉන්න දෙවිවරුයි විතරයි. මම කියපු දේ අහලා තාත්තා හදිස්සි නොවී හිටියා නම් මැණික් ගල් ටික නියම වටිනාකමට විකුණලා අපේ මුළු පවුලම ගොඩ දාගන්න තිබුණා...’’ ආරියදාසගේ මුවින් ඒ වචන පිට වන විට හිතේ පුංචි හෝ දුකක් නැති බව ඔහුගේ මුහුණේ ඇඳෙන හසරැල්වලින් අපට පසක් විය. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ආරියදාස ලැබෙන දෙයින් උපරිම සතුටින් ජීවත් වන බව ද ඔහු අපට කීවේය. එහෙත් කමලාවතී කතා කරන විට දෙනෙත් බොඳ වී යන අයුරු අපට පෙනිණි.

ලොව වටිනාම මැණික් ගලේ උරුමක්කරුවන් ඔවුන් වුවද එහි හිමිකාරිත්වය සහ ඵල ප්‍රයෝජන ලබන්නට ඔවුහු වාසනාවන්ත නොවූහ. අදටත් එම මැණිකෙ ඵල ප්‍රයෝජන භුක්ති විඳින්නෙ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකි. ඒ ඔහුගේ වාසනාවය. එහෙත් ව්‍යාපාරික චේතනාවෙන් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ මැණිකෙ උරුමක්කරුවන්ට සැලකීම මනුස්සකමය. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන් ළඟ නැතිම දේ මනුස්සකමය.

තරංග රත්නවීර
දිවයින
gossip lanka