gossip lanka

‘බස්නාහිර’ මන්තී‍්‍රන්ට රට සැප ගන්න මාස 3කට කෝටි 4ක් - පළාත් සභාව අවසන් වුවත් මන්තී‍්‍රලා රුසියා ගිහින්

- රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වේ

- මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 29 දෙනකු අවස්ථා හතරකදී විදේශ ගතවීම සඳහා රුපියල් හාරකෝටි තිස්තුන් ලක්‍ෂ හැත්තෑ දහස් දෙසිය එකක මුදලක් වැය කර ඇත.

එම පළාත් සභාවේ කාලය අවසන් වූ පසුවද අපේ‍්‍රල් 20 දා සිට 28 දා දක්වා බස්නාහිර මන්තී‍්‍රවරුන් රුසියාවේ සංචාරයක යෙදී ඇත.

එම සංචාරය අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිය දීත් එය නොසලකා මන්තී‍්‍රවරුන් එම චාරිකාවට සහභාගී වී තිබේ.

පුහුණු වැඩසටහන්වලට බව පවසමින් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරුන් මෙලෙස විදේශ සංචාරවල යෙදී ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීන් ද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද පසුගියදා එම ගිණුම් කාරක සභාව හමුවේ පෙනී සිටි අතර එහිදී මෙම කරුණු හෙළි වී තිබේ.

ඊට අමතරව ආයතන සංග‍්‍රහයට පටහැනිව යමින් ආණ්ඩුකාරවරයාගෙන් ලබාගත් අනුමැතියක් පෙන්වමින් විධායක ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනකුට නිල නිවාස කුලී වශයෙන් මාසිකව රුපියල් 30,000 බැගින් 2017 නොවැම්බර් සිට 2019 අපේ‍්‍රල් මාසය දක්වා රුපියල් ලක්‍ෂ 53 ක් ලබාගෙන තිබීමද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අවධානයට ලක් විය. මින් නිලධාරීන් 10 කු බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් වන අතර 08 දෙනකුට ස්ථිර නිවාස ඇති බවද අනාවරණය වී ඇත.

රාජ්‍ය ගිණුම් කාරක සභාව ලබාදුන් උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභාව 2018 දී පළාත් පාලන ආයතනවලට හිමි රුපියල් මිලියන 3955 ක් එම ආයතනවලට ලබාදී තිබිණි. ඒ අනුව එම පළාත් සභාවේ ස්ථාවර තැන්පතුව රුපියල් මිලියන 4755 සිට රුපියල් දශ ලක්‍ෂ 800 දක්වා අඩුවී තිබිණි. පළාත් පාලන ආයතනවලට ලබාදිය යුතු මුදල් සිය ස්ථාවර ගිණුමේ රඳවා ගනිමින් ඉන් ලැබෙන මුදල් විදේශ සංචාර ආදියට යොදා ගැනීම නිරීක්‍ෂණය කළ රාජ්‍ය ගිණුම් කාරක සභාව එම මුදල් ස්ථාවර ගිණුමේ රඳවා නොගෙන නිසි පරිදි පළාත් පාලන ආයතන වෙත නිකුත් කළ යුතු බවට මීට පෙරදී උපදෙස් ලබාදී තිබිණි.

අකිත පෙරේරා
gossip lanka