gossip lanka

කල්ලි නැති නිසා කල්යයි, ඒත් වෙලාවට සුදුසු දේ ලැබෙයි - අමිල කරුණානායක

නාලක විතානගේ අධ්‍යක්ෂනය කළ රූපාන්තරණ චිත්‍රපටයේ හරේන් ලෙස ප්‍රධාන භුමිකාවට පන පොවමින් සිනමාවේ දොරටු විවිර කර ගත් ඔහු සිරිතුංග පෙරේරා ගේ ‘පෝරිසාදයා සහ මේ දිනවල ප්‍රදර්ශනය වන බර්මින් ලයිලි ගේ ‘සිකුරු යෝගය‘ සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක හදවත් හෙමින් හෙමින් ස්පර්ශ කරමින් සිටියි. මේ සිනමාවේ නවක රංගන ශිල්පි අමිල කරුණානායකයි.


අමිලට, මේ දවස්වල සිකුරු ලබලා නේද?

ඔව්. 'සිකුරු යෝගය' නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් ගොඩක් එක්ක රංගනයේ යෙදෙමින් මෙම නිර්මාණයට වටිනාකමක් ගෙන දෙන්න මට හැකි වූ බව ඒ ලැබෙන ප්‍රතිචාරවලින් දැනුණා. ඒ ගැන සතුටුයි.

සිකුරු යෝගයෙන් පස්සේ අමිල රංගනයෙන් කාර්යබහුල වෙලා ද?

අලුත් චිත්‍රපටයක් සහ කෙටි ටෙලි නාට්‍ය දෙකක් බාරගත්තා. ඉදිරියේදී රූපගත කිරීම් කෙරෙනවා. මම රංගනයෙන් දායක වුණු ප්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කළ ‘රං දෝණි’ මාලදිවයින් අධ්‍යක්ෂ Seaxan Ali ගේ ‘Kaushi’, හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘Face to face’, වාසිත සමරනායක අධ්‍යක්ෂණය කළ ‘රජ දහන’ වැනි චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතයි.

බොහෝ දෙනා ඔබව හඳුනා ගන්නේ නිරූපණ ශිල්පියකු ලෙස?

නිරූපණ ශිල්පියෙක් විදියට මගේ ගමන ඇරැඹෙන්නේ 2008දී . ඒ MR. ශ්‍රී ලංකා තරගය ජයගනිමින්. ඉන්පස්සේ අන්තර්ජාතික තරගවලට ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. Ramp Model කෙනෙක් විදියට කටයුතු කරද්දි වෙළෙඳ දැන්වීම් ගලාගෙන එන්න ගත්තා. සිනමාවට දොරටු විවර වෙන්නේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ 'රූපාන්තරණ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනීමෙන්.

නිරූපණයට යොමුවන්නේ කුඩා කාලයේ සිට තිබූ කැමැත්ත මතද?

නෑ . මට තිබුණේ ක්‍රීඩාව වෙනුවෙන් පිස්සුවක්. මම 6 වසරේදී කළුතර විද්‍යාලය නියෝජනය කරමින් සමස්ත ලංකා දුර පැනීම වාර්තාවක් සමඟ ජය ගත්තා. පසුව කොළඹ නාලන්ද විද්‍යාලය නියෝජන කරමින් ජයග්‍රහණ ලබා ගත්තා.‍ මාගේ බලාපොරොත්තුව වුණේ හොඳ ක්‍රීඩකයෙක් වෙලා අපේ රට නියෝජනය කරන්න. නමුත් පාසල් කාලෙදිම මට ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඒ හීනේ බොඳ වුණා.

බොඳව ගිය ඒ හීනය ගැන තවම පසුතැවෙනවාද?

දුකයි. නමුත් අද මම ඉන්න තැනට එන්න ක්‍රීඩාව මට පිටිවහලක් වුණා යැයි හිතෙනවා. ක්‍රීඩාවෙන් මම ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. මගේ මවුපියන් එතරම් උස අය නෙමෙයි. නිරූපණ ශිල්පියකුට අවශ්‍ය උස සහ පෞරුෂය මට ලැබෙන්නේ ක්‍රීඩාවෙන්.

දැන් ඔබව හැඳින්විය යුත්තේ නිරූපණ ශිල්පි‍ෙයක් ලෙසද, රංගන ශිල්පියකු ලෙසද?

රංගනයට ඇවිත් ටික කාලයක්. නමුත් මෑතක් වෙනකල් බොහෝ දෙනා මාව හැඳින්නුවේ 'MODEL' කියලා. ළඟකදී ඉඳන් ‘අන්න අර නළුවා’ කියන වචනේ ටික ටික ඇහෙනවා. ඒ කියන්නේ දැන් රංගන ශිල්පියෙක් විදියට මාව පිළිගන්න, හඳුනගන්න පිරිසක් ඉන්නවා.

රංගනය දැන් ඔබේ වෘත්තිය වෙලාද?

ඔව්. දැන් මම වෘත්තිමය රංගන ශිල්පියෙක්. ඒ වගේම පොඩි ව්‍යාපාරිකයෙක්.

සිනමා තරු වෙන්න බොහෝ දෙනෙක් කැමැති?

මම තරුවක් ද චරිතාංග නළුවෙක් ද යන්න මට කියන්න බැහැ. එය මාගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ තීරණය කරාවී. ඕනෑම රංගන ශිල්පියෙක් තරුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් ඒ තරුව දිලෙන්න නම් දක්ෂතාව, විනය, පෞරුෂය, දැනුම අත්‍යවශ්‍යයි . මෙතෙක් සමාජය පිළිගත් තරු මෙම සාධක වර්ධනය කළ අය බව පැහැදිලියි.

රංගන ශිල්පියකු ලෙස ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න සූදානම්ද?

පිටපත කියවා මට ගැළපෙන චරිතය මම බාරගන්නවා . ඔවුන්ගේ රසවින්දනය සඳහා මට හානි වෙන දෙයක් බාරගන්න කැමැති නෑ .

රංගන පිළිබඳ ඔබේ හැදෑරීම?

බොහෝ විට මම රංගනය හදාරන්නේ එදිනෙදා ජීවිතයේ මට ලැබෙන අත්දැකීම්වලින්. ක්‍රීඩාව , නිරූපණය , නිවේදනය සහ නිර්මාණශිලීත්වය යන හැමදෙයින්ම රංගනයට අත්දැකීම් ලැබෙන බව මගේ පෞද්ගලික විශ්වාසයයි. බන්දුල විතානගේ මහත්මයාගේ ‘Hamlet’ වේදිකා නාට්‍යයට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා එහිදි ඔහුගෙන් ලැබුණු ගුරුහරු කම් සහ එතුමාගේ පොත පත රංගනය පිළිබඳ තවත් බොහෝ දෑ මගේ දැනුමට එකතු කර දුන්නා.

අද ක්ෂේත්‍රෙය් තිබෙන කල්ලිවාදය එක්ක ඔබට ස්ථාවර වීම පහසු යැයි සිතනවාද?

මට කල්ලි නෑ. හැමෝම එක්කම සුහදයි. කැපිලි කෙටිලි කොහෙත් තියෙනවා. විශේෂයෙන් නිරූපණ ශිල්පියෙක් රංගනයට එද්දි ඒ කැපිලි කෙටිලි සහ අභියෝග වැඩී දෝ දැනෙනවා . නමුත් මම ඒවට මුහුණ දෙන්න සූදානම් . ගොඩක් අය මට කියනවා ගිහින් අරයව මෙයාව මුණගැහෙන්න කියලා. මට එහෙම පුරුදු නැ . කල්ලි නැතුව කල් යයි. ඒත් වෙලාව ආවහම මට සුදුසු දේ ලැබෙයි.

ඡායාරූප - තුෂාර සංජීව
gossip lanka