gossip lanka

බෝලයක් ගන්න කඩේ ගිය සිඟිත්තා ටිපර් රථයෙන් ආ මාරයා බිලි ගනී

තිරප්පනේ සිට ඇතුන්ගම දක්වා දිවෙන මාර්ගයේ වන්නම්මඩුව ප්‍රදේශයේ දී 31 දා පස්වරුවේ බෝලයක් මිළදී ගැනීමට කඩේට පාපැදියෙන් යමින් සිටි කුඩා දරුවකු බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයකට යට වීමෙන්  එම ස්ථානයේ ම මිය ගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තිරප්පනේ ආලිස්ථාන මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මලිදු තිලක්ෂණ (08) නැමැති කුඩා පිරිමි දරුවෙක්.

මොහු මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා නිවස ආසන්නයේ ඇති වෙළෙඳසැලට බෝලයක් ගෙන ඒමට මවුන්ටන් වර්ගයේ පාපැදියෙන් ගොස් ඇත.එහිදී ඉදිරියේ වම් පස නවතා තිබූ ලොරි රථයකට ඉස්සර කිරීම සදහා පාපැදිය මාර්ගය මැදට ගෙන තිබෙනවා. ඒත් සමඟම ඇතුන්ගම දෙස සිට තිරප්පනේ දෙසට ධාවනය කළ බොරළු පටවා ගත් ටිපර් රථයේ ගැටී තිබේ. ටිපර් රථයට යට වූ මලිදු පාපැදියත් සමඟ මීටර් 10 ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබුණි. අනතුරුව පාපැදියෙන් ගිලිහුණු මලිදු යට කරගෙන මීටර් කීපයක් ඉදිරියට ගොස් ටිපර් රථය නතර වී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන්   රියැදුරුට පහරදීමට උත්සාහ කර ඇති අතර ඔහු ආරක්ෂාව සඳහා ටිපර් රථයේ දොරගුළු වසාගෙන සිට ඇත. ඒ මොහොතේ ම එම ස්‍ථානයට ළගා වූ තිරප්පනේ පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් රියැදුරු පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කළා.

පසුව එම ස්ථානයට පැමිණි තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට ගම්මුන්ගේ දැඩි විරෝධය එල්ල වුනා.

ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයත් සමග ම තිරප්පනේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාර්ගය මැද රෙදි කඩකින් වසා තිබුණ මිය ගොස් සිටි දරුවාගේ දේහය, සිය දෑතට ගෙන පොලිස් ජීප් රථයට දමා අනුරාධපුර මහ රෝහලට ගෙන යෑමට කටයුතු කළා.

ටිපර් රථයේ රියැදුරු තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්   බව පොලිසිය පැවසුවා. අත්අඩංගුවට පත් රියැදුරුට ඇති වූ රෝගී තත්ත්වයක් නිසා පෙරේදා (31) පස්වරුවේ ම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට තිරප්පනේ පොලිසිය පියවර ගෙන තිබිණ.

පොලිස්  ආරක්ෂාව මැද වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රියැදුරු  පිළිබඳ බී වාර්තාවක් මගින් අද අනුරාධපුර අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබුණා.

රිෂ්ණක සචින්
gossip lanka