gossip lanka

"මල්ලිව කපද්දී දුව දිව්වා, මේ නරුමයා දුව පස්සෙන් එළවලා දුවගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා" - වැහි වතුර ගැටලූවක් ලේ විලක් වුණ හැටි ගැන අසල්වැසියා කියයි

නිල්මිණි සිය නිවසේ සාලයේ ලේ විලක් මැද වැතිරී සිටි සිය පුතු දෑතින් රැගෙන විදුලි වේගයෙන් මහපාරට දිව ආවේ පුතුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල වෙත රැගෙන යෑමටය. විලාප දෙමින් සිටි ඇයගේ හඬ ඇසී අසල්වැසියෝ ඒ දෙසට දිව ආවෝය. ඔවුනට ද සිදුවී ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිව වටහා ගැනීමට නොහැකි විණි. ඇයගේ විලාපය නැවත්වීමට ඔවුන් උත්සාහ කළ ද පුංචි පුතුගේ හිසෙන් ගලා ආ රුධිර ධාරාවට කිසිසේත් එය වළක්වාලීමට නොහැකි විය.
මාර්ගයේ ධාවනය කළ වාහන කීපයක් සිද්ධිය නොදැක්කා සේ ගමන් කළ ද සංවේදී හදවතක් තිබෙන ත්‍රීරෝද රථ රියැදුරෙක් ඇය මීගමුව රෝහලට රැගෙන යාමට කටයුතු කළේය. රෝහල වෙත රැගෙන ගිය ද කිසිත් නොදන්නා පුංචි පුතු ජීවිතයෙන් සමුගෙන අවසන්ය. මේ අතරතුර නිවස පිටිපස දරුණු කැපුම් තුවාල සහිතව වැටී සිටි නිල්මිණිගේ වැඩිමල් දියණිය ද අසල සිටි පිරිස විසින් මෝටර් රථයකින් මීගමුව රෝහලට රැගෙන යාමට කටයුතු කරන ලද නමුත් ඇය ඒ වන විටත් මිය ගොස් තිබිණි. තම පුංචි පුතු මියයෑමෙන් දැඩි කම්පනයටත් භීතියටත් පත්ව සිටි නිල්මිණිට සිය දියණියට අත්වූ ඉරණම දැන්ගන්නට ලැබීම කෙතරම් පීඩනකාරී දැයි අමුතුවෙන් කිවයුතු නැත.

එතනට රොක්වී සිටි පිරිස ද මහත් කම්පනයට පත් කරමින් විලාප දෙමින් ඇය හඬන්නට වූවාය. පටාචාරාවට සිදුවූ සංසිද්ධිය සිහිපත් කරමින් ඉකුත් 27 වැනිදා මෙම ඛේදවාචකය වාර්තා වූයේ වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයෙනි.

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි ගාල්ල පතිරණගේ ගිම්හානි නිෂෙලි රූපසිංහ (18) හා ගාල්ල පතිරණගේ සහන් මෙත්සර රූපසිංහ ( 7 ) එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මෙසේ අමානුෂික ලෙස තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබිණි.

ඔවුන්ගේ නිවස අසල පදිංචිව සිටින අවුරුදු 28 ක් වයසැති එක්දරු පියකු වන ඉෂාන් සුදීප යන අය මෙම ද්විත්ව ඝාතනයේ සැකකරුය.

ඝාතනයට ලක්වූ දියණිය දංකොටුව බාලිකා විද්‍යාලයේ  ඉගෙනුම ලබමින් සිටි අතර ඇය මෙවර අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඇත. පුතා නයිනමඩම ශාන්ත මරියා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

මියගිය දරුවන්ගේ පියා ගාල්ල පතිරණගේ හේමන්ත කුමාර මහතා වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. ඔහුගේ බිරිඳ වර්ණකුලසූරිය නිල්මිනි ප්‍රියන්ති ප්‍රනාන්දු මහත්මිය රැකියාවක් නොකළ අතර ඇය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් වෙහෙසෙමින් කටයුතු කරන්නට විය.

ඔවුන්ගේ පවුලේ දරුවන් තිදෙනෙකි. වැඩිමල් දියණිය ගිම්හානි නිෂෙලිය. ඇය මෙවර අපොස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියාය. මද්දුම දියණිය නෙත්මි නිමේෂාය. ඇය 10 ශේ‍්‍රණියේ ඉගනුම ලබමින් සිටියි. පවුලේ බඩපිස්සා වූයේ සහන් මෙත්සරය. ඔහු 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

වැඩිමල් දියණියගේ විභාගය අවසන් වීම සහ සෙසු දරුවන් දෙදෙනාගේ පාසල් නිවාඩු කාලය හෙයින් පාසල් දිනවල මෙන් නොව ඉතා සැහැල්ලූ‍වෙන් ඔවූහු නිවසේ රැඳී සිට කාලය ගත කළෝය. ඔවුන් තිදෙනා 27 වැනිදා උදෑසන සිට නිවසේ සාලයේ රැඳී සිටිමින් විහිළු තහළු කරමින් සිටියෝය. මව ද දරුවන්ගේ හැසිරීම් බලා සතුටු වෙමින් සිට එදින උදේ 9.45ට පමණ රෙදි වැනීමට නිවසේ ඉහළ මාලයට ගියාය. පියා නිවසේ රැඳී සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා අසල පිහිටි වෙළෙඳ සලකට පිටත්ව ගියේය.

ඒ අතරතුර ඔවුන්ගේ නිවස අසල සිටින ඉෂාන් සුදීප යන අය කඩුවක් රැගෙන ඔවුන්ගේ නිවස පිටුපසින් පැමිණියේ පසුගිය දින කීපයේදී දෙගොල්ලන් අතර පැවැති පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන් නිවැසියන් කපා කොටා ඝාතනය කිරීමේ චේතනාවෙන් ය.

ඔහුගේ ඉලක්කය වූයේ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳය. යක්ෂාවේෂෙන් ඔහු හොර රහසේ නිවස තුළට ඇතුළු විය. වටපිට බැලූ ඉෂාන්ට අවශ්‍ය පුද්ගලයා නොමැති හෙයින් කෙලින් දොළින් ගත කරමින් සිටි දරුවන්ට කඩුවෙන් පහර දීමට පටන් ගත්තේය. මුලින්ම වයස අවුරුදු හතක් වූ පුංචි සහන් ඔහුගේ ග්‍රහණයට හසුවිය. හිත හිත් පිත් නැති මේ තිරිසනා ඔහුට කඩුවෙන් වැරෙන් පහර කීපයක් එල්ල කළේය. එම අවස්ථාවේ දියණියෝ දෙදෙනා පලා යෑමට දිව ගියහ. මද්දුම දියණිය ඉහළ මාලයට ගිය අතර වැඩිමහල් දියණිය මුළුතැන්ගෙයි දෙසට දිව ගියාය. හිත් පිත් නැති නරුමයාගේ ඊළඟ ඉලක්කය ඇය විය. ඇයට කඩුවෙන් පහර කීපයක් පහරක් එල්ල කරන විට ඇය බිම ඇද වැටුණාය. අනතුරුව නැවතත් පහර කීපයක් එල්ල කළ ඔහු ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ ඝාතනය සිදු කළ අයගේ මාර්ගය ආසන්නයේ ඇති කුළී පදනම මත ලබාදී ඇති නිවසට ගියේය. නිවසේ දොර කවුළු වසා තිබූ බැවින් කඩුවෙන් පහර කීපයක් එල්ල කර එහි අගුල කඩා ඇතුළුව වුවද නිවසේ කිසිවකු සිටියේ නැත. එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාව සිය දියණිය රැගෙන ඒමට කොච්චිකඬේ නගරය ගොස් තිබිණි. ඇය සහ දියණිය සිටියානම් එම නරුමයාගේ ඊළඟට ඉලක්කය ඇය සහ දියණිය වන්නට ඉඩ තිබිණි.

ඝාතන සිදුකර ඔහු විනාඩි කීපයක් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය අසල රැඳී සිටි අතර පසුව වෙන්නප්පුව පොලිසියට භාරවිය.

මේ දරුවන්ගේ පියාට අයත් නිවසක් කුළී පදනමට ලබා දී තිබුණේ මාස කීපයකට පෙරය. එම කුළී පදනමට ලබාදී තිබූ නිවස ද මේ දරුවන් පදිංචි නිවසට මීටර් 20කටත් අඩු දුරකින් කොළඹ හලාවත මාර්ගය ආසන්නයේ වයික්කාල ප්‍රදේශයේ පිහිටා තිබුණි.

මේ දරුවන්ට මරණය සොයා එන්නට බලපා ඇත්තේ මේ කුළී නිවසට යාබදව පවත්වාගෙන ගිය සුප් හා කැඳ අලෙවි සලය. එය පවත්වා ගෙන ගියේ මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුය.

මෙම සුප් අලෙවි සල ඉදිකර තිබුණේ කන්ටේනර් පෙට්ටියක් මතය. එම කන්ටේනර් පෙට්ටිය මනාව සකස් කර තිබුණ ද වැසි දිනවලදී කන්ටේනර් පෙට්ටියෙන් ගලා ආ ජල කඳ කුලියට දුන් නිවැසියන්ට මහත් පීඩාවක් එල්ල වීම නිසාම ඝාතනයට ලක්වූ දරුවන්ගේ පියා මේ පිළිබඳව සුප් අලෙවි සලේ හිමිකරුට හා ඔහුගේ මවට ද අවස්ථා ගණනාවක දී දන්වා එය සකස් කර ගන්නා ලෙසට කියා තිබුණි. එය සිදු නොවීම නිසාම දරුවන්ගේ පියා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පැමිණිලි කර තිබුණේ මේ සඳහා සාධාරණයක් සිදු නොවිම නිසාවෙනි.

ඒ සම්බන්ධ පැමිණිලි සොයා බැලීමට 28 වැනිදා යොදා තිබූ බව සඳහන්.

කෙසේ නමුත් නීතියෙන් නිසි ලෙස ඉටු වීමට තිබූ මෙම පැමිණිල්ල අවසන් කිරීමට පෙර සුප් වෙළෙඳ සලේ හිමිකරු විසින් අවසන් කර තිබුණේ කිසිඳු දෙයකට සම්බන්ධ නැති දරුවන් දෙදෙනෙකුගේ ජීවිතයි.

සිද්ධිය සම්බන්ධව අදහස් දක්වූ අසල්වැසි රංජනී පෙරේරා මහත්මිය මෙසේ කීවාය.

”මේ සිද්ධිය මේතරම් අපරාධයක් වෙන්න තිබුණු සිදුවීමක් නොවෙයි. ඒ තරමට මේ දරුවන් අහිංසකයි. ඒ වාගේම තමයි මේ දරුවන්ගේ දෙමාපියන් පවා කිසිම ගැටුමකට මැදි වෙලා නැහැ. මේ අර එහා පැත්තේ සුප් කඬේ කරගෙන ගිය තැන කන්ටේනර් පෙට්ටියේ වතුර මේ දරුවන්ගේ තාත්තා කුළියට දුන්න නිවසකට ගලා ඒමේ සිද්ධිය තමා මේ අපරාධයට මුල් වෙලා තිබුණේ. නමුත් කිසිම වේලාවක දරුවන්ගේ දෙමාපියන් ඒ සඳහා කරදර කරලා නැහැ. අපි ඒක හොඳටම දන්නවා. 27 වැනිදා උදේ මේ අපරාධය වෙන්න කිසිම ගැටුමක් තිබුණේ නැහැ. අඩුම තරමින් වචන හුවමාරුවක්වත් සිදු වෙලා තිබුණේ නැහැ. එහෙම තියෙද්දි තමා අර කොල්ලා කඩුවක් අරන් වත්ත මැද්දෙන් පැනලා ඇවිත් කිසිම දෙයක් දන්නේ නැති අහිංසක දරුවන් දෙදෙනා කපලා මරා දැම්මේ. මල්ලිව කපද්දි දුව දුවද්දි මේ කාලකන්නියා ඒ දරුවා පස්සේ එළවලා ගිහින් කඩුවෙන් බෙල්ලට කොටලා. අනේ මේ දේවල් දකින්න අපි මොන තරම් පව් කරන්න ඇද්ද.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි හා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියේ වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසේකර, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නෙල්සන් පීරිස්, උප පොලිස් පරීක්ෂක ආර්. පින්තු, පොලිස් සැරයන් 23704 සරත්, පොලිස් කොස්තාපල් (340 81) ගාමිණී යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරති.
gossip lanka