අසරණ පවුලකින් පරිවාසයට ගිය දැරියක් ජයටම මගුල් කාපු හැටි

පියා මියයෑමෙන් පසු අනාරක්ෂිත තත්ත්වයක සිටි දස හැවිරිදි දැරියක් වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරකාපොළ පරිවාස කාර්යාලයට භාරදීමෙන් පසු ඇගේ අනාගත සුබසිද්ධිය උදෙසා පරිවාස කාර්යාලයෙන් විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ.
තුංතොට මැණික්කඩවර ප්‍රදේශයේ අසරණ පවුලක සිටි මෙම ගීතිකා දර්ශනී දැරිය පිළිබඳව පරිවාස කාර්යාලයෙන් කරුණු සොයා බලා ඇගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව පරිවාස භාරයට පත්වූ දැරිය ළමා නිවාසයක රඳවා තිබේ.

අනතුරුව පරිවාස කාර්යාලයේ සොයා බැලීම් මත කෑගල්ල ප්‍රදේශයේ උසස් විදුහලකට ඇතුළත් කළ ඇය අ.පො.ස. (සා.පෙළ) විභාගයටද පෙනී සිට ඇත. අනතුරුව පාසල් අධ්‍යාපනය හමාර කළ ඇයට පරිවාස කාර්යාලය මඟින් වෘත්තීය පුහුණුවක්ද ලබාදී ඇත. ඒ නිසාම පෞද්ගලික ආයතනයක රැකියාවක් කිරීමටද අවස්ථාව ලැබී ඇත.

එසේ සිටියදී ඇගේ බාප්පාද මියයෑමත් සමඟ වයසද අවුරුදු 18 සම්පූර්ණ වී ඇත. එහිදී දැරියගේ අනාගතය ගැන අවධානය යොමු කළ පරිවාස කාර්යාලය ඇගේ ඥාතීන් හරහා සුදුසු සහකරුවකු සොයා විවාහ කරදීමටද කටයුතු කර තිබේ. එහිදී මව සමඟ ගරා වැටීමට ආසන්නව තාවකාලික නිවෙසක ජීවත්වූ ඇය වෙනුවෙන් නව නිවෙසක් ඉදිකරදීමටද පරිවාස කාර්යාලය සමත්වී තිබේ. ඒ සඳහා පරිවාස දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් ලැබී ඇති අතර ඉතිරි මුදල් පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන ඇත. එහිදී වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරි ජේ.පී.පී. වික්‍රමනායක මහතාද ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ අටක් පමණ වැයකර නව නිවෙසක් ඉදිකරදීමෙන් පසු එම නිවෙසට අවශ්‍ය ගාහභාණ්ඩ රුපියල් 5,00,000ක මුදලක් යොදවා යළි පරිවාස දෙපාර්තමේන්තුව මඟින් සපයා තිබේ. ඒ අනුව විවාහයෙන් පසු නව නිවෙසක පදිංචි වීමටද ඇයට වාසනාව හිමි වී තිබේ. මෙම නව නිවෙස විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදුවී ඇති අතර ඊට පරිවාස දෙපාර්තමේන්තුවේ සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුසිලා රාජපක්ෂ, පළාත් පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් රුක්මණී ආරියරත්න, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් නාලිකා පියසේන හා වරකාපොළ හිටපු ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත කුමාර යන මහත්ම මහත්මීන්ද ප්‍රදේශවාසීහුද සහභාගි වූහ.

මෙම කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ වරකාපොළ පරිවාස නිලධාරීන් ගයානි තනුජා ඒකනායක මහත්මිය පවසා සිටියේ දැරිය වෙනුවෙන් සිදුකළ මෙහෙය සම්බන්ධයෙන් තමා ඉමහත් සතුටක් ලබන බවයි.

සිය භාරයට ගත් පසු දැරිය පිළිබඳව නිරතුරු විමසිල්ලෙන් සිට ඇයට යහපත් අනාගතයක් උදාකරදීමට ගත් වෑයමට පරිවාස දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ පිරිස් උදවු උපකාර කළ බවත් ඔවුන්ට කෘතවේදීත්වය පළ කරන බවත් ඇය පැවැසුවාය.

දැරියගේ විවාහ මංගල්‍යය සිදු වූ දින දෙකටම තමා සහභාගි වූයේ ඇය සිය දරුවකු සේ සැලකූ නිසා බවද ඇය පැවැසුවාය. අසරණ දරුවන් සමාජයේ අතරමංවීමට ඉඩ නොතබා ඔවුන්ට පිළිසරණක් වීමෙන් පිනක් සිදුකර ගත හැකි බවද එනයින් තමා කළ කාර්යභාරය පිළිබඳව සිතන විට ඉමහත් මානසික සුවයක් දැනෙන බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය. 



රුවන්වැල්ල - එස්.ආර්. සමරක්කොඩි
gossip lanka