gossip lanka

"ඔවුන් වෙනසකට කැමතියි. බිය හා සැකය නිසා ඒක සිද්ධ වෙන්නෙ හෙමින්.." - ආරාබියේ දැඩි නීතිරිතී මායිම් නොකරමින්, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ මතවාද පළ කළ පිරිස ලෝකයේම අවධානය දිනා ගනී

අරාබි සමාජයත් ආගමික අන්තවාදයෙන් මිදී විවෘතව කතා බහ කරන තැනකට මේ වනවිට පැමිණෙමින් තිබෙනවා.

එනිසා ආගමික මතවාදී පීඩනයට එරෙහිව නොයන බව දනවමින් මෙන් අරාබිකරයේ උගත් තරුණ ජන ප්‍රජාව අතර දෙවියන්ට එරෙහි නොවූ ලිංගික මතයක් ගොඩනැඟෙමින් තිබෙනවා.


එය “ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයාට දෙවියන් දුන් ත්‍යාගයක්. අපි එයින් විනෝද වෙමු.” යන්නයි.

මීට ආසන්නම සිදුවීමට අනුව ෂෙරිල් එන්. පෙකී අරාබි සමාජයේ වසරක පමණ කාලයක් රැඳී සිටිමින් සොයාගත් සත්‍යම පදනම් කරගෙන ඉදිරිපත් කරන තොරතුරු අරාබිය කැලඹීමට සමත් වෙලා. ඇය කියන ආකාරයට එය කෙටියෙන් මෙහෙමයි.

“නිදන කාමරයේ ඇතුළෙත් ඉන් පිටස්තරවත් අනුගමනය කළ යුතු නීති රීතිවලින් අරාබි ජන සමාජය ගැට ගසා තිබෙනවා. හැඟීම් හා සබඳතාවන් අතර නොව ආගමික ඊනියා මතවාදයන් සමඟ බැඳුනක්. එය ජීවිතය නොවන බව වැටහෙන්නේ ටික කලක් ගියාට පසුවයි. සැබෑ ලිංගික චර්යාවන් තහංචිවලින් සිර කළ මතයන් දෙකක් බව ජනතාව වටහා ගනිද්දී ඔවුන් මේ ඊනියා ආගමික මතවාදයන්ට එරෙහි වන්නට සිතෙනවා. එය මොන තරම් අසාධාරණ දෙයක් දැයි සිතන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය ඔවුන් හැම දෙනාම සැබෑවටත් ස්වාභාවිකත්වයටත් මුහුණ දී ලිංගික ජීවිතය පූර්ණ කරගන්නට මාන බැලීමයි. එය කෙසේ හෝ ඉන්පසු සිදුවිය හැකි තැනට වර්ධනය වෙනවා”

මැදපෙරදිග කාන්තාවන් හා පුරුෂයන් කිහිප දෙනකුගේ හද ගැස්ම අධ්‍යයනය කළ ෂෙරින් එල් ෆෙකී ඉන් කෙටි චිත්‍රපට මාලාවක් නිපදවා අරාබියත් ලෝකයත් අවදි කරමින් සිටිනවා. උගත් ජන ප්‍රජාව වේගයෙන් මෙම චිත්‍රපට හරහා කියන දේ වැලඳ ගනිමින් සිටිනවා.

අරාබිකරය පුරා විශේෂයෙන්ම කන්‍යාභාවය ගැනත්, පවුල් පසුබිමින් ඇතිවන බලපෑමත් සමලිංගික චර්යාවන් ගැනත්, සංක්‍රාන්ති ලිංගිකයන් ගැනත් තිබෙන්නේ ඒ අනුව වැරැදි වැටහීමක්. එය හුදෙක් ආගම මුල් කරගෙන වසා දමන්නට හදන සත්‍යයක්. එය හොඳින්ම මෑතකදී ප්‍රදර්ශනය වූයේ බී.බී.සී. පුවත් සේවයේ අරාබි අංශය විසින් පලස්තීනයෙත් මැද පෙරදිගත් සිදුකළ සමීක්ෂණ හරහායි. “ඇරැබ් බැරෝමීටර්” නමැති පර්යේෂණ ජාලය තුළිත් පුදුමාකාර තොරතුරු ලෝකයට අනාවරණය වුණේ අදහාගන්නටත් බැරි විදියටයි.

“අරාබි ලෝකයේ ආගම් වැටට උඩින් පනින්න බැහැ. සමාජ සදාචාරයටත් වඩා පවුලේ ගෞරවය හා සාම්ප්‍රදායික මතිමතාන්තර දැඩි සේ විශ්වාසය මත ජීවිත ගැට ගැහිලා. කාන්තාවන් මේ නිසා ලෝකයේ අන් අයට වඩා දරුණු පීඩනයකට යොමු වෙලා. ලිංගික කටයුත්තකදී යහපත් ලෙස පූර්ණ වීමත් හැසිරීමටත් ඇයට තිබෙන අයිතිය දැඩි පුරුෂාධිපත්‍යය විසින් යටපත් කර ගැනෙනවා. පණ ඇති ගැහැනියකට වඩා එහිදී ඉතිරි වන්නේ මළ ගිය ගැහැනියක්ය. පුරුෂයාගේ තෘප්තිමත් බව පමණක් උපරිම සතුට වෙයි. කාන්තාව එහිදී එක්තරා ශරීරයක්, කොටසක්, ලිංගික කාර්යයට අවැසි උපකරණයක් හා සමානයි. ඒ නිසා ලිංගිකත්වය පවුලේ ගෞරවය හා ආගමික තහංචි මඟින් දරුණු ලෙස සීමා කෙරෙනවා.”

වාර්තාවේ එසේ පැහැදිලිව සඳහන් වීම තුළ කාන්තාවකගේ තෘප්තිමත් ලිංගික හැසිරීමක් ගැන කුමන කතා දැයි සිතෙනවා. නමුත් උගත් කමින් පෙරට එන තරුණ ප්‍රජාව මෙය ඉවසන්නේ නැති තැනට ඇවිත්. අරාබිකරයෙන් පිටතට යන ඔවුන් ලෝකයා අත්විඳින නිදහසට වශී වෙනවා. වෙනස් විය යුතු වෙනස් වීම ගැන සිතනවා. ඔවුන් යළි අරාබි සමාජය තුළට ආවත් ඉන් මිදෙන්න කළ හැකි හැමදේම කරනවා. මේ වන විට එහි පෙරට යෑමක් දක්නට ලැබෙනවා.

මුන්ටාඩා අල් ජෙන්සනේයා නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සම නිර්මාතෘවරයකු වන ටක් සාෆා ටමිෂ් නමැත්තා කියන ආකාරයට මෙහි සැබෑ තත්ත්වය මෙහෙමයි.

“පලස්තීන සමාජයේ ලිංගික අයිතීන් සහ ලිංගික අධ්‍යාපනය තහවුරු කරන්නට වෙහෙසෙද්දී දැනෙනවා ජනතාව යළි තම සාම්ප්‍රදායික තත්ත්වයන් විමසා බලන්නට කැමැත්තෙන් සිටින බව. ඔවුන් වෙනසකට කැමතියි. එය බිය හා සැක මත සිදු වන්නේ සෙමින්. ඔවුන්ව දැනුවත් කළ පසු ඔවුන්ගේ විශ්වාසය වන්නේ වර්ගයා බෝ කරන ඉලක්කවලට යනවාට වඩා වර්ගයා බෝ කිරීමේදී ඇති වගකීමත් තෘප්තිමත් භාවයත් ආදරයත් සෙනෙහසත් හැමටම වඩා වැදගත් බවයි. ආදරණීය බවට ආදරය කිරීමත් සංවාසය පූර්ණව සිදු කර ගැනීමටත් ඔවුන් කැමැත්තක් දක්වනවා.”

ඊශ්‍රායලයේ වාසය කරන අරාබි ප්‍රජාව වේගයෙන් නවීනත්වය වැලඳ ගනිමින් මෙසේ අදහස් ප්‍රකාශ කරමින් ලෝකය අත්විඳින නිදහසටත් සැබෑ ලිංගික සේවනයටත් නැඹුරු වෙමින් සිටින්නේ වේගයෙනි.

මේ තත්ත්වය නිසා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නට පටන් ගත් පසු අලුත් පරම්පරාවක් හැදෙන විට වේගයෙන් සාම්ප්‍රදායික ඊනියා ආගමික විශ්වාස පිටු දැක අරාබි ලෝකය සත්‍යයට මුහුණ දෙන්නට වන බව තහවුරු වෙමින් පවතිනවා.

එහෙත් මෙය දැනගන්නා ඇතැම් මැද පෙරදිග රාජ්‍යයන් තව තවත් තහංචි දමන්නේ මානව වර්ගයාගේ නිදහසට දරුණු බාධා පමුණුවමින්. ජෝර්දානය කෙතරම් බියට පත් වීද යතොත් LGBTQ නම් අන්තර්ජාල වෙබ් අඩවිය තහනම් කර තිබෙනවා. ඊට එක් හේතුවක් ලෙස ජෝර්දාන රජය සිතන්නේ සැබෑ ලිංගික තෘප්තිය වෙනුවෙන් වෙන කවරදාකටත් වඩා පීඩනයෙන් යුතුව සිටින ජෝර්දාන ගැහැනුන් ‘ව්‍යාඝ්‍රා’ භාවිතයට යොමු වී ඇත්තේ මෙම වෙබ් අඩවි තුළින් ලැබූ දැනුම නිසා බවයි. එහෙත් කාන්තා ව්‍යාඝ්‍රා පෙති භාවිතයට කාන්තාවන් යොමු වන්නේ ඔවුන් මින් පෙර නිවැරදි ලෙස ලිංගික තෘප්තිය අත් විඳ නොතිබුණු නිසාවෙන් උත්තේජකයන්ට යොමු වී ඇති බව ජෝර්දානය සඟවන්නට උත්සාහ දරනවා.

ජෝර්දාන දේශ සීමාවෙන් ඔබ්බට ගිය මේ සැබෑ ලිංගික ප්‍රශ්න ගැන කතා කළ අයකු තමයි කාලිඩ් අබ්දෙල් හාඩි නමැත්තා. ඔහු මැද පෙරදිග සමාජයේ සමලිංගිකයන් වෙනුවෙන් මාධ්‍ය කලාව විවෘත කළා. ඔහු ලිංගිකත්වයට නින්දා කරන ශල්‍යකර්මයන්ගේ ඉඳලා ගරුත්වය වෙනුවෙන් සිදු කරන ඝාතන යන සියල්ල සාකච්ඡාවට ලක් කරන්න පටන් ගත්තේ ‘මයි කාලි’ නම් අන්තර්ජාල සංග්‍රහය හරහායි. ඔහු එහි නිර්මාතෘවරයායි. කාලිඩ් තරුණයකුව සිටි අවධියේ පටන් ගත් මේ වෙබ් අඩවිය ඉතා ජනාදරයට පත් වෙලා. ඔහු දැන් දියුණු කෙනෙක් වෙලා. ඔහු කියන්නාක් මෙහි දැක්වීම වටිනවා.

“අරාබිකරය කිව්වම අපි ඔක්කොම එක වගේ කියලයි ලෝකයා හිතන්නේ. ඒ නිසා මගේ හඬ නැඟීම ඉතා කුඩා එකක් වන්නත් පුළුවන්. ඒ නිසාම පෞද්ගලික මතවාද දැක්වීමත් අමාරු දෙයක්. නමුත් තරුණ පරම්පරාව පැරණි අරාබිකරුවන්ගෙන් මිදෙමින් සිටිනවා. මිදෙන්න ඔවුන් කැමතියි. ඔවුන් සත්‍යය ප්‍රකාශ කරන්න කැමතියි. නමුත් රස්සාවක් සොයාගන්නත්, මවුපිය සෙවණෙන් වෙන් වන්නට බැරි වීමත් නිසා පෞද්ගලික අදහස් එළියට එන්නේ නැති වුණත් උගත් තරුණ ප්‍රජාව වේගයෙන් වෙනස් වෙලා. වෙනස් වෙමින් සිටිනවා.”

ලිංගික කටයුතු පිළිබඳ චිකිත්සාවේ යෙදෙන උපදේශිකාවක් තමයි ලෙබනනයේ සන්ද්රින් අටල්ලාන් නමැත්තිය. ඇය ලිංගිකත්වය ගැන සෘජු අදහස් දරනවා.

ඇය ඩවාත් ප්‍රකට වූයේ “ආදර සංස්කෘතිය” (Al Hubb Thaqafa) නම් කයිරෝව මූලික කරගත් සමාජ මාධ්‍ය ජාලය හරහායි. ඇය දැන් එහි තාරකාවක් බඳුයි. ඇය අතීතය අවදි කරමින් අරාබිකරයේ මිනිසුන්ගේ හිත් ඇතුළේ තිබුණ ලිංගිකත්වය පිළිබඳ කතාවක් කියනවා.

“10 වැනි 11 වැනි සියවස්වල බැග්ඩෑඩ් නගරයේ “සතුට පිළිබඳ විශ්වකෝෂයක් තිබුණා. එහි 43 වැනි පරිච්ඡේදයේ සියලුම ලිංගික හැසිරීම් හා අභිලාෂයන් අනාවරණය කෙරුණා. එම විශ්වකෝෂය ගැන පණිවුඩය ප්‍රබලයි. එය පැහැදිලියි. ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයාට දෙවියන් දුන් ත්‍යාගයක් වගෙයි. අප එයින් විනෝද විය යුතුයි යන්න එහි හරයයි”

ඒ අනුව ඇය පවසන්නේ රාගය මිශ්‍ර වී ගිය අරාබි සාහිත්‍යයේ එන ශේ‍ර්ෂ්ඨ නිර්මාණ තුළ කියවුණත් සැබෑම ලිංගිකත්වයය. එහෙත් එම නිර්මාණවලින් වැඩි හරියක් ලෝකයට අහිමි වෙලා වුණත් විවෘතව ලිංගික ප්‍රශ්න කතා බහ කරගැනීම පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටත් අත්‍යවශ්‍ය වූවක්. එය කාන්තාවන්ටද සතුට දනවන්නක් බව ඊනියා අරාබි ජන සමාජයේ මති මතාන්තරකරුවන් දැනගත යුතු යැයි ඇය පවසනවා.

එහෙත් අරාබිකරයේ ඇතැම් රටවල ගැල්වුණු ගැහැනු පිරිමි සියලු දෙනාම විවිධ දූෂණ හා අර්බුද මැද දස දහස් ගණනින් අවතැන් වී රැකියා නොමැති වී කල්ගත කරන පසුබිමකදී පවා යම් තෘප්තිමත් භාවයක් ලබන්නේ සැබෑ ලිංගික හැසිරීමකින් බව හොයාගෙන.

සැබෑව නම් ඊනියා ආගම්වාදය වැලඳගෙන ජීවිතය ගෙවන්නට පෙලඹුණු පිරිස් දැන් අඩු වෙමින් පැවැතීමයි. 2019-2018 අතර උතුරු අප්‍රිකානු කලාපයේ සිදු කළ සමීක්ෂණයට අනුව ආගමානුකූල දිවි පෙවෙතක් අනුගමනය කරමින් කල් ගත කරන්නට කැමැති වුවන් අඩු වෙමින් පවතිනවා.

එහෙත් පොදුවේ ගත් කල අරාබිකරයේ සමලිංගිකත්වය පිළිගන්නා අය සිටින්නේ ඉතා අඩු අගයකයි., ලිබරල් ආර්ථිකයක් ඇති ලෙබනනයේ පවා එය පිළිගෙන තිබෙන්නේ 6%ක් තරම් දෙනා පමණයි.

(The Daily Telegraph ඇසුරිනි)
සුලක්ඛනා ජයවර්ධන
මව්බිම පුවත්පත
gossip lanka